Thursday, September 6, 2012

ධාතු බිස්නස්




මේ දවස් වල හැම තැනම කථාව සර්වඥ්ඥ ධාතු වන්දනාව ගැන හින්දා රෙපාටත් හිතුනා පහු ගිය දවස් වල මළගෙදරක නයිටක්‌ ගහද්දි එහෙං මෙහෙන් ඇහුනු ධාතු බිස්නස් කරන සිස්ටම් එකක් ගැන ලියලා දාන්න. වැඩි වල් පල් වැඩක් නෑ මෙන්න මෙහෙමයි ස්ටොරිය.

ඔන්න ඔය ඈත පිටිසර පලාතක පන්සලක දායක සභාවේ පිරිස එකතු වෙලා දාගැබක් හදලා. දාගැබ හදලා ඉවර උනාම තමයි ඒකෙ නිදන් කරන්න ධාතුන් වහන්සේලා ඕන කියන එක මතක් උනේ. ඉතිං මේ දාගැබේ නිදන් කරන්න ධාතුන් වහන්සේලා හොයන කොට කොළඹ පැත්තේ ඉදලා ඒ ගමට ආව එක උපාසක මහත්තයෙක් ධාතුන් වහන්සේලා හොයලා දෙන්න පොරොන්දු වෙලා. හැබැයි ඉතිං නිකන් නෙවෙයි ගානකුත් දෙන පොරොන්දුව පිට.

කියපු දවසට ධාතුන් වහන්සේලා පන්සලට ලැබුනේ නැති උනාම කලබල වෙච්ච ගමේ දායක සභාවේ ඇත්තොයි ලොකු හාමුදුරුවොයි උපාසක මහත්තයා හොයාගෙන ආවලු කොළඹ උපාසක මහත්තයාගේ ගෙදර. හාමුදුරුවෝ ගෙදරට එනකොට උපාසක මහත්තයා ගෙදර ඉදලා නැහැ. උපාසක මහත්තයාගේ පොඩි පුතා විතරයි ඒ වෙලාවේ ගෙදර ඉදලා තියෙන්නේ.

හාමුදුරුවෝ උපාසක මහත්තයා නැති බව දැනගෙන පොඩි එකාගෙන් අහලා තියෙනවා තාත්තා පන්සලට දෙන්න කියලා ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වද කියලා.

පොඩි එකා ගත්ත කටටම කිව්වලු.

"සාදු ධාතු නම් තියෙනවා, තාම බැදලා නෑ" කියලා

ධාතුන් වහන්සේලාගේ බදින්න තියෙන්නේ මොනවද කියලා හොයලා බලනකොට මේ උපාසක මහත්තයාගේ ගෙදර ධාතු කර්මාන්ත ශාලාවක්. බුවා ධාතු හදනවා කියන්නේ මෙන්න මෙහෙම.

අවශ්‍ය ද්‍රව්‍ය 

හරක් අං තට්ටුවක් 

වංගෙඩියක් සහ මෝල් ගහක්

කියතක්

හාල් කුඩු 

තාච්චියක්  සහ පොල්තෙල් 

මුලින්ම අං තට්ටුව කුඩා කැබලි වලට කපා ගන්න, ඉන්පසු සහල් කුඩු සමග එකට වංගෙඩියට දමා අං කැබලි රවුම් වනතුරු හොදින් කොටා ගන්න. හාල් කුඩු රවුම් අං කැබලි වලට හොදින් කාවැදීමෙන් ඒවාට අපුරු පෙනුමක් ලැබෙනු ඇත. එසේ සකස් කර ගත් අං කැබලි හොදින් රත්වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැය ලැබෙන තුරු හොදින් බැද ගන්න. 

සර්වඥ්ඥ ධාතුන්වහන්සේලා වැනිම අගනා ධාතුන් තෙලෙන් ගොඩ ගැනීමට ඔබටලැබෙනු ඇත. සමහර විට අපේ ඔබේ පන්සල් වලද මෙසේ නිර්මාණය කරගත් ධාතුන් වහන්සේලාට ඔබ අප වන්දනා කරනු ඇත. අප විසින් සැදැහැ සිතින් වන්දනා කරන්නේ නම් අප කර ගනු ලබන පිං වල වෙනසක් නොවනු ඇත. බුදුන් වහන්සේගේ ධාතු නම විකුණාගෙන හරක් අං විකුණන සුදු රෙදි ඇදගත් උපාසක මහත්තුරු පන පිටින්ම අපාගත වනු ඇත...

ප. ලි 

එහෙං මෙහෙන් කනට වැටුණු දෙයක් පමණි. සත්‍ය අසත්‍යතාවය ගැන වගකීමක් නැත. දෙයියෝ බුදුන් හැම දේම විකුණන විකිනෙන ලෝකේ ධාතුන් වහන්සේලාද මේ ආකාරයට විකිනෙන්නේ නැතැයිද කිව නොහැක.....

ප. ප.ලි 

පෝස්ට් එක ලියන්න කලින් හරියට කතාවේ ඇත්ත නැත්ත දැනගෙන නොහිටියත් පෝස්ට් එක කියවූ කිහිප දෙනෙකුම පැවසු පරිදි මෙය දකුණු පළාතේ පිහිටි පන්සලක සිදුවූ සත්‍ය සිදුවීමකි ....