Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts

Sunday, October 7, 2012

දඹුල්ල වටේ.....

බ්ලොග්  අවකාසෙන් තාවකාලිකව ඈත්වෙලා ගෙවපු සති කිහිපයකට පස්සේ රෙපා ආයෙත් ආවා කිලෝමීටර් නැති චාරිකාවේ ඉතුරු විස්තර ටිකත් අරගෙන තව අලුත්ම වැඩසටහනක ආරම්භයකුත් එක්කම. බ්ලොග් ලෝකයෙන් ඈත් වෙලා හිටපු දවස් වල රෙපාවත් මතක් කරලා පෝස්ට් දාපු සුදු මහත්තයා, දිනෙල්ක, කුරුල්ලා ඇතුළු මුහුණු පොතෙන් ගුගල් වලින් දුක සැප විමසපු සියලුම යහළු යෙහෙලියන්ට රෙපාගේ බොක්කෙන්ම ස්තුතිය :D

පරණ කිලෝමීටර්  නැති චාරිකා

බලංගොඩ සිට කුලියාපිටියට

කුලියාපිටියෙන් දඹුල්ලට


අද  එතන සිට  

.............................................................................................................................................................


පහුවදා උදේ ඇහැරුනේ යන්නේ කොහෙද කියලා කිසිම ප්ලෑන් එකක් නැතුව. මොන දේ කරන්න උනත් අතේ සල්ලි තියෙන්න ඕනේ. උදේ තේ එකයි දානේ වේලයි පන්සලෙන්ම අරගෙන දඹුල්ලේ බැංකුවට ගියේ අදවත් සල්ලි දාලද කියලා බලන්න.සත පහක් වැටිලා නෑ. උදේ පාන්දරම ඔෆිසියේ උන්ගේ දෙමාපියෝ සිහි කරලා ගත්තා කෝල් එකක්. එකෙක්වත් ෆෝන් උස්සන්නෙත් නෑ. කට්ටියම දන්නවා මොකටද මේ පාන්දරම අමතන්නේ කියලා. සල්ලිත් නැති නිසා කැලුම් අයියට කතා කළා.බැංකුවක් ගාවට ගිය ගමන් කියක් හරි දාල කෝල් කරන්නම් කියලා කැලුම් අයියා කිව්ව නිසා ආයේ වැඩ පටන් ගත්තා. එදා දවසේ කැකිරාව කලාවැව පාරෙන් දේවහුව හරහා ගලේවෙල ටවුන් එකට එනකොට දවස් දෙක තුනකට හරියන ෆෝම් ගානක සිල් ගහලා. වෙලාවත් තිබ්බ ඒකෙ මැල්සිරිපුර පැත්තට යන්න කල්පනා කරලා කුරුනෑගල පැත්තට හැරෙව්වා. වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ.

"කර කරාස්" සද්දෙත් එක්ක බයික් එක නතර උනා. බැහැලා බලනකොට බයිසිකලේ චෙන් එක කැඩිලා එල්ලෙනවා. අහල පහල මොකෙක්වත් නෑ. පාලුම පාලු ඒරියා එකක්. දැන් බයික් එක කැඩුන එක ඔෆිස් එකට නොකියා හිටියොත් බයික් එක හැදුවට ක්ලෙම් එක වත් ගන්න හම්බ වෙන්නේ නැති බව දන්නා නිසාම එතනම ඉදන් කෝල් කළා. වාහනෙකින් ඇදගෙන ගිහින් චෙන් එක හදව ගන්න පර්මිෂන් හම්බ උනා. ටික වෙලාවක් එතන බලා ඉදලා ආව ලෑන්ඩ්මාස්ටරේක බයික් ඒකත් පටවාගෙන බයික් එක ගරාජ් එකට දාලා ප්‍රදීප්ව බයික් එක ලග තියලා මං ගලේවෙල බැංකුවට ආවේ සල්ලි කියක් හරි අරගෙන යන්න. මොනවා කරන්නද තිබුනේ කැලුම් අයියා එවලා තිබ්බ රු 1000 ක් විතරයි. කෝල් කලාට ෆෝන් එක ඉස්සුවෙත් නැති නිසා එතනම ඉදගෙන නුවන් ලොක්කට මැසේජ් එකක් ගහලා තියලා සල්ලිත් අරන් ගරාජ් එකට ආවා.

ගරාජ් ඒකෙන් බයික් ඒකෙ හදනවා  නම් හදන්න ඒකෙ තියෙන දේවල් ගැන ලොකු දේශනයක්. ඕන එකක් වෙද්දෙන්කියලා චෙන් එක විතරක් දාගෙන පන්සලට ආවා. ටික වෙලාවකින් නුවන්ගෙන් කෝල් එකක් සල්ලි දැම්මා කියලා.බයික් ඒකෙ තත්වය ගැන ඒ වෙලාවේ නුවන්ට කියලා දැම්මේ අබලන් බයික් එකක් තියාගෙන රට වටේ ඇවිදින්න ගිහින් කන්න වෙන පරිප්පුව දන්නා නිසා. නුවන්ගේ උත්තරේ එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් මරාගන්න වැඩක්. ඒ තමයි  ප්‍රදීප්ට බස් එකේ හරි ගිහින් වැඩ කරන්න කියලා මට ඊලග දවසේ  කොළඹ එන්න කියන එක. එනකොට කුරුනෑගල ඉන්න අසංකගෙයි කෑගල්ලේ ඉන්න කැලුම්ගෙයි ෆෝම් සෙට් එකත් අරගෙනම එන්නලු. කුරුනෑගල ටික නම් එන පාරේ නිසා ගන්න පුළුවන්. ඒත් දැන් පලකො අබලන් බයික් ඒකෙන් කෑගල්ලේත්.

පහුවදා පාන්දරම මං කොළඹ එන්න පිටත් උනා. ඉස්සරහටත් දවස් දෙක තුනක වැඩ කරගෙන තිබ්බ නිසා ප්‍රදීප් ගොරව ගොරවා නිදි. කොච්චර උදෙන් ආවත් කුරුනෑගලින් අසංකයා ඉන්න තැන හොයාගෙන කැලුම් අයියාවත් පොල්ගහවෙලට ගෙන්නලා ෆෝම් ටික අරගෙන ඔෆිස් එකට එනකොට දෙකට විතර ඇති.

ෆෝම් ටික නුවන්ට භාර දීලා බයික් එක මාරු කරගෙන ඊලග දවස් වලට අපිටයි අසංකලාටයි පුරවන්න ෆෝම් සෙට් මිටියකුත් අරගෙන  අනිත් උන් වැඩ ඇරෙන වෙලාවට අයෙමත් දඹුල්ල බලා එන්න පිටත් උනා. කුරුනෑගල අසංකලාගේ නවාතැනටත් ගිහින් දඹුල්ලට එනකොට රෑ නවයත් පහු වෙලා. හාමුදුරුවන්ගෙන් දඹුල්ල මාතලේ පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් ගැන එහෙම අහගෙන එදා රෑ නිදාගත්තේ ඊලග දවසේවත් හොද පිස්සුවක් කෙලිනවා කියන බලාපොරොත්තුවෙන්.



පහු  වෙනිදාඋදේ දානේ පන්සලෙන් වලදලා පාන්දරම දඹුල්ලේ මහා පන්සල වැඳපුදා ගෙනම වැඩ පටන් ගත්තා. ප්‍රදීප් ජීවිතේටම දඹුල්ල පන්සල වදින්න ඇවිල්ලා තිබ්බේ එදා. මොක උනත් ඌට දඹුල්ල වන්දපු පිනම ඇති. එදා දවසටත් එක්කම මුලින්ම දවසේ වැඩ කරලා තිබ්බ නිසා දවසෙම පිස්සු කෙලින එකයි අපේ එකම බලාපොරොත්තුව උනේ. ඒ නිසාම වැඩි කලබලයක් නැතුව ගියේ කණ්ඩලම වැව බලන්න. දඹුල්ල පැත්තට හොදටම වහින කාලයක් නිසා වැවේ වතුර පිරිලා . වැව් තාවුල්ල දිගේම ඉස්සරහට ගියේ මේ පැත්තෙන් සිගිරිය පැත්තට යන්න පුළුවන් කියලා පන්සලේ හාමුදුරුවෝ කලින්ම කියපු නිසා. මෙලෝ මනුස්සයෙක් නැති පාලු පාරක් දිගේ අපි ඉස්සරහටම ගියා. සිගිරියක් තියා මොනවත්ම නෑ පලාතක. අන්තිමට ඇව්ල්ලා වැටුනේ කඩ මන්ඩියකට. එතන මිනිස්සුන්ගෙන් ඇහුවාම සීගිරියට යන පාර පහු කරගෙන අපි ගොඩාක් දුර ඇවිල්ලා කියලයි දැනගන්න ලැබුනේ.
  
