Tuesday, February 14, 2012

මරු-සින් මාර්කටිං - වෙළද දැන්වීමක් ( නෙවෙයිද මන්දා )


නිවේදක: අද අපි ඔබ වෙත ගෙන එන්නේ අපේ අලුත්ම නිෂ්පාදන පෙළක් පිලිබදව. මේ පිලිබදව අපි කියනවාට වඩා ඒ පිලිබදව අපගේ පාරිභෝගික භවතුන් දක්වන අදහස් අපට මෙන්ම ඔබටත් ගොඩාක් වටිනවා. දැන් අපි ඔබ වෙත ගෙන එන්නේ අපේ නිෂ්පාදන පිලිබදව පාරිභෝගිකයන් දක්වන අදහස් කිහිපයක්. මේ ඉන්නේ සුමිත් මහත්මයා . අවුරුදු ගානක් තිස්සේ අපේ නිෂ්පාදන පාවිච්චි කරන තරුණ මහත්මයෙක්. 

ඔවූ සුමිත් මහත්මයා අපි දැනගන්න කැමතියි අපේ නිෂ්පාදන පිලිබදව ඔබේ අදහස්.....

සුමිත් : ඇත්තටම කියනවානම් මම අද ජිවතුන් අතර ඉන්නෙත් ඔයාලගේ මරු-සිරා නිෂ්පාදන වලට පින්සිද්ද වෙන්න. මම ඔබලාට මගේ ජිවිතයෙනුත් ණයගැතියි.

නිවේදක: මම හිතන්නේ අපේ අනෙකුත් පාරිභෝගික භවතුන් දැන ගන්න කැමතිවෙයි ඔබේ කතාව.

සුමිත්: මට මගේ කෙල්ල බුට්‌ එක තිබ්බේ හරියටම ගිය අවුරුද්දේ වැල ඉන් ටයිම් දවසේ. ඉතින් එදා මට මගේ ජිවිතේ එපා උනා. මම තීරණය කළා දිවි නසා ගන්න. ඉතින් අපේ ගෙදර තට්ටු තුනක ලොකු ගොඩනැගිල්ලක් නිසා මම හිතුවා වහලෙන් බිමට පැනලා දිවි නසා ගන්න. අපේ ගෙදර වහලට දාල තිබුනේ මරු-සිරා කලර් ෂිට් එක. මම නැග්ගා වහලට. ගියා වහලේ අයිනටම. ඇස් දෙක පියාගන පනින්න සුදානම් උනා වහලෙන් බිමට.


 නිවේදක: ඉතින් ඊට පස්සේ මොකද උනේ?


 සුමිත්: වහල කඩා ගන මාව ඇදගන වැටුනා කාමරේ තිබ්බ ඇද උඩට. මෙට්ටේ තිබ්බ නිසා මට කිසිම අනතුරක් නැතුවම බේරුනා. ඒත් මම දිවි නසා ගැනීමේ අදහස නම් අත් ඇරියේ නෑ. මට හිතුනා එල්ලිලා මැරෙන්න. ඉතින් මේ කොන්ක්‍රීට් වනාන්තරේ කොහෙද එල්ලෙන්න කියලවත් ගහක්.  ඉතින් මම තීරණය කළා කාමරේ තියන සිලිං ෆෑන් එකේවත් එල්ලිලා දිවි නසා ගන්න ඕන කියලා 

නිවේදක: ඉතින් ඔබ සිලිං ෆෑන් එකේ එල්ලුනා

සුමිත්: ඔවූ මම කඹයක් අරන් ෆෑන් ඒකට දාල තොන්ඩුව බෙල්ලට දාගන එල්ලුනා ෆෑන් එකේ. ඒත් ඒ ෆෑන් ඒකයි ෆෑන් එක එල්ලලා තිබ්බ ෆෑන් හුක් ඒකයි දෙකම මරු-සිරා නිෂ්පාදන. ෆෑන් හුක් එකෙන්ම කඩාගන මාව වැටුනා ආයෙත් ඇද උඩට. ෆෑන් එක මගේ ඇග උඩට වැට්ටත් මරු-සිරා බඩු නිසා මට සිරීම් තුවාලයක් වත් නෑ. 



නිවේදක: ඉතින් ඊට පස්සේ සිද්ද වෙච්ච කතාව අපි මේ සුමිත් මහත්මයාගේ මව වන ඇසිලින් නෝනා මහත්මිය ගෙන් විමසලා බලමු. ඉතින් අම්ම. අපට කියන්න බලන්න. මේ සුමිත් මහත්මයා ඊට පස්සෙවත් දිවි නසා ගැනීමේ අදහස අතඅරියාද කියලා.