කොහොමින්  හරි ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපේ සිගිරි ගවේෂණයට අපි පිටත් උනා. වෙලාව දවල් දෙකට විතර ඇති. කන්න බොන්න කියලා කඩයක්වත් නෑ පේන තෙක් මානෙක. නොකා නොබී සිගිරි නගිනවාට වඩා පිදුරංගල පන්සල වදින්න යන එක හොදයි කියලා අපි කල්පනා කලා.

 ගුරු පාරක් දිගේ දිගටම ඇවිල්ලා සිගිරිය පහු කරගෙන පිදුරංගල පන්සලට ආවා. කිහිප වතාවක් සිගිරිය නැගලා තිබුනත් මමත් පිදුරංගල ආව පලවෙනි වතාව. පන්සල පල්ලමේ බයික් එක නවත්තලා පන්සලට ගොඩ උනත් කවුරුවත්ම පන්සලේ ඉන්න පාටක් පෙනුනේ නෑ. ලෙන් විහාරයට කියලා ගහලා තිබ්බ බෝඩ් එකේ පෙන්නපු පාර දිගේ අපි කන්ද තරණය කරන්න පටන් ගත්තා. 





ඒ කන්දේ ටිකක් දුර නගින කොට හමු වෙන ලෙන්  විහාරය නිසි නඩත්තුවක් නැතිකමින්ම  විනාස වෙලා ගිහින් කියලයි අපිට නම් හිතුනේ. කොයි තරං සංචාරකයින් සිගිරිය නරඹන්න ආවත් සිගිරිය පේන මානයේම තිබෙන කාශ්‍යප රජතුමාම නිර්මාණය කල  ඉපැරණි ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය කාගේවත් සැලකිල්ලක් නැතුව පාලුවට ගිහින් තියෙන හැටි දකින කොට අපිට නම් ඇති උනේ ලොකු කනගාටුවක්. අපි ලෙන් විහාර සංකීර්ණය පහු කරලා කැලය පීරාගෙන තවත් ටිකක් ඉහලට නැග්ගා.


ගල දිගේ ඉහලට නගින කොට ඈතින් තියෙන සිගිරිය අපිට පෙනුනේ මේ විදියට. ගල උඩට වෙලා අවට සුන්දරත්වය නරඹමින් හිටපු අපි පහලට බැස්සා. වෙලාව හවස හය විතර වෙලා. දවල් ආහාරය පන්සලේ තිබ්බ ටැප් එකකින් බීපු වතුර ටිකකින් යාන්තමට ශේප් කරගත්ත අපි ආයෙමත් දඹුල්ලට ආවේ ඊලග දවසේ වැඩත් කරගෙන මාතලේ පැත්තට යනවා කියන බලාපොරොත්තුවෙන්...

පහුවදා  පාන්දරම මාතලේ පැත්තට යන්න කල්පනා කලේ ඒ යන එන පාරේ අපිට ඕන කරන ජාතියේ කඩ ගොඩාක් තියෙනවා කියලා දන්න නිසා. කඩවල් වලින් ෆෝම් පුරවාගෙන ටික දුරක් යනකොට නාලන්දා ප්‍රදේශයේදී නාලන්දා ගෙඩි ගෙයට කි.මි 1 යි කියල බෝඩ් ලැල්ලක් දකින්න හම්බ උනා. වැඩ කරනවාද ගෙඩිගේ බලන්න යනවාද කියන දෙකින් අපි තෝරා ගන්නේ දෙවැනි විකල්පය කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ කිලෝ මිටරයත් ගිහිල්ලම බලන්න අපි කල්පනා කළා. 


හින්දු කෝවිලක ආකෘතියෙන් සම්පුර්ණ ගලින්ම ඉදි කරලා තියෙන මේ නාලන්දා ගෙඩිගේ පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හරි මැද කියලා පිළිගැනීමක් තියෙනවා. මෑත කාලීනව මේ නිර්මාණය පහල ඇති ජලාශයට යට වීම නිසා කොටසින් කොටස ගලවලා නැවතත් ස්ථාපනය කරලා තියෙනවා කියලයි අපිට දැන ගන්න ලැබුනේ. පල්ලෙහා තියෙන  කැටයමත් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන එකම ස්ථානය මේ ගෙඩිගේ කියලයි කියන්නේ. ඒකෙන් පෙන්නන්නේ පුරුෂ රුවක් කාන්තා රුවක් සහ සිංහ රුවක් කියලයි අපට දැනගන්න ලැබුනේ


 
 

ගෙඩිගේ බලලා ඉවර කරලා මාතලේට යනකොට අපි තවත් දවස් ගානකට හරියන්න වැඩත් කරලා කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මාතලේ ඉදන් ආපහු දඹුල්ලට එන්න හදනකොට මහා වැස්සක් පටන් ගත්තා. බලාගෙන හිටියට වැස්ස නවතින පාටකුත් නෑ. ෆෝම් ටික නොතෙමෙන විදියට කවරෙකින් ආවරණය කරගෙන තෙමිගෙනම ආපහු එන්න පටන් ගත්තා. මහා වැස්ස එක්ක කළුවරේ හරියට පාරක් පේන්නෙත් නැතුව හිමින් සැරේ පැය දෙකක් විතර ගත කරලා දබුල්ලට එනකොටත් වහිනවා හොදටම. එහෙමම ඇදුම් මාරු කරගෙන නාලා ඉක්මනටම කාල බිලා නිදා ගත්තේ දවස් දෙක තුනකටම ඇති වෙන්න වැඩ කරලා තිබුන නිසා හෙට දවසම වැස්සත් අපිට කමක් නෑ කියලා හිතාගෙන.................
............................................................................................................................................................

තව දෙයක් තියෙනවා


ලගදීම  අලුත් වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න........

Friday, August 31, 2012

කුලියාපිටියෙන් දඹුල්ලට

 බලංගොඩ සිට කුලියාපිටියට ආව හැටි



පහුවෙනිදා උදේ ඇහැරෙනකොට උදේ අටට විතර ඇති. හදිසියේ දුවගෙන ආවට අපි දෙන්නම කරන්න ඕන මොකක්ද කියලා වත් තාම හරියට දන්නේ නෑ. නුවන් ලොක්කට කෝල් කරලා කරන්න ඕන දේ අහගෙන නවයට විතර එලියට බැස්සා. සතියේ දවස් වලත් ලංකාවේ රුම්ස්‌ වලට තියෙන ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඒ වෙනකොටත් ත්‍රිවිල් මෝටර් සයිකල් දෙක තුනක්ම මිදුලේ නවත්තලා තිබුනා. ඒ අතරේ රෙස්ට් ඒකෙ අන්කල් අපේ බෑග් ටික තියලා යන්න කියලා කාමරයක් පෙන්නුවා. ඒකෙ බෑග් තියලා අපි එලියට එනකොට හෙල්මට් එකකින් මුහුණ වහගෙන පොත් මිටියක් තුරුල් කරගත්ත ක්ලාස් යන්න ආව පොඩි කෙල්ලෙක් කොල්ලෙකුත් එක්ක අපි නැවතිලා හිටපු කාමරෙටම ඇතුල් වෙලා දොර වහ ගත්තා. 


ඒ සති දෙකම ගෙවිලා ගියේ පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය. නාරම්මල, හෙට්ටිපොල, පඬුවස් නුවර, හලාවත ,වෙන්නප්පුව, කුලියාපිටිය වටේම තියෙන ගම් නගර  හැම එකකම සංචාරය කරමින්. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැත්තේ වැඩේට කැප වෙලාම බැහැලා හිටපු හින්දා. පොඩ්ඩක් හරි බලන්න කියලා ගියේ පඬුවස් නුවර පාරේ යන ගමන් අතුරු පාරකට දාලා බලපු නටබුන් ටික විතරයි. අන්තිම දවසේ පුත්තලම පැත්තේ හිටපු කැලුම් අයියලත් අපි නැවතිලා හිටපු රෙස්ට් හවුස් එකටම ආවා. 

ඊලග  ඒරියා එකට යන්න බලාගෙන ඉන්න අතරේ කම්පනියේ නුවන් ලොක්කාගෙන් කෝල් එකක්. 

"ඔයාල එක්කෙනෙක් ගෙන්වත් දවසට ෆෝම් 20 ක ඇවරේජ් එකක් නෑ. ඒ නිසා අපි දෙන්න පොරොන්දු වෙච්ච බේස් එලවන්ස් එක බලාපොරොත්තු වෙන්න එපා. "

කාල  වරෙන් කිව්වලු රෙප් කෙනෙක්ගේ බේසික් සැලරි එක විතරක් අරගෙන පොල් ගාන්නද? නුවන් ගේ කෝල් එකෙන් අප්සට් වෙච්ච මම එහා රුම් ඒකෙ නැවතිලා හිටපු කැලුම් අයියාව හොයා ගෙන ගියා.

"නුවන් නේද කතා කලේ" කැලුම් අයියා ඇහුවේ හිනා වේවි

අපි  රිසර්ච් එකට බැහැලා වැඩ කලාට මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම ගියේ කැලුම් අයියත් එක්ක ටිකක් කතා කලාට පස්සේ.

 " මල්ලි මම මේකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා, ඔය කියපු බේස් එලවන්ස් එකක්වත් මටත් තාම හම්බ වෙලා නෑ"

"ඉතින්  මෙතනට වෙලා ඉන්නේ බම්බු ගහන්නද?"

"ඇයි බං වෙන මොන කම්පනියේද මෙහෙම වියදම් කරලා අපිට ලංකාව වටේ ඇවිදලා ෆන් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නේ. "

"එතකොට  රිසර්ච් එක" 

කැලුමා හිනා උනා

 "ඔය කියන විදියට රිසර්ච් එක කරන්න ගියොත් දවසට ෆෝරම් 40 ක් ෆිල් කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත්. උන් වියදම් කරන ඒවාට හරියන්න ඔය කඩ ටිකකට ගිහින් සිල් එක ගහගෙන වරෙන්. උන් ඉල්ලන්නේ නම්බර්ස් මිසක් කොලිටි රිසර්ච් රිපෝට් එකක් නෙවෙයිනේ. ඉතින් උන් ඉල්ලන නම්බර්ස් උන්ට දීලා අපේ ෆන් එක අපි ගමු බං"

"මේ හම්බ වෙන සොච්චමෙන් මොනවද කැලුම් අයියේ කරන්න පුළුවන්"

එහෙම  ඇහුවේ මා එක්ක හිටපු ප්‍රසන්නයා,

ඇයි බං ඒකට තමයි පෙට්‍රල් බිල්, බයික් රෙපයාර් බිල් වගේ ඒවා තියෙන්නේ. මෙහෙම රෙස්ට් හවුස් වල නවතින්නේ නැතුව බිලක්‌ ගන්න ට්‍රයි එකක් දීපං. උන්ට වැඩක් නෑ නෙ අපි කොහේ හිටියත්, උන්ට ඕන නම්බර්ස් විතරයි..

"ඊළගට අපිට යන්න තියෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ඒරියා තුනට. උඹලා කොහේද යන්නේ."

මට එක පාරටම මතකෙට ආවේ දඹුල්ල පන්සල කිට්ටුව හේනක් වගා කරන අපේ මාම කෙනෙක්ව. 

"අපි යනවා මාතලේ." මම කිව්වා 

 එහෙනං උඹ හෙට ඉදන් මේ ප්‍රදීප්‍ එක්ක වැඩ කරපන්. මම ප්‍රසන්න එක්ක යන්නම්.

කැලුම් අයියලාගේ ඒරියා එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තිබුන නිසා එයාලා පාන්දරම පිටවෙලා ගියේ ඒක ඉවර කරලා හවසට කෑගල්ලේ යනවා කියලා. මමයි ප්‍රදීපුයි දඹුල්ලේ යන්න පිටත් උනා.

නාරම්මල හරහා කුරුණෑගලට ආවාම තමයි මතක් උනේ අදටත් ෆෝම් හතළිහක් කොහෙන් හරි ෆිල් කරගන්න ඕන කියලා. කුරුණෑගල ඉදන් දිගටම පාර අයිනේ තිබුන ෂොප් වලින් සීල් ගහගෙන ඉබ්බාගමුව ටවුම පහු කරනකොට ෆෝම් හතළිහක් පුරවලා. ගලේවෙලට එනකොට බයික් එකේ පැට්‍රල් ඉවරයි. ගිය සති දෙකේ බිල් වල ක්ලෙම් එක වැටිලද කියලා බලන්න බැංකුවට ගියාම තමයි දෙයියෝ සිහි උනේ. සති දෙකේ සල්ලි තවම එකවුන්ට් එකට වැටිලා නෑ.

කම්පනියේ ඉන්න හැම එකාටම පින් දීගෙන එතනම ඉදලා ගත්තා ෆයිනෑන්ස් එකේ ප්‍රසන්නයාට කෝල් එකක්.

" උඹේ සල්ලි හෝල්ඩ් කරලා"

"මොකක්"

" එරන්දට කෝල් එකක් දීලා බලන්න"

ප්‍රසන්න ෆෝන් එක තිබ්බා. එහෙමම එරන්දට කෝල් කළා

" එරන්ද මහත්තයෝ මොකක්ද මගේ එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම කරපු වරද?"

"ගිය සදුදා කොහොමද කිලෝ මීටර් හාරසිය ගානක් ගියේ. කිලෝමීටර් හාරසිය ගානක් එක දවසට බයික් එකේ. වෙන්න බෑ"

"එහෙනං එරන්ද මහත්තයෝ ඔබ තුමාම බයික් එකක් අරන් මතුගම ඉදන් බලංගොඩට ගිහින් ආයේ ඔෆිස් ඇවිත් කුලියාපිටියට ඇවිල්ලා බලන්නකෝ කිලෝ මීටර් කියක් තියෙනවද කියලා"

කියපු  මම එහෙමම ෆෝන් එක තිබ්බා. වෙච්ච කේස් එක දන්න නිසා ඔය අතරේ ප්‍රදීප් කිර්ති ලොක්කටත් කතා කරලා. ටිකකින් කිර්ති ලොක්කාගෙන් මට කෝල් එකක්

"එහෙම එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම දෙන්නේ නෑ. බය වෙන්න එපා. අද හවසට නැත්තම් හෙට උදේට සල්ලි ටික වැටෙයි"

"පැට්‍රල් ගහන්නවත් සල්ලි නෑ. ඒකයි සර් කතා කලේ "

"අදට මොකක් හරි කරගන්න. හෙට උදේට සල්ලි වැටෙයි බය වෙන්න එපා"

ප්‍රදීප් අතේ තිබ්බ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන මාමට කෝල් කළා. 

"දඹුල්ලට ඇවිල්ලා නුවර පාරේ පන්සල පහු කරලා ටික දුරක් ඇවිත් කෝල් එකක් දෙන්න"

කොහොම  හරි අපි දෙන්න මාමගේ හේන හොයාගෙන ගියා. එයා හිටියේ ලොකු ළුණු ගොඩක් තෝරණ ගමන්. 

කාලෙකට  ඉස්සර කැලේ ඇවිදිනකොට බැදපු තුවක්කුවක වෙඩිල්ලකට අහු වෙලා කකුලක් අයින් කරලා තිබුනත් බොරු කකුලක් දාගෙන එයා කරන වැඩ කකුල් දෙකම හොදට තියෙන කෙනෙක්වත් කරන්නේ නෑ. හේන් වගාවේ ඉදන් පොල්ගස් නැගීම දක්වා හැම වැඩක්ම තනි කකුලෙන් ඉන්න එයා කරනවා.

"ඕන දවසක් නවතින්න අපේ පන්සල තියෙනවා. මෙහෙන් නාගෙන පන්සලට යමු. මම කොහොමත් රෑට උයන්න පන්සලට යන්න ඕනේ"

කකුල  කපන්න ඉස්සර ඉදන්ම දඹුල්ල මහ පන්සලේම හිටපු මාමට ඒ අනතුර වෙච්ච වෙලාවේ හැම උදව්වක්ම කරලා තිබුනේ ලොකු හාමුදුරුවෝ. දැන් නම් ඉන්නේ මහ පන්සලට අයිති වෙන පන්සලක කියලයි දැනගන්න ලැබුනේ.

මාම  එක්ක එයා ඉන්න ගෙදරට ආව අපිට ඇදුම් මාරු කරගන්න කියලා වගා ළිදක ඉදලා මෝටර් එකකින් ඇදලා පැල වලට වතුර දාන ලොකු වතුර බටයක් කෙහෙල් ගහක පිත්තක් අස්සේ ගැහුවා. 

"ඔන්‍න‍ ඕන තරම් නාගන්න"  කියලා මෝටරේ ස්ටාර්ට් කළා

කාෂ්ටක දේශගුණයක අව්වට පිච්චි පිච්චි දුවිල්ල නාගෙන මෙච්චර දුර ආව අපට ඒ ලොකු වතුර බටෙන් ඇගට වැටෙන වතුර ගෙනාවේ අමුතුම සිසිලසක්.

එතනින්  නාගෙන මාම එක්ක පන්සලට ගියා. රෝද තුනක් තියෙන අතින් කරකවන වාහනයක් තමයි එයාගේ ගමන් බිමන් යන වාහනේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් වැඩි වයසක හාමුරුරු කෙනෙක් නෙවෙයි. වැඩිම උනොත් අවුරුදු 30 ක් ඇති. ධර්ම ශාලාව ඇතුලේ තියෙන කාමරයක් අපි දෙන්නට හම්බ උනා. රෑට කෑවට පස්සේ ආයේ හේනට යනවා කියලා මාම යන්න ගියා. අපි එදා රෑ නිදා ගත්තේ හෙට ඉදන් නම් හොද පිස්සුවක් කෙලිනවා කියන ලොකු බලාපොරොත්තුවකින්.....

.............................................................................................................


බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය 2012
මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
ස්තුතියි..!
 

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="300" width="230"></embed>




   

Monday, August 27, 2012

කිලෝමිටර් නැති චාරිකා 01




කලින් ලියපු එව්වා 

මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්


කියෙව්වේ නැතිනම් කියෝලම එන්න 











කොම්පැනියට යනකොට හොදටම පරක්කුයි. බොසා බලාගෙන ඉන්නවා පරක්කුවට. 

" මොන මගුලක් කලාද බං මෙච්චර වෙලා "

" හදිසි ඕඩර් වගයක් තිබුනා සර්, ඒක දෙන්න යන්න උනා. ඒකයි ටිකක් පරක්කු උනේ"

"හරි හරි බං ඉක්මනට ගිහින් කිර්ති සර්ව හම්බ වෙයං"

මමත් ඉක්මනට ගිහින් (අප)කිර්ති බොසාගේ කාමරේට ඇතුල් උනා 

"ගුඩ් මෝනින් සර්"

"ගුඩ් මෝනින් , දන්නවාද අද එන්න කිව්වේ මොකටද කියලා"

"නෑ සර් "

"අපි ලංකාව වටේම පොඩි රිසර්ච් එකක් කරනවා අපේ නිෂ්පාදන ගැන. හෙට ඉදන් ඒ සමීක්ෂණයට යන්න වෙනවා. සේල් එක ගැන මනෝජ් බලාගනියි. අපි කම්පනියෙන් බයික් එකක් එක්ක අන්ලිමිටඩ් පෙට්‍රල් හොටෙල් බිල් එක්ක එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා. අනිත් විස්තර නුවන් මහත්තයා ගෙන් අහගන්න. දැන් V.M.D එකට ගිහින් බයික් එකක් අරන් ඇවිත් නුවන් මහත්තයා හම්බ වෙන්න"

බොසා කියාගෙන කියාගෙන ගියා. එකම ඒරියා එකකට කොටු වෙලා ජිවිතේ ගෙවනවාට වඩා කොම්පනිය ගානේ කාල බිලා රට වටේ ඇවිදලා එන්න චාන්ස් එකක් හම්බ වෙච්ච එකට පට්ට හැපියෙන් V.M.D එකට ගිහින් බොසා දුන්න ලියුම දුන්නා. හම්බ උන බයික් එකේ රට වටේ යනවනං ඊට කලින් අන්තිම කැමති පත්තරේ ලියලා  ඉන්න ඕනේ.

" මොකක්ද බං ලොක්කා මහ ලොකුවට කිව්වේ අලුත් බයික් එකක් දෙනවා වගේනේ. මේකේ යන්න පුලුවන්ද? ටිකක් හොද එකක් දියන්කෝ"

" අලුත් ඒවා ඕන නම් උඹලගේ බෝසාගෙන්ම ඉල්ලා ගනින්. උඹ තව පැයකින් වරෙන් මේක යන්න පුළුවන් ගානට හදලා තියන්නම්"

බයික් එක හදන්න දාලා නුවන් ලොක්කව හම්බවෙන්න ගියේ හෙට ඉදන් කොයි ලෝකේ යන්න වෙයිද කියලා දැනගන්න ඕන නිසා.

" බයික් එක ගත්තද"

"බයික් එක නම් හම්බ උනා නුවන් මහත්තයෝ. කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා තමයි සැක."

"ගණන් ගන්න එපා ඕක හදලා දෙයි. ලබන සතියේ ආවාම මාරු කරලා දෙන්නම් දැනට වෙන බයික් නෑ "

" දැන් හෙට මම කොහෙද යන්න තියෙන්නේ, මොකක්ද අප්පා මේ කේස් එක "

"අපේ තව සෙට් එකක් දැනට බලංගොඩ ඉන්නවා. උඹ හෙට උදේ 8 වෙනකොට එහෙට පලයන්. එයාල  කරන වැඩේ කියලා දෙයි. තියෙන ෂොප් වලට ගිහින් මේ ෆෝර්ම් එක ෆිල් කරගෙන එන ඒකයි තියෙන්නේ. දවසකට එක්කෙනෙක් ෂොප් 20 ක් විසිට් කරන්න ඕනේ. බයික් එකේ තව එක්කෙනෙක් යනවා දෙන්න ෂොප් 40 යි. "

"දැන් මම තනියමද යන්නේ."

අනිත් කෙනා එහෙට එයි. දැන් බයික් ඒක අරන් ගිහින් හෙට උදේ යන්න ලැස්ති වෙන්න.

නුවන් ලොක්කා කිව්වේ ඒරියා මැප්‍ ඒකයි ෆෝම් තොගේකුයි මෙසේ උඩට ඇදලා දාන ගමන් 

මේකේ බලංගොඩ කදු අදින්න නම් අද ඉදලම යන්න වෙයි. කියාගෙනම මම V.M.D එකෙන් බයික් එකත් අරන් එහෙමම ගෙදර ආවා. දැන් ඉතින් හෙට අට වෙනකොට හිටපන්කෝ බලංගොඩ..

ගෙදරින් පිටත් උනේ පහුවදා උදේ පාන්දර හතරට විතර. බදුරලිය කලවාන, නිවිතිගල ටවුන් එකෙන් වටාපත පරණ රේල් පාරට දාලා කහවත්ත ස්ටෑන්ඩ් එක හරහා ඕපනායක හරහා බලංගොඩට එනකොට උදේ හතයි පනහයි. එහේ ඉන්න උන්ගේ නම්බර් එකට කෝල් කරලා බැලුවා.

"බස් ස්ටෑන්ඩ් එක ලග හිටපන්කෝ අපි එන්නම් "

කැලුම් අයියා වැඩි කතා නැතුව ෆෝන් එක තිබ්බා. දෙයියනේ කියලා පැය බාගයක් විතර ස්ටෑන්ඩ් එක ලගට වෙලා ඉන්නකොට මෙන්න එනවා බයික් සෙට් එකක්ම. 

"ගුඩ් මෝනින් මල්ලි, මේ කම්පනියේ ඉන්න @@# පුතාලට පිස්සුද බං"

"ඒ මොකද අයියා"

"අපි මේ ඒරියා එක ඉවර කරලා යන්න බලාගෙන ඉන්නවා. මුන් තව තව උන් එවනවා. හිටපන් මං නුවන් ලොක්කට කෝල් එකක් දෙනකං"

කැලුම් අයියා කම්පනියට කෝල් කරලා මොන මොනවද කියවනවා අපි පැත්තකට වෙලා බලාගෙන හිටියා.. 

" කට්ටියටම ආයෙත් ඔෆිස් එන්න කියන්නේ. පිස්සු මුන්ටද නැත්තම් මේකේ වැඩ කරන අපටද?"

ඔෆිස් එකට දීපු කෝල් එක ඉවර කරලා කැලුමා අපේ පැත්තට ආවේ කොම්පැනියේ ඉන්න උන්ගේ අම්ම අප්පට පින් දෙන ගමන්.

"මොකද බං කේස් එක?"

"ඒ ගමන කියනවා මෙහේ වැඩ ඉවරනම් කට්ටියට ඔෆිස් එකට එන්න කියලා. ඇයි බං මුන් හොදටම දන්නවනේ මෙහේ වැඩ ඉවරයි කියලා. බලපන් මෙයා අද පාන්දර ඉදන් ඇවිල්ලා දැන් ආයෙත් කොළඹ එන්න කියනවා."

කතාවෙන් කතාවෙන් කට්ටියම ආයෙමත් බයික් වල නැගලා කොළඹ එන්න පිටත් උනා.  

 රත්මලානේ ඔෆිස් එකට එනකොට දවල් එකට විතර ඇති.

එනකොටම මගදීම නුවන් බොසා ඒරියා මැප් 3 ක් අරගෙන එනවා. මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඔය හය දෙනා එක ඒරියා එකක ඉන්නේ නැතුව ඒරියා 3 කට යන්න. මිගමුව, කුලියාපිටිය, පුත්තලම මේවයින් ඔයාල කැමති තැනකට යන්න පුළුවන්. දැන්ම පිටත් උනොත් රෑ වෙනකොට යන්න පුළුවන්. ගිහින් කෝල් කරන්න.

උදේ පාන්දර ඉදන් කිලෝමීටර් දෙසිය ගානක් බයිසිකල් පැදලා හුස්මක් ගන්නත් කලින් ආයේ පලයන්කෝ. මා එක්ක යන්න හිටියේ ප්‍රසන්නයා. කුලියාපිටියේ එයාගේ යාලුවෙක් ඉන්න නිසා එයාට කෝල් එකක් දුන්නේ දැන් ගිහින් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නැති නිසා රෑට නවතින්න තැනක් හොයාගන්න. දෙක වෙනකොට අපි කට්ටියම ආයෙත් ඔෆිස් එකෙන් පිට උනේ කුලියාපිටියේ යන්න. ජා ඇලට වෙනකම් කට්ටියම ආවේ එකට. 