ඇසිලින් නෝනා මහත්මිය: මොන පිස්සුද මහත්තයෝ, මෙයා අර කොහෙද යන @#@ කෙල්ලෙකුට පිස්සු වැටිලානේ හිටියේ. දෙපාරක්ම මැරෙන්න ගිහින් බේරුනේ ඔබතුමාලගේ නිෂ්පාදන වලට පින් සිද්ද වෙන්න. එක හින්දම මම ලොකු කොල්ල දිහා නිතරම ඇහැ ගහගනමයි හිටියේ.

නිවේදක: ඉතින් ආයෙත් පාරක් සුමිත් මහත්තයා දිවි නසා ගන්න හැදුවද?

ඇසිලින් නෝනා මහත්මිය: ඔන්න දවසක් මේ ළමයා අම්මේ මට ජිවත් වෙලා වැඩක් නෑ කියලා කෑගහගන දුවලා ගිහින් පැන්නනේ ලිදට. හොද වෙලාවට අපි ලිදට මරු-සිරා  වතුර පොම්පයක්. පුතා ලිදට පනින කොට ලිදේ කට කැපෙන්න වතුර. පනින කොටම මම දැම්මා මොටරේ ස්විච් එක. මරු-සිරා පොම්පෙ ස්විච් එක දාන කොටම ලිදේම වතුර ටික ටැංකියට ඇදලා ඉවරයි. පුතා කිසිම අනතුරක් නැතුව හිදිච්ච ලිද ඇතුලේ. ඊට පස්සේ අපි ගිහිල්ල ගොඩ ගත්ත. පනින කොට වතුර තිබුන නිසා කිසිම තුවාලෙකුත් නෑ. මරු-සිරා පොම්පේ හින්ද ගිලිලා මරුනෙත් නෑ.



නිවේදක: දැක්ක නේද මරු- සිරා නිෂ්පාදන වල විශිෂ්ටත්වය. මේ අපේ පාරිභෝගික ජනතාවගේ අදහස්. ඒ නිසාම ඔබත් අදම මිලදී ගන්න මරු-සිරා නිෂ්පාදන. දිවයින පුරා විහිදුන අපගේ ශාඛා ජාලයෙන් ඔබට අදම පහසු මිල ගණන් වලට ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්. මෙන්න අපේ දුරකථන අංක 0765435655 / 079667676 දැන්ම ඇනවුම් කරන්න. 

මතක තියා ගන්න ඔබ කොහේ කොතැනක ගියත් පාවිච්චි කරන්නේ මරු සිරා නිෂ්පාදන නම් කවදාවත්ම ඔබටත් ඔබේ පවුලේ අයටත් කවදාවත්ම දිවි නසා ගන්න නම් ලැබෙන්නේ නෑ.....

 (ඕනෑම නොවටිනා භාණ්ඩයක් උනත් විකිණීම සදහා කුමක්ම හෝ ක්‍රමයක් ඇත.  මෙන්න අපේ මාර්කටිං )
                     





Monday, February 6, 2012

රෙපා සහ දේ.පා - කාලින දේශපාලන සංවාදය (සජීවී විකාශය)

රෙපා: සුභ සන්ද්‍යාවක් ප්‍රිය දේශපාලන රසික රසිකාවියනි. අද අපි මේ සුදානම් වෙන්නේ රෙපා සහ දෙ.පා සමා වෙන්න දෙපා නෙවෙයි දේ. පා වෙන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලක තුමා කියන එක කෙටි කරලා තමයි දේ.පා කිව්වේ. කටේ හුරුවට කියවෙන්නේ රෙපා සහ දෙපා කියලා තමයි. රෙපා සහ දෙපා දේශපාලන වැඩසටහන ආරම්භ කිරීමටයි...


අද අපේ මුල්ම වැඩ සටහනට අපගේ ආරාධනය පිළිගෙන මේ මැදිරියට පැමිණ තියෙනවා. අපේ රටේ කතාබහට ලක්වන ජනප්‍රිය දේශපාලන චරිතයක්. සුහද හදක් ඇති, ජන හද හදුනන මෙතුමාගේ නම කියූ සැනින් රටේ ජනතාව  හදුනන නිසා අද අපි ඔහුගේ නම කියන්නට යන්නේ නැහැ.


රෙපා: ආයුබෝවන් ඇමතිතුමා


දේ.පා: ආයුබෝවන් ආයුබෝවන් රෙපා මහත්තයටත්, රටේ සියලු ජනතාවටත් මේ චැනල් එකේ වැඩ කරන හැමෝටමත් මගේ ආසනේ මට ඡන්දය දුන් නොදුන් හැම දෙනාටමත්....