අපි දෙන්නා එතනින් කැලුම් අයියලාගෙන් සමුගෙන කුරුණෑගල පාරට දාගත්තා. බස් එකේ ගිහින් තිබුනට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කුලියාපිටි යන්න පාරක් හරියට දන්නෙත් නෑ. හතර වටේටම කෝල් කර කර පාරවල් අහගෙන දෙයියන්ගේ පිහිටෙන් කුලියාපිටිය ටවුමට එනකොට රෑ නවයහමාරත් පහු වෙලා. ප්‍රසන්නගේ යාළුවා බුක් කරලා තිබුණු රුම් එක හොයා ගෙන යනකොට අපි දෙන්නටම සංසාරේ එපා වෙලා තිබුනේ එදා දවසට ලොකු ඇදුම් බෑග් දෙකකුත් උස්සගෙන කිලෝමීටර් පන්සියකට කිට්ටු වෙන්න බයික්  පැදලා තිබ්බ හින්දා. රුම් එකට රිංගපු ගමන් වොෂ් එකක් දාගෙන නොකා නොබීම ඇදට වැටුනා 
කිලෝමීටර් නැති පළමු දවසේ නිමාව....


Thursday, November 10, 2011

පොළොන්නරු සංචාරය

මේ සතියේ මගේ සංචාරක ප්‍රදේශය උනේ අයිතිහාසික පුලතිසි පුරවරය එහෙමත් නැත්තම් පොළොන්නරු පුරවරය. කකුල් දෙක අස්සේ ගහ ගත්ත මෝටර් බයිසිකලයක් උඩ නැගලා රට වටේ ගිය බොහෝ දුරට මේ සතියෙන් අවසන් වෙන්නත් ඉඩ තියනවා. පොළොන්නරුවට මුලින්ම ඇතුල් වෙනකොටම ඇස් ඉදිරි පිටම දකින්නට ලැබුනේ බොහොම දුක්බර සිදුවීමක්. අපේ ඉස්සරහට තරමක වේගයෙන් ආව බයිසිකලයක් තව බයිසිකලයක හැපිලා එක බයිසිකලයක් පැදගෙන ආපු කෙනා වැටුනේ බුස් රථයක පිටිපස්සේ රෝදේ ඉස්සරහට. බස් එක නැවතුනේ ඒ කෙනා දාගන හිටපු හෙල්මට් එක කුඩු වෙන සද්දෙට. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ගෙදර ඉන්න පොඩි දරුවට කිරි දෙන්න පරක්කු වෙන නිසා වේගෙන් ආවා කියලයි කියන්නේ. හේතුව මොනවා උනත් පරිස්සමින් වාහන අරන් යන්න අපටත් මේක හොද පාඩමක් උනා. 
ගිය සතියේ දාපු පින්තුර ටිකට ආව කමෙන්ට් වල හැටියට මට පෙන්නේ මේ බ්ලොග් ලියන කියවන අය කවදාවත් ආසාවටවත් ට්‍රිප් එකක් වත් යන අය නෙවෙයි වගේ. මේ සැරේ අපේ සංචාරක කටයුතු ගොඩාක් කලේ වැඩ ඉවර කරලා හවස් වරුවේ නිසා සමහර ෆොටෝ වල නම් තියෙන්නේ කළුවර විතරයි. මේ තියෙන්නේ එතන තිබුණු ටිකක් හරි හොද ෆොටෝ ටිකක්  


මේ තියෙන්නේ පොළොන්නරුවේ සදකඩ පහන අනුරාදපුර සදකඩ පහනට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගවයාගේ රුපය සදකඩ පහනින් ඉවත් කර තිබීම. හින්දු බලපෑම නිසා හින්දුන්ගේ පුජනිය සත්වයකු වන ගවයා පයට පෑගීමට  නුසුදුසු වීම හේතුවෙන් සදකඩ පහනින් අයින් කළා කියලා තමයි කියන්නේ.




මේ පොළොන්නරු ගල්විහාරයේ සමාදී පිළිමය හිටි පිළිමය හා පිරිනිවන් මංචකය පිළිම 



මේ තියෙන්නේ මැදිරිගිරිය වටදාගය


මේ මැදිරිගිරිය වටදාගය අනුරාදපුර යුගයේ රජකම් කල කනිෂ්කතිස්ස රජතුමා විසින් කරවන ලද්දක් කියලා තමයි කියන්නේ 




පොළොන්නරුවේ නෙලුම් පොකුණ 



මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ නෙලුම් මලක ආකෘතියකට  ඒ නිසා නෙලුම් පොකුණ කියලා කියනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.







මිට අමතරව මහවස්සේ තෙමිගෙන සෝමාවතී චෛත්‍යය වන්දනා කරන්න ගියත් ඒ එකකවත් ෆොටෝ නම් නෑ. තියෙන්නේ කදුරුවෙල නගරයේ ඉදන් 40 km විතර ඇතින්.  සෝමාවතී දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියක් විසින් කියලයි කියන්නේ.ඒ සෝමාවතියේ නිසා අයිතිහාසික වටිනාකමින් ඉහලම ස්ථානයක තියනවා. එත් මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න වම් දන්ත දාතුන් වහන්සේට තියන සැලකිල්ල වනාන්තරයක් මැද තියන මේ දාගැබට තියනවාද කියන එක නම්  ප්‍රශ්නයක්,

Sunday, October 30, 2011

කාලෙකට පස්සේ



මේ දවස් වල ජොබ් එකත් එක්ක  ජීවිතේම පාරට වැටිලා හින්දා බ්ලොග් එක පැත්ත පලාතක එන්න වෙන්නේ නැ. ඒක නිසා ඔය යන එන අතර මගදී  ගනිපු පොටෝ දෙක තුනක් වත් දාල යන්න හිතුනේ ආයෙත් බ්ලොග් ඒක පැත්තේ කවදා එන්න වෙයිද කියන්න බැරි නිසා. කැමරාව චයිනිස් හින්දා කොලිටිය නම් උපරිමයි. මේ පොටෝ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවා පහලින් ලියලා යන්න අමතක කරන්න එපා  







මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ. දබුල්ල මාතලේ මාර්ගයේ නාලන්ද කියන ප්‍රදේශයේ හැරිලා කිලෝමීටරයක් විතර ගියාම   තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හරි මැද මේක පිහිටවලා තියනවා කියලා තමයි කියන්නේ.



මේ කැටයම තියෙන්නෙත් නාලන්දා ගෙඩිගේම තමයි. මෙතන ඉන්නවා කියන්නේ පිරිමියෙකුයි ගැහැනියකුයි සිංහයකුයි. මේ තුන් දෙනා මොනවා කරනවද කියලා මම නම් දන්නේ නැ. කොහොමටත් ලංකාවේ තියන මේ ජාතියේ එකම කැටයම කියලා තමයි කියන්නේ.





පිදුරංගල කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ ගොඩ නගාපු පන්සලක්. එකේ ඉපැරණි ලෙන් විහාර සංකීර්ණයක් එහෙමත් තියෙනවා. අවාසනාවට එතැනදී ගත්ත එකම ෆොටෝ එකක්වත් හොයාගන්න නැ. මේ තියෙන්නේ ඒ ලෙන් සංකීර්ණයෙන් උඩ තියෙන ගලට නැග්ගාම සිගිරි පර්වතය පෙන විදිය.


මේ තියෙන්නේ රන්දෙනිගල හරී රන්ටැබේ හරී වේලි දෙකෙන් එකක් ඇවිදපු අවිදිල්ලේ හැටියට මටත් මේ මොකක්ද කියලා හරියටම මීටර් නැ. කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද කියලා කියලා යන්න.
මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය එක්ක ගත්ත පොටෝ ටිකක් හරී මෙහෙම ඉතුරු උන ඒක ලොකු දෙයක්. එහෙමනම් තවත් සතියක දෙකක සංචාරයකින් පස්සේ මම අයෙමත් බ්ලොග් ඒක පැත්තට එනවා. එතකම් හැමෝටම ආයුබෝවන්. 

Monday, October 10, 2011

සදමාලි මාලි 02 කොටස


පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් කියවලාම එන්න


සදමාලිගෙයි සුනිල්ගෙයි කසාදෙ රෙජිස්ටර් කලේ බොරු වයසක් දාල. මොකද තාම මාලිගේ වයස අවුරුදු පහළොවක් විතරයි. එදා මාලිගේ ගෙදර මහා ලොකු උත්සවයක් නොතිබුනත් සුනිල් එයා ගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක මදුවිතින් සප්පායම් වෙන්න පටන් ගත්තේ කලින් දවසේ දඩයම් කරගන ආපු වල උරු මස් බයිට් එකත් එක්ක. කසාද බැදලා පලවෙනි දවසෙම හොදටම බිලා වැටිලා හිටපු සුනිල්ව වත්තම් කරගන ගෙට අරන් එන්න උනෙත් සදමලිටයි අම්මටයි දෙන්නට. සුනිල්ගේ  යාළුවො ඔක්කොම මේ වෙනකොටත් නොකියම ගිහිල්ලයි තිබුනේ. 
පහුවෙනිදා මොකුත් නොදන්නවා වගේ සුනිල් රාජකාරියට පිටත් උනේ මේ දවස්වල පළාතේ තිබුණු තත්වය උඩ කසාද බදින්න කියලා නිවාඩු දාල ඉන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා. 
කාලය මේ විදියට වේගයෙන් ගෙවිලගියා අවරුදු දහසය ලබනකොට අම්ම කෙනෙක් වෙන්න සිද්ද උනත් මාලිගේ රුප ලස්සනේ නම් අඩුවක් වෙලා තිබුනේ නැ.  
රංග කියන්නේ මාලිගේ ගමේ පොලිස් ස්ථානයට අලුතින් පත්වෙලා ආපු පොලිස් කොස්තාපල් කෙනෙක්. රඟපෑවා එක දවසක් මලීට මුණ ගැහුනේ රාජකාරි කටයුත්තකට මාලි සේවය කරපු රාජ්‍ය නොවන ආයතනයට ආව වෙලාවක. එදා රාජකාරි මට්ටමින් ඇති වෙච්ච දන අදුනුම් කම තහනම් ගැහෙ ගෙඩි කමක් දක්වා දුර දිග යන්න වැඩි කාලයක් ගත උනේ නැ.
මාලිගේ හිතේ සුනිල් ගැන කවමදාවත් ඇති නොවෙච්ච ආදරයක් රංග ගැන ඇති වෙලයි තිබුනේ.තමන් කරන්නේ  වරදක් බව දන දැනත් ඒ ආදරේ  නතර කරලා දාන්න රංග වත් මලිවත් කල්පනා කලේ නැ. මාලි අවුරුදු දෙකක පුංචි කොලු පැටියෙකුගේ අම්ම කෙනෙක් උනත් මලීට රන්ගත් ගොඩාක් ආදරේ කළා.
ලෝකෙටම හොරෙන් කරගන ගිය මේ ආදර කතාව සුනිල්ගේ කනට වැටෙන්නත් වැඩි දවසක් ගත උනේ නැ. එදා හවස සුනිල් ගෙදර ආවේ හොදටම වෙරිමතින්
"පට්ට #@@# උබ අරු එක්ක නටන නෙයියාඩගම නැවැත්තුවේ නැත්තම් තොපි දෙන්නම බාවලා මමත් මැරෙනවා."
සුනිල් වෙරි මතේම මහා හයියෙන් කෑ ගැහුවා. 
"මම #@@# තමයි යකෝ, මට ඕන නම් මම රංග එක්ක යනවා උබට  පුලුවන්නම් නවත්තපන් බලන්න මම මෙහෙමවත් ඉන්නේ මේ කිරි සප්පය හින්දා " 
මාලි සුනිල් එක්ක එකට එකම කියන්න පටන් ගත්තේ මේ වෙනකොට සුනිල්ව හොදටම එපා වෙලා තිබුණු නිසා.
හැමදාම මේ විදියට සිද්ද වෙන රණ්ඩු සරුවල් දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මාලිගේ අම්මට වත් පුංචි පුතාටවත් තිබුනේ නැ.
මේ වෙනකොට සුනිල් සේවය කෙරුවෙත් රංග සේවය කරපු පොලිස් ස්ථානයට අනියුක්තවමයි. රංග ගැන දැඩි වෛරයක් හිතේ තියාගන හිටපු  සුනිල් බලාගන හිටියේ රන්ගගෙන් පලිගන්න අවස්තාවක් ලැබෙන තුරු.
ඒ දවස උදා උනේ නොහිතපු විදියට. 
එක දවසක් පාන්දර සුනිල් රාජකාරි නිමාකරලා ගෙදරට එමින් සිටියා. ඉස්සරහට මුණගැහුනේ තමන්ගේ ගෙදර ඉදලා එලියට බහින රංගව ..
උදේ පාන්දර රංගගේ මුණ දැකපු සුනිල්ගේ ඇස දෙකෙන් ගිනි  පිට උනා. #%% බල්ලා,
අතේ තිබුණු රාජකාරි ගිනි අවිය රංගගේ මුනට එල්ල කරලා කොකා ගස්සන්න සුනිල්ට මහා වෙලාවක් ගත උනේ නැ. කපාපු කෙහෙල් කඩක් වගේ රංග  බිම වැටෙන කොට වෙඩි සද්දෙට ඉස්සරහට ආපු මාලිට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. 
"අනේ මගේ රංග,"
 මාලි මහ හඩින් විලාප තිව්වා. 
"මාවත් ඔකෙන්ම තියලා මරලා දාපන්" 
මාලි කෑ ගැහුවේ  මොකුත්ම සිද්ද නොවුණු ගානට පාර දිගේ යන සුනිල් දිහා බලාගන. මාලිගේ අම්ම සිද්දුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලා ඉන්නවා. මාලි පිස්සියක් වගේ ගේ ඇතුලට දිව්වා. පුංචි කොලු පැටියා අම්මගේ පස්සෙන් දිව්වා. අතට අහුවුනේ කුබුරට ගහන්න ගෙනාපු කෘමි නාශක බෝතලයක්. වැඩිපුර හිතන්නේ නැතුවම මාලි කෘමි නාශක බෝතලයම කටේ හලා ගන්නවා පොඩි එකා බලාගන හිටියා. මාලි බිම වැටුනේ කට දෙපැත්තෙන්ම වමනය පිට කරන ගමන්. 
අනේ මගේ  අම්මා........................
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
අප ආයතනයේ සේවය කල සදමාලි දිසානායක මහත්මියගේ අවමගුල් කටයුතු වෙනුවෙන් ගෙවූ මුදල රු xxxxxx
"මේ ගිය පාර අපි එනකොට මේකේ වැඩ  කරපු ගැනු ළමය නේද?" 
වසර කිහිපයකට කලින් රාජ්‍ය නොවන ආයතනයක විගණන කටයුතු වෙනුවෙන් ගියපු වෙලාවේ මම පරික්ෂා කර කර හිටපු වව්චර් එක පෙන්නලා මම එතන හිටපු ගිණුම් සහායකවරයා ගෙන් ඇහුවේ මොකද මෙයාට උනේ කියලා.
"එක දිග කතාවක් මම හවසට කියන්නම් " එදා ඔහු එහෙම කියලා ගියත් වැඩ රාජකාරී නිසා ඒ කතාව අහන්න බැරි උනා. මම විගණන ආයතනයෙන් අයින් වෙලා ටික කාලෙකට පස්සේ ආයෙමත් මට ඒ ගිණුම් සහායකවරයව මුණගැහුනේ එක්තරා පාසලක ගුරුවරයෙක් වශයෙන්. රාජකාරි බැදීම් අත ඇරලා අපි හොද මිතුරන් වුනා. මේ තියෙන්නේ එදා ඔහු මට කියපු කතාව. මේ කතාවේ කවුද හරි, කවුද වැරදි කියලා තීරණය කරන එක කියවන ඔයාලට බාරයි.
(මට ආයෙමත් දවසක නෙට්වර්ක් තියෙන තැනක කම්පියුටර් එකක් ලැබෙන කම් ටික දවසකට ආයුබෝවන් කියන්න සිද්ද වෙනවා. එහෙනම් තව කිලෝමීටර් තුන් හාරදාහකට පස්සේ නැවත හමුවෙමු) 

Sunday, October 9, 2011

සදමලි මාලි 01 කොටස


මාසයක් විතර බ්ලොග් එක පැත්තට එන්න බැරි උනා. මොකද මම වැඩ කරන්නේ කම්පියුටර් තියන ඔෆීස් එකක නෙවෙයි මහපාරේ මෝටර් බයිසිකලයක් උඩ. අදත් කියන්න හදන්නේ ඇත්තම කතාවක්. හැබැයි කතාව ටිකක් දිගයි. සමහර පොස්ට් දෙක තුනක් දාන්න වෙයි. ඒත් මේ නිවාඩුව ඇතුලත ඔක්කොම ලියන්න වෙනවා. මොකද ආයෙත් මට කවදා බ්ලොග් එක පැත්තේ එන්න වෙයිද කියන්න බැරි නිසා.
 සදමලි කියන්නේ මගේ ජිවිතේ මට මුණ ගැහුණු තවත් එක ගැහැනියක් විතරයි. ඒත් මේ ජීවිතේට සිද්ද උන දේවල් සිද්ද උනේ කාගේ වැරද්දකින්ද? වගකිව යුත්තෝ කව්ද? කියන්න මට තේරෙන්නේ නෑ. ඔයාල මේක කියවලාම හිතෙන දෙයක් කියලා යන්න. (නම් ගම් මනකල්පිතයි) 
.................................................................................................................................................................
පාඩම් කර කර හිටපු පොත පැත්තකින් තියලා සදමාලි ඇදේ වතිරුනේ අනාගතේ ගැන බලාපොරොත්තු හීන ගොඩාක් හිතේ හිර කරගන දන්නෙම නැතුව ඇස් දෙක පිය උනත් එක පාරටම ඇහැරුනේ අල්ලපු ගෙදර ගුණපාල මාමා ගේ කෑගැහිල්ලට. "සිරිපාලයෝ ඉක්මනට නැගිටලා වරෙන් හේනට අලි අවිල්ලලු" හුළු ඇත්තකුත් පත්තු කරගන වට ලගට ඇවිත් අප්පච්චිව ඇහරවා ගත්ත ගුණපාල මම ඉක්මනට වරෙන් මම යනවා කියලා ගම දිහාවට දුවගන ගියා.ලාම්පුවට අල්ලලා හුළු අත්තක් පත්තු කරගත්ත අප්පච්චි එලියට බැස්සේ උබල පරිස්සමින් දොර වහගන හිටපල්ලා කියලා අම්මට කියන ගමන්. අප්පච්චි පිටවෙලා යන දිහා ටිකක් වෙලා බලන් හිටපු අම්මා දොර වහල දාල ගේ ඇතුලට ආවේ මේ මල කරදරේ කවදා ඉවර වෙයිද කියලා කියන ගමන්. 
ඇයි අම්මේ ගිය සතියේ ග්‍රාම සංවර්දන සමිතියට ආපු මහත්තුරු  කිව්වලු නේද අලි වැටක් ගහනවා කියලා. එත කොට මේ කරදරේ ඉවර වෙයි. සදමාලි කිව්වේ කුස්සියේ ලිපට ගිනි පෙනෙල්ලක් දාල පිබින අම්ම දිහා බලාගන. ඕව කවදා කෙරෙන වැඩද? හැමදාමත් ඔය මහත්තුරු එනවා මොනවහරි කොලේකලියාගන යනවා. එත් වෙච්ච වැඩක් නම් නෑ. උබටත් ටේ කහට උගුරක් ඕනද? අම්ම ඇහුවේ වතුර පුරවපු කෙතලේ ලිප උඩින් තියන ගමන් දිග හුස්මක් හෙලමින් .
ඩෝ o ............. 
එක පාරටම ඇහුන වෙඩි හඩත් එක්කම ඇහුන කෑගැහිල්ලට සදමාලි අම්මව බදා ගත්තා. කොටි වත් ඇවිල්ලද?  මාලි අම්මගෙන් ඇහුවේ රහසින් වගේ. සදමාලිට මතක් උනේ ගිය මාසේ දවසක ගමට කොටි ගහපු දවස. ගමට කොටි ආවා කියන ආරංචියට අම්මයි අප්පච්චියි එක්ක කැලේ හදාගන තිබුණු බංකරේට රිංගලා පන බයේ ගැහි ගැහි ගුලිවෙලා හිටපු විදිය මතක් වෙනකොටත් තවම පපුව ගැහෙනවා. ඒ තරමට මරණ බය කියන එක සදමාලිට කවදාකවත් දැනිලා නෑ. වෙන්න බෑ. ඔය කව්රුහරි අලින්ට වෙඩි තියන්න ඇති. උබ බය නැතුව ඉදින්. කුසුමාවතී සදමාලිගේ ඔලුව අතගාවේ ආදරෙන්.
කුසුමාවතී අක්කේ............,  කුසුමාවතී අක්කේ..........., එහෙම කෑ ගහගන ගේ දිහාවට දුවගන ආවේ ගුණපාල මාම. ඉක්මනට දොර ඇරපන් අක්කේ කඩුල්ලෙන් පැනලා මිදුලට ඇවිත් ගුණපාල කෑ ගැහුවා. මොකද මල්ලියේ උනේ කවුද වෙඩි තිබ්බේ  කුසුමාවතී එහෙම ඇහුවේ දොර අරින ගමන්. අක්කේ උබ කලබල වෙන්න එපා. සිරිපාල අයියට අලියා ගැහුවා. මොකක් ....... සදමාලිට මතක තිබුනේ එච්චරයි....
........................................................................................................................................................................................................................
අප්පච්ච්ගේ මරණේ කටයුතුයි හත්දවසේ දානේ කටයුතුයි ඉවර වෙන කොට තවත් වියදම් කරන්න කියලා තබ දොයිතුවක් වත් කුසුමාවතී ලග තිබුනේ නෑ. සිරිපාලගේ මරණය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබුණු වන්දි මුදල ටික දවසකට ජීවිතය ගැට ගහගන්න ප්‍රමාණවත් උනත් හැමදාමත් පපුවේ මහන්සියෙන් පිඩා විදපු කුසුමාවතිට රස්සාවක් කරන්න තරම් හයියක් ඉතුරුවෙලා තිබුනේ නෑ. " කෙල්ලේ උබට තවත් ඉස්කෝලේ යන්න ඕනද? කුසුමාවතී සදමාලිගෙන් ඇහුවේ වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසා. මේ වෙනකොටත් ගෙදර තත්වය ගැන හොද අවබෝදයකින් හිටපු මාලි තමන්ට රසාවක් හොයාදෙන්න කියලා දන්නා කියන කිහිප දෙනෙකුටම කියලයි තිබුනේ. අල්ලපු ගමේ තිබුණු රාජ්‍ය නොවන සන්විදානයක කාර්යාල සහායිකාවක් විදියට සදමාලිට රස්සාවක් ලැබෙන්නේ ඒ කෙනෙක්ගේ උදවුව මත.
.......................................................................................................................................................................................................................................................
අම්මේ මම දර ටිකක් කඩාගන එන්නම්. සදමලි එහෙම කියාගන එලියට බැස්සේ හැමදාම වැඩ ඇරිලා ඇවිත් කරන මේ රාජකාරියත් ජිවිතේ තවත් එක අංගයක් විතරක් නිසා. ඒත් දර හොයාගන වැඩි  දුරක් යන්න සදමාලිට ලැබුනේ නෑ. ඉස්සරහට මුණගැහුනේ ග්රාමාරක්ෂකයෙක්  විදියට රස්සාව කරපු සුනිල් අයියාව. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල සිද්ද උන සිද්දියක්  සදමාලිගේ මතකෙට ආවේ නිරායාසයෙන්. පාර අයිනේ බංකරයක් ලග හිටපු සුනිල් මුලින්ම තමන්ට කැමතිද කියල මාලිගෙන් ඇහුවේ එදා. අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු පොඩි බදාගන ඉස්කෝලේ ගිය මාලි තමන්ට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩුමහල් සුනිල්ගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සුනිල්ට හොදටම බැනලා. එදා ඉදන් අද වෙනකම් වචනයක් වත් කතා නොකලත් නිතරම සුනිල් තමන් වටේ කැරකෙමින් හිටපු බව සදමාලිට තෙරිලයි තිබුනේ. 
"ආ නංගි මොකද මේ තනි පංගලමේ කැලේ" මාලි ආයෙත් මේ ලෝකෙට ආවේ සුනිල්ගේ කට හඩට. "දර ටිකක් කඩා ගන්න කියල ආව අයියේ"
එක නෙවෙයි නංගි දැන් තාත්තා නැතිවෙලත් කාලයක් උන එකේ ඔයාලට අමාරුත් ඇති නේද? සුනිල් එහෙම අහගන සදමාලිට ලං වුනා. "මට රස්සාවක් හම්බුනා එක නිසා ප්‍රශ්නයක් නෑ.මට පරක්කු වෙනවා ගිහින් එන්නම් අයියේ" සදමාලි සුනිල්ව මග ඇරලා යන්න හැදුවත් පාර හරස් කරගන හිටපු සුනිල්  මාලිගේ අතින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා. අනාගතේ ගැන තවත් හීන දකින්න උවමනාවක් තව දුරටත් මාලිගේ හිතේ ඉතුරුවෙලා තිබුනේ නෑ. නිරන්තර ත්‍රස්තවාදී  තර්ජන වලට මුහුණ දීපු මායිම් ගම්මනෙක අසරණ වෙලා හිටපු මාලිගේ හිතේ ඒ වෙන කොට ඉතුරු වෙලා තිබුනේ අද දවසේ ජිවත් වෙන්නේ කොහොමද කියන බලාපොරොත්තුව විතරයි. " මට රස්සාවක් තියනවා. ඔයා කැමතිනම් අපි හෙටම කසාද බදිමු " සුනිල් කියන දේට කිසිම දෙයක් නොකියා බලාගන හිටපු මාලිගේ අතින් ඇදගන සුනිල් කැලේ ඇතුලටම රිංගුවා.........................................................................................................

මතු සම්බන්දයි
ඊලග කොටසට මෙතනින් යන්න 

Monday, September 5, 2011

රට වටේ ගමන් - කුරුදු ඔය ඇල්ල සොයා 02 කොටස

අපිත් පැත්තට ගියේ මු ඇල්ල හොයාගෙන වත්ද කියලා හිතාගන. ගිහිල්ලා බලන කොට පල්ලෙහා හෙන ප්රපාතයක්. ප්රපාතය පල්ලමේ වලපනේ ටවුන් එක. පාර වරද්ද ගැන අපි ඇවිත් හිටියේ වලපනේ ටවුමට පෙනෙන මහා ගල් පර්වතයේ අන්තිම කොනට. දැන් වෙලාව හයහාමාරට විතර ඇති. මොන දිය ඇලිද තව පැය හතරක විතර කැලේ මැදින් පාරවල් හොයාගන යන්න ඕන ගමනකුත් තියනවා. අපි ආපහු එන්න හැරුනා. ගල් තලාව දිගේ වැඩි දුරක් එන්න උනේ නෑ. මහා හුලගක් හමන්න පටන් ගත්තා. දෙපැත්තම මහා පාතාලයක්.  මදිවට හැන්දෑ අදුර නිසා හරියකට පාර පේන්නෙත් නෑ. හුළගේ සැර වැඩි නිසා කොහාටවත් යා ගන්නත් බෑ. දැනුත් මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලා බලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ටිකකින්  හුලග අඩු උනා. තුන් දෙනාගේ අතේ තිබුණු ෆෝන් වල එළියෙන් අපි බොහොම අමාරුවෙන් පල්ලම් බැහැලා ඔෆිස් එකට එනකොට රෑ දහයට විතර ඇති. 
රන්ජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රන්ජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන සුලන් කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රන්ජි අයියා කිව්වාමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රන්ජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා. 

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.)  මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා.  ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක  අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා. දේවාලය පහු කරලා වමට තියන පාරේ ගියාම පොඩි ලයින් කාමර පේලියක් තියනවා. මහත්තයෝ ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා  එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට ඒ පෙන්නපු පාර දිගේ  අපි ඉදිරියටම ගියා

මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම  ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා. මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොශානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස හය විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.





මෙම ඇල්ලේ උස මීටර් 189 කි මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔය දිය ඇල්ල පෝෂණය කරයි 




මේ පොටෝ ටික ඉස්සුවේ ගුගල් දෙයියගේ පිහිටෙන් නෙට් එක පීරලා. ඒවා උස්සපු සයිට් වල නම් මතක නැති උනත් ඒවායේ නියම අයිතිකාරයෝ හැමෝටම තැන්කු හොදේ.......අම්බලම .......
  

Saturday, September 3, 2011

රට වටේ ගමන් - 01 කුරුදු ඔය ඇල්ල සොයා - 01 කොටස


අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඔක්කොම හිටියේ A /L ඉවර කරපු ගමන් වගේ කොල්ලෝ සෙට් එකක්. ඔහොම යනකොට අපි කරපු කියපු දේවල් වගේම රසබර සිද්දිත් ගොඩයි. මේකත් අපි නටපු එක පිස්සුවක් ගැන කතාවක්.
ඔඩිට් එක තිබුනේ වලපනේ. ඔෆිස් එකට ටවුන් එකේ ඉදලා නුවර එලිය පාරේ ටික දුරක් යන්න ඕනේ. මට මතක හැටියට ඒ  හරියට කියන්නේ මහ ඌව වත්ත වගේ නමක්. ලස්සන පළාත. වැඩේට ගියේ අපි තුන් දෙනයි. අපේ වැඩ හවස 4 වෙනකොට ඉවරයි. අපට නවතින්න තිබුනේ ඒ ඔෆිස් එකේම උඩ තට්ටුවේ. හවස් වරුවට කරන්න වැඩකුත් නැ. ඉතින් අපි සෙට් එකට හවස් වෙනකොට නිකම් කැහිල්ල වගේ. ඉතින් ඔය හරියේ බලන්න වටිනා තැන් එහෙම තියනවාද කියලා අපි හොයලා බැලුවේ මෙච්චර ලස්සන පළාතකටත් ඇවිත් නිකම්ම හවස් වරුව ගෙවලා දාන්න තිබුණු කම්මැලි කම හින්දා. පල්ලෙහාට වෙන්න  ජපන් පන්සලකුයි, ඊට ටිකක් එහාට වෙන්න ලස්සන දිය ඇල්ලකුයි තියනවා කියලා කිව්වේ අපට උයන්න ඇවිත් හිටපු රන්ජි අයියා. ඉතින් අපිත් ගමනට සෙට් උනා. හවස වැඩ ඉවර කරපු ගමන් රන්ජි අයියාව මුණ ගැහිලා පාර අහගන අපි පයින්ම පල්ලම් බැස්සා. තේ වත්තක් මැදින් ටික දුරක් යනකොට අපිට අර කියපු ජපන් පන්සල නම් දැක ගන්න ලැබුනා.
මේ තියෙන්නේ පන්සල


හැබැයි පන්සලේ කවුරුවත්ම හිටියේ නැ. හාමුදුරුවෝ වැඩිපුරම ඉන්නේ ශ්‍රී පාදස්ථානයේ තියන ජපන් පන්සලෙලු. අහල පහල තිබුණු ගෙදරකින් දිය අල්ලට යන පාරත් අහගන අපි ගියේ ලංකාවේ තියන දිය අලි අතරින් උසින් දෙවන ස්ථානය ගන්න කුරුදුඔය ඇල්ල හොයාගන. ඔය කාලේ තමයි වලපනේ ප්‍රදේශය දරුණු නාය යාමකට මුහුණ දුන්නේ. ඇල්ලට යන ගමන් මාර්ගයත් දරුණු විදියට නාය ගිහින් තිබුණු නිසා අපිට පාරවල් හොයාගන කැලේ මැදින් තමයි යන්න සිද්ද උනේ. දුෂ්කර ගමන් මාර්ගයකින් යන්න තියන නිසාද කොහෙද මේ ඇල්ල බලන්න සංචාරකයින් නම් එන බවක් පෙනුනේ නැ. අපිත් වැඩේ අත අරින්නේ නැතුව කැලේ පිරගන කන්ද මුදුනටම නැගගෙන ගියා. මෙන්න කැලේ අතර මග දේවාලෙකුත් තියනවා. එකෙත් කවුරුවත් හිටියේ නම් නැ. ඒත් එතන මිනිසුන් ගැවසෙන තැනක් බවට සලකුණු නම් තිබුනා. දේවාලෙටත් පඩුරක් එහම දාලා අපි තවත් කන්ද මුදුනටම නැග්ගා. දැන් අපි ඒ හරියේ තියන උසම කන්දක් උඩ. ඒත් කෝ දිය ඇල්ලක් පේන මානෙක නැ. අඩු ගානේ දිය ඇල්ලක සද්දයක්වත් නැ.දෙපැත්තට අඩි පාරවල් දෙකක් නම් තියනවා. දැන් වෙලාවත් හවස 5.30 විතර ඇති. දැනටමත් කිලෝමීටර් තුන හතරක් ඇවිත්. ඕන දෙයක් කියලා අපි දකුණු පැත්තට තියන පාර දිගේ ඉස්සරහට ගියා. තණකොළ ගොල්ල ඉවර උන ගමන් අඩි පාර ඉවරයි. ඊළගට දිගටම ගල් තලාව. අපි දිගටම ගියා. දැන් නම් ගල් තලාව වටේම තද බැවුම. කකුල පොඩ්ඩක් වත් ලිස්සලා ගියොත් කෑලිත් නැ. මචන් ඉක්මනට වරෙන් හැමෝටම  කලින් ගල් තලාවේ  එහාම කොනට දුවපු රොශානයා කෑ ගහන්න පටන් ගත්තේ ඇදන් හිටපු ටි ෂර්ට් එකත් ගලවලා අත් දෙකින්ම එහාට මෙහාට වනන ගමන් 
මෙන්න ඒ ගල් තලාවෙන් කොටසක් 


 අපට ඇල්ල හමු උනාද? බලමු ඊළගට    

ප. ලි.:  ෆර්ම් යන කාලේ අපට මොන කැමරාද? මේ පොටෝ ටිකයි ඉස්සරහට දාන්න හිතන් ඉන්න ටිකයි ඔක්කොම ඉස්සුවේ ගුගල් දෙයියගේ පිහිටෙන් නෙට් එක පීරලා. ඒවා උස්සපු සයිට් වල නම් මතක නැති උනත් ඒවායේ නියම අයිතිකාරයෝ හැමෝටම තැන්කු හොදේ.......අම්බලම .......

02 කොටසට මෙතනින් යන්න