රෙපා: ඉතින් ඇමතිතුමා ඔබතුමා දැනටමත් දන්නවා ඇති අපේ මේ රෙපා සහ දෙපා වැඩසටහනෙන් කරන්නේ අපේ රටේ ජනප්‍රිය දේශපාලන චරිත මෙතනට ගෙන්නලා රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ චරිතයේ නොදකින පැත්ත ගැන සාකච්චා කරන එක කියලා.


දෙපා: නොදකින පැත්ත කියල කිව්වේ?


රෙපා: නොදකින පැත්ත කියල කියන්නේ ඇමති තුමා මේ රටේ ජනතාව දන්නේ ඔබතුමාගේ දේශපාලන කටයුතු ගැන විතරයිනේ?


දෙපා: ඉතිං


රෙපා: ඉතිං අපි කැමතියි එතනින් එහාට ගිහිල්ල ඔබතුමාගේ පුද්ගලික තොරතුරු ටිකක් ජනතාවට ඉදිරිපත් කරන්න.


දෙපා: මගේයි මගේ පුතාගෙයි පුද්ගලික ජිවිතේ ගැන ඔය මාද්‍ය වලින් අම්බානක වර්ණනා කරන්නේ තව මොනවද ඔකේ දැනගන්න තින්නේ රෙපා මහත්තයෝ....


රෙපා: එහෙම නෙවෙයි ඇමතිතුමා මම ඇහුවේ ඔබතුමාගේ ගම පළාත, කුඩා කාලය, දේශපාලනයට පිවිසිච්ච ආකාරය වගේ තොරතුරු ටිකක්. මම හිතන්නේ ඒක අනාගතේ දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ තරුණ තරුණියන්ට ආදර්ශයක් වෙයි


දෙපා: අන්න එහෙමනේ ඕක අහන්න ඕනේ. මම හොද ආදර්ශවත් කෙනෙක් තමයි.


රෙපා: ඉතිං ඇමති තුමා අපි පටන් ගනිමුද ඔබ තුමාගේ කුඩා කාලයෙන්ම?


දෙපා: හ්ම්ම්ම්... රෙපා මහත්තයට කියන්න. මම ඇවිල්ලා දකුණු පළාතේ පොරක්. මම  පුංචි කාලේ ඉදලම බොහොම ගුණ යහපත් ළමයෙක්. හතර පෝයටම සිල් ගත්ත අපේ අම්මත් එක්ක ගිහින්. ඉතිං මගේ මේ ගුණ යහපත් කල ක්‍රියාව අපේ ගමේ ඉන්න ඉරිසියාකරයින්ට දරා ගන්න බැරි උනා. උන්ට මා එක්ක තිබුනේ තද බල වයිරයක්‌. ඉතිං ඒ අය මාව විනාස කරලා දාන්න මැරවරයෝ ටිකක් එව්වා අපේ ගෙදරට.  


රෙපා:  ඔය කාලේ ඔබ තුමා පොඩි ළමයෙක වෙන්න ඇති නේ. ඉතිං උන් ඔබතුමාට පහර දුන්නද?


දෙපා: මට ගහල එහෙම පැනල යන්න කපනවා හු @##@# පුතාලව කෑලි කෑලි වලට.


රෙපා: ඇමති තුමා ටිකක් සන්සුන් වෙන්න. මේක සජීවී සංවාදයක්. රටේ ජනතාව බලාගන ඉන්නවා.


දෙපා: මේක ලයිව් කියලා කලින් කියන්න එපායැ. එතකොට පහළොවක් දාසයක්‌ විතර ඇති මයේ හිතේ. එදා මම ඒ මැරයින්ට අහු උනා නම් අද මේ වගේ අවංක සත්ගුණවත් දේශපාලකතුමෙක් එක්ක ඔබ තුමාට අද මේවගේ සාකච්චාවක් කරන්න ලැබෙන්නේ නෑනේ....


රෙපා: ඉතිං ඊට පස්සේ මොකද උනේ ඇමතිතුමා.


දෙපා: ඊට පස්සේ මට ගමේ ඉන්න බැරි තත්වයක් උද්ගත උනා. මම ගමෙන් පැනලා කොළඹ ආව.


රෙපා: දිගින් දිගටම ඒ මැරයෝ ඔබතුමාට කරදර කරන්න එන්න ඇති නේ?


දෙපා: මම වගේ දෙයියෝ බුදුන් අදහාගන පාඩුවේ ජිවත් වෙන කෙනෙකුට කරදර කරලා ඒ අය යහතින් ඉදියි කියලා හිතනවද? අනිත් ඒක බුදුහාමුදුරුවන්ටත් හතුරුකම් කරන්න දෙවදත්තරයෙක් හිටපු එකේ මට නැති වෙයිද? ඒ උනාට දෙයියෝ උන්ට දඩුවම් දුන්නා. එදා රාත්තිරියේම උන්ගේ ගෙවල් දොරවල් කව්දෝ ගිනි තියලා. ගහන්න ආව උන්ගේ ඔලු පැලිලා. ඉතිං ඒක කලේ මම කියලා හිතලා උන්ගේ හත්මුතු පරම්පරාවම මගේ පස්සේ පැන්නුවා. මම කොළඹට පැන ගත්තා.


රෙපා: ඉතිං උන් කොළඹ ආවේ නැද්ද ඔබතුමාව හොයාගන. ඔබ තුමාගේ කොළඹ ජිවිතේ ගැනත් දන ගන්න අපේ ප්‍රේක්ෂක ජනතාව කැමති වෙයි මම හිතන්නේ?


දෙපා: උන් කොළඹ ආවනම් උනුත් පන පිටින් යන්නේ නෑනේ. දෙවියෝ දඩුවම් දෙනවා. අනික එදා උන්ට අහු උනා නම් අද මමත් මෙතන නෑනේ රෙපා මහත්තයෝ....


රෙපා: ඉතිං අපි දැනගන්න කැමතියි ඔබ තුමාගේ කොළඹ ගත කරපු ජීවිතය ගැන


දෙපා: රෙපාට කියන්න මම කොළඹදී කෑවේ අම්බානක කට්ටක් බං. අඩු ගානේ මලක් ගහන්නවත් අතේ සතේ නෑ බං.


රෙපා: මලක් ගහනවා කිව්වේ ඇමති තුමා


දෙපා: හුටා ලයිව් නේද? මලක් ගහනවා නෙවෙයි මම කිව්වේ බුදුහාමුදුරුවන්ට පුජ කරන්න මල වට්ටියක් ගන්න තරම් වත් සල්ලියක් ඒ දවස් වල මගේ අතේ තිබුනේ නෑ කියලා.....


රෙපා: ඉතිං මන්ත්‍රී තුමා කියන්නකෝ ඔබතුමාගේ කතාව.


දෙපා: මම ඔය දවස් වල නිදා ගත්තේ කොහේ හරි බස ස්ටෑන්ඩ් එකක පත්තර කොලයක් දාගන. කියක් හරි හොයා ගත්තේ කාට කාට හරි ඔය මොන මොනවා හරි වැඩක් කරලා දීලා. ඉතිං ඔන්න ඔහොම ඉන්න ඒක දවසක තමයි මට පුෂ්පකුමාර යුව රජ්ජුරුවන්ව මුණ ගැහුනේ?


රෙපා: යුව රජතුමා ඇමති තුමාට සහයෝගයක් දෙන්න ඇතිනේද?


දෙපා: රෙපා මහත්තයට කියන්න අන්න මිනිස්සු. නෙවෙයි දෙවියෝ (අසුනින් නැගිට අහස දෙසට අත් දිගු කර වදියි) හුටා මේ ප්‍රෝග්‍රෑම් ඒක අපේ මිහිදු රජ්ජුරුවෝ බලන එකක් නෑ නේද? බැලුවොතින් නම් ජුලි හතයි. (වහා පැමිණ අසුනින් වාඩිවෙයි)


රෙපා: එතුමා මේ වැඩසටහන නොබලත්වා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඇමතිතුමා යුව රජතුමා ඔබ තුමාට  මොන වගේ සහයෝගයක්ද දුන්නේ කියල මතක කරනවා නම්?


දෙපා: එතුමා පුදුමාකාර හදවතක් තිබුන පුද්ගලයෙක්. මගේ සහජ දක්ෂතා සියල්ල අදුනගත්තා. ඒ නිසාම මට එතුමා ලග එතුමා වෙනුවෙන් වැඩ කරන්න චෑන්ස් ඒක ලැබුනා...


රෙපා: මොනවද ඉතිං ඔබතුමා එතුමා ලග කරපු වැඩ රාජකාරි එහෙම?


දෙපා: ආයේ වෙන මොනවද බං. පෝස්ටර් ගැහුවා. අනිත් පැත්තේ උන්ගේ කොඩි වැල් කපුවා, ගහ මරා ගත්තා, ඔලු පලා ගත්තා,
නෑ නෑ නෑ වැරදුනා, මම තමයි එදා ඉදලා එතුමාගේ සම්බන්දිකරන ලේඛම් තුමා. අපි කොච්චරනම් සමාජ සේවා කටයුතු කලාද? පාරවල් පාලම් හැදුවා, පන්සල් පල්ලි හැදුවා. ගොඩාක් ඔය සමිති සමාගම් වල වැඩ කළා.


රෙපා: එතකොට ඔය අතරේදී තමා ඔබතුමාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ද වෙන්නේ?


දෙපා: මට ඔය බර වචන තේරෙන්නේ නෑ බං. මම මෙහෙම දේශපාලනේට ඇවිල්ල මේ තත්වෙට එයි කියලා ඔය කියන කාලේ මම හීනෙන වත් හිතුවේ නෑ බං. ඒක තමා මගේ ලක් ඒක කියන්නේ ....


රෙපා: ඉතිං කොහොමද ඔබ තුමා දේශපාලනේට පිවිසුනේ?


දෙපා: ඉතිං මම ඔය යුව රජතුමා ගාව සමාජ සේවා කටයුතු කරගන ඉන්න අතරේ ආවනේ මහා කතිර වරණයක්. ඔය කතිර වරනෙට අපේ පැත්තෙන්ම ආව එක්කෙනෙක් එක්ක පරණ කෝන්තරයක් තිබුනා අපේ යුව රජ්ජුරුවන්ගේ හිතේ.


රෙපා: දේශපාලන කුමන්ත්‍රණයක් කරලා වගේ?


දෙපා: පැනල දෙන්නේ නැතුව ඉන්නවකෝ මට මේක කියන්න දීලා.


රෙපා: හරි හරි ඇමතිතුමා කරගන යන්නකෝ කතාව


දෙපා: මම ඉතිං යුවරජතුමාගේ අවංක සුචච කීකරු ගෝල බාලයා හින්දා එතුමා මාව දැම්ම අනිත් පැත්තෙන්. එතුමා මට වියදම් කළා මම දිනුවා. අර යකා පැරදුනා 


රෙපා: අම්මට හුඩු, මාර චෑන්ස් පාරක්නේ වැදිලා තියෙන්නේ.. 


දෙපා: මාරයිද කියලත් අහනවා. මේක මගේ ලක් ඒක බං ලක් ඒක. පරණ පිනක් මගේ ඉහේ කඩාගන වැටුනා.....
(ඇමති තුමා ගීතය ගායනා කරමින් අසුනින් නැගිට නැටීමට සුදානම් වෙයි)


රෙපා: මොනවද ඇමතිතුමා ඔය කරන්න හදන්නේ? මේක සජීවී වැඩසටහනක්. මිනිස්සු බලන් ඉන්නවා. 


දෙපා: අම්මට සිරි ( නැවතත් අසුනේ වාඩිවෙයි)


රෙපා: අපි අද රෙපා සහ දෙපා තුලින් සාකච්චා කරමින් සිටියේ අපේ ජනහද හදුනන, සුහද හදක් ඇති ආචාර්ය  mbjnbj skjkj මැතිතුමාගේ ජිවිතයේ ඔබ නොදුටු තොරතුරු පිලිබදවයි. අපි දැන් අනුග්‍රාහක භවතුන් ගේ පණිවිඩ කිහිපයක් වෙත යොමු වීමට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙමු.
........................................................................................................................................................
වෙළද විරාමය ඔබ වෙත ගෙන එන්නේ "බොකු දිරාස් " ගැහුවොත් ගැහුවමයි


........................................................................................................................................................
(විරාමය අතරතුර මැදිරිය)
ඇමතිතුමාගේ ගෝලයකු ජංගම දුරකතනයක් රැගන මැදිරියට දිව එයි, ඇමතිතුමා පිළිතුරු සපයයි
........................................................................................................................................................ 
(දැන්වීම්)


මේසන් බාස්: මොනවද මහත්තයෝ මේ ගෙනල්ල තියෙන ලනු. මේවයින් පලංචි බැන්දොත් නම් අපට වැඩිකල් අතපය කඩා ගන්නේ නැතුව මේ රස්සාව නම් කරන්න හම්බ වෙන්නේ නෑ.


හිමි කරු: ඇයි බාස් උන්නැහේ  එහෙම කියන්නේ. මම පල්ලෙහා කඩෙන් හොදට තෝරලා බලලා නේ මේවා ගෙනාවේ.


මේ. බාස්: එකනේ කියන්නේ ඒ මුදලාලි මහත්තයටත් දීලා තියෙන්නේ දිරච්ච ලනුවක් නේ. මහත්තයෝ ලනුවක් ගන්න කොට බලන්න ඕනේ මරු සිරා ලාංචනය තියෙනවද කියලා. පලංචි බදින්න, ගස් බදින්න වගේම කාට හරි කවන්න උනත් නියම ලනුව තමයි මරු සිරා..


         " නොකැඩෙන්න බදින්න - මරු සිරා ලනු ගන්න "


එකම නියෝජිතයෝ මරු සිරා ඩිස්ට්‍රිබියුටර්ස් නුවර පාර දළුගම කැලණිය. 
................................................................................................................
( විරාමය අතරතුර මැදිරිය)


දෙපා: (දුරකතනයට) මොන @$##@ යකෝ කියන්නේ මේකෙන් මට තියන ජනතා ප්‍රතිචාරෙට කෙල වෙනවා කියලා. උඹලට බෑ යකෝ මාව මේකෙන් එලවන්න. දැනගනියව් රජ්ජුරුවොත් මා එක්ක දෙයියොත් ඉන්නේ මා එක්ක කියලා . 


( දුරකථනය විසන්දි කොට දමා පැමිණ රෙපාගේ ටයි පටියෙන් අල්ලා ගනී. ඉනේ ගසා සිටි කට පුංචා රෙපාගේ ඔලුවට තබයි. අනෙකුත් පිරිස බියපත්ව බලා සිටියි )


දෙපා: අඩෝ #@#@# උඹල හිතුවද මගේ පරණ කුණු කන්දල් ඇදලා අරගන මට තියන ජනතා ප්‍රතිචාරේ නැති කරන්න. එව්වා සුම්මා යකෝ. උඹව ගස් බදින්න මට මරු සිරා ලනු ඕන නෑ යකෝ. ගැට ගහනවා මේ ටයි පටියෙන්ම ලයිට් කණුවක. 


( රෙපාව අතහැර දමා අනෙකුත් පිරිස වෙත කට පුංචා දිගු කරයි)


දෙපා: අඩෝ දන ගනිල්ලා මා එක්කලා සෙල්ලම් බෑ හරි. යට කරලා දානවා ඔරුගොඩවත්තේ කුණු කන්දට. මේවා ඔක්කොම කුඩු කරනවා යකෝ. මේකෙන් මගේ ජනතා ප්‍රතිචාරෙට මොනවම හරි වෙලා තිබුනොත් බලාගමු හරි....

(අසල තිබු ලයිට් සෙට් එකකටත් පා පහරක් දි ඇමති තුමා සිය පිරිසද සමග පිටව යයි)
.............................................................................................................


වෙළද විරාමය අවසන් කලේ දන්කොටුව ස්පෙෂල් වෙතින් - දන්කොටුව ස්පෙෂල් ලෙඩා මලත් බඩ සුද්දයි 


.............................................................................................................


රෙපා: ඔව් විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් රැදී සිටින්නේ රෙපා සහ දෙපා වැඩසටහන සමගයි. කනගාටුවෙන් උනත් ඔබට දැනුම දීමට විශේෂ දැනුම දීමක් තියෙනවා. හදිසියේම ලැබුන ආරාදනයකට අනුව අපගේ විශේෂ ආරාදිත අමුත්තා වූ ඇමතිතුමා මිට සුළු මොහොතකට පෙර මැදිරියෙන් පිටත්ව ගියා. ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොත් වහන්සේ නමක් පලද වීමේ උත්සවයකට සහභාගී වීම සදහා. එතුමා පිනට දහමට ඉතාමත් ලැදි පුද්ගලයෙකු වීම නිසාම මෙම අවස්ථාවට සහභාගී වීමට පිටත්ව යාම නිසා ඔබට ඇතිවූ අපහසු තාවය පිලිබදව අප ඔබගෙන් සමාව අයදිනවා. මේ මියුරු ගීතයක් සමගින් තවත් දිනකදී දේශපාලන ලෝකයේ තවත් පෙරළිකාර චරිතයක් සමග හමුවන තුරු අදට අපි රෙපා සහ දෙපා වැඩසටහන තුලින් අපි ඔබගෙන් සමු ගන්නවා.  ඔබට සුබ රාත්‍රියක් .....


කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් අපට
මොන කෙන්ගෙඩියද තව ඕනෑ කියන්නේ ......//
කන්න දුන්නේ නැතත් අපට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ ...//
කියන දෙයක් ඒ හැටියට කොරාන්නම් ,
අනේ අපේ බඩ කට දෙක පිරෙනවා නාම්...............




රෙපාගේ සාටරේ 1  දාලයි තියෙන්නේ. 2 කොටසත් ලගදීම ..........


ප. ලි : අනුරාධපුරයේ පැවැත්වෙන දැයට කිරුල ප්‍රදර්ශනය නැරබීමට හෙට එනම් (07/02/2012) රාත්‍රියේ හෝ ඊට පසුදා එනම් (08/02/ 2012) පාන්දර කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් පිටත්ව යාමට අප සුදානම්. අප සමග එම ගමනට සෙට් වීමට කැමති අය සිටි නම් බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකේ ඇති ස්ටේටස්  එක බලන්න.


ප.ප.ලි : අද එනම් (07/02/2012) රෑ 10.15 ට පිට කොටුවෙන් අනුරාධපුරේ යන කෝච්චියේ අපි යනවා. එනවනම් එනවලා. එහෙනම් මම ගිහිල්ලා එනකල් කස්ටිය මේ පැත්ත ගැන පොඩ්ඩක් බලා ගන්නවලකෝ. ටටා බායි....



Friday, February 3, 2012

රෙපාගේ සාටරේ 01 - මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්




වෙලාව පාන්දර දෙකහමාරයි. වදිනවා ෆෝන් එක කන ලගම. මොන හු@#@$ පුතාද යකෝ මේ මහා රෑ කතා කරන්නේ. ඔන්න ඔය කෙහෙල්මල ඔෆ් කරලා දාල බුදිය ගනින් බෝඩිමේ අල්ලපු ඇදේ නිදාගන හිටපු මනෝජයා උගේ මදුර සුමදුර කට හඩින් බෙරිහන් දෙනවා.


මමත් ෆෝන් එක අතට අරගන බැලුවා මේ රෑට නින්ද යන්නේ නැති එකා කව්ද කියලා. මෙන්න ස්ක්‍රීන් එකේ තියෙනවා දිලිසි දිලිසි බොසා කියලා. 


මොන කෙහෙල් මලකටද මේ යකාට මේ රෑ මාව මතක් වෙලා තියෙන්නේ. අනිත් එක මේ මහා රෑ කවුද ඕඩරයක් වත් දෙන්න ඉන්නේ අපට.


මහා පාන්දර නින්ද කැඩුවට බොසාගේ අම්ම අප්පා ඇතුළු නෑ පරම්පරාවටම පින් දීගෙනම. ඉස්සුවා ෆෝන් එක. 


"ගුඩ් මෝර්නින් සර්"


"ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. මම එදා  මට ෆැක්ස් කරන්න  කියල කියපු ඩොකියුමන්ට් ටික එව්වද?"


මු මේ මහා රෑ කතා කරේ ඕක අහන්නද ? පිස්සුද මන්දා 


"ඔව් සර් මම එදාම ඒක දාල ඇති. ඇයි තාම ගත්තේ නැද්ද?"


"නෑ බං මට ඒක ගන්න බැරි උනා, හෙට උදේම ඔෆිස් යන්නත් ඕන, උඹ ඒ ඩිටේල් ටික මට කියපන් මෙහෙම්මම මම ලියා ගන්නම්,"


 "පිටු පහක් හයක් විතර තිබුනා මයේ හිතේ"


"කමක් නෑ බං උඹ කියපන් "


දැන් නම් බොසාගේ මව්පිය පරම්පරාව විතරක් නෙවෙයි කම්පනියේ ඉන්න උන් හැම එකාගෙම නෑදෑ පරම්පරාවටම පින් අනුමෝදන් කරන්න තමයි හිතෙන්නේ. පිටු පහක් හයක් ලියපු රිපෝර්ට් ඒක කියවපන්කෝ දැන් ෆෝන් එකෙන්. ඉල්ලලා කරදර කරලා බේරෙන්න බැරිම තැන දවසක් දෙකක් නිදිමරාගන හදලා මම මුට මේක ෆැක්ස් කලේ ගිය සුමානේ, උගේ වැඩේ හරියට කරන්නේ නැතුව දැන් අපිට වද දෙනවා. මොනවා කරන්නද ඉතිං බොසානේ. බැන්නොත් ඉතිං ජොබ ගැනත් තින ආසාව අත අරින්න එපෑ.....


තුනට විතර පටන් ගත්ත කෝල් එක ඉවර උනා දෙයියන්ගේ පිහිටෙන් හයහමාර විතර වෙන කොට .


"බොහොම ස්තුතියි උඹට නිදි මරාගන විස්තර ටික දුන්නට. නිදි මැරුවට කරන්න දෙයක් නෑ  අද සේල් එක නම් ලක්ෂ එකහමාරක් වත් ඕන කොල්ලෝ " කියල බොසා ෆෝන් එක තිබ්බා.   


උගේ අම්මට..... තව ලක්ෂ එකහමාරක් සේල් එකත් ඕනලු. බොසාට හිතින් බැන බැන ෆෝන් එක තියලා ආයෙත් ඇදට වැටුනේ තව පැය බාගයක් විතරවත් නිදා ගන්න හිතාගන .
මොන නිදා ගැනිල්ලක්ද


"උඹලගේ බොසාට පිස්සුද බං. කියපන්කො ඌට උඹට නැතත් බෝඩිමේ ඉන්න අනිත් උන්ට නිදා ගන්න දෙන්න ඕන කියලා "


ඒ ගමන මනෝජයා පටන් ගත්තා කියවන්න. දැන් ඉතිං බොසා එක්ක තියන කේන්තිය මුගේ පිටින් තමයි අරින්න වෙන්නේ. ඉවසපන් පපුව ඉවසපන්....


නිදා ගනිල්ලට සොරි ඩොට් කොම් කියලා නැගිටලා ගිහින් මුණකට හෝදගන ඇදගන ලෑස්ති උනා වැඩට යන්න. බැස්සා මනෝජයත් එක්ක බෝඩිමෙන් එලියට.


"බල්ලෝ පැන්න කිරි අප්පට මෝල් උනා වගේ " කිව්වලු. මොකක්ද බොල මේ සුභ දර්ශනේ ....


හද පිනා යනවා, සිරියාව උතුරනවා, නිදිමත කොහේ ගියාද දන්නේ නෑ.
පැණි බේරෙනවා මනෝජයගේ කට දෙපැත්තෙන්....


පාට පාට වෙසක් කුඩුවක් වගේ එකක් මිදුලට වෙලා මොනවද කරනවා අල්ලපු ගෙදර. සිරියාවේ බැ. "අල්ලපු ගෙදර මිදුල මැදට හදක් පායලා"  
මට කව්දෝ ජන අප්‍රිය  ගායකයෙකුගේ සින්දු කෑල්ලක් මතක උනා .


"කව්ද බං මේ වෙසක් කූඩුව"


මම ඇහුවේ කට කනේ තියාගන, ඇස් දෙක උඩ තියාගන වෙසක් කුඩුවේ සිරි නරබන මනෝජයගෙන්.


"ඇයි යකෝ උඹ මෙයාව අදුනන්නේ නැද්ද ඔය කුසුම නැන්දගේ බාල දුව පවනි නේ බං. මට ඊයේ හවස සමන්මලී නංගි මුණ ගැහුන වෙලාවේ කිව්වා අද පවනි නංගිත් ගෙදර එනවා කියලා. කටුනායක පැත්තේ ගාමන්ට් එකක්ලු නේ බං වැඩ කරන්නේ."


මනනෝජයා කෙල්ලගේ ඉස්ටෝරිය වමාරන්න පටන් ගත්තේ ඇස් දෙක කෙල්ලගේ සරිරෙන් අහකට ගන්නෙම නැතුව. මුගේ මීටරේට කෙල්ලෙක් සෙට් උනොත් ඉතිං ආයේ ඒකෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අල්ලපු ගෙදර සමන්මලී කෙල්ලගේ ඇගේ තියෙන මයිල් ගස් ගානත් හරියටම කියන්න මනෝජයා දන්නවා කියලයි ඌ කියන්නේ.


"පව් බං අහිංසක කෙල්ල. මේකි වැඩ කරන ගාමන්ට් එකේ හරියට පඩි ගෙවන්නේත් නෑ වගේ නේද බං "


මනෝජයා එක පාරටම එහෙම ඇහුවේ මගේ දිහා බලලා 


"උඹ කොහොමද බං එහෙම කියන්නේ" 


මම ඇහුවේ මොකක්ද මුට මේ ඒක පාරටම කෙල්ල ගැන ඇති වෙච්ච අනුකම්පාව කියල දැන ගන්න 


"ඇයි යකෝ උඹට පෙන්නේ නැද්ද ඒකි ඇදගන ඉන්න එකේ කොට. හරියට පඩියක් කියල එකක් ගෙවන කොම්පැනියක වැඩ කළා නම් මේකිට අදින්න රෙදි කෑල්ලක් ගන්නවත් කියක් හරි ඉතුරු වෙනවනේ , අපි මෙතන බලං ඉන්න කොට පොඩි හරි හුලං පාරක් ඇවිත් මේකිගේ ඇගේ වැදුනොත් මොකද වෙන්නේ, අද අපේ මුළු දවසම ඉවරයිනේ. වරෙන් යන්න "


එහෙම කියපු මනෝජයා මාවත් ඇදගෙනම පාරට බැස්සා..............

Wednesday, February 1, 2012

අපට පුතේ මගක් නැතේ ................

ඕලෙවල් කරනකොට නාට්‍ය හා රංග කලාව විෂයට ඕන නිසා ඒ කාලේ නාට්‍යයක් බැලුවට පස්සේ තාම වේදිකා නාට්‍යක් බලන්න යන්න බැරි උනා. බලන්න බැරි උනාට පහු ගිය දවසක නාට්‍ය පිටපතක් නම් කියවන්න ලැබුනා. මේකේ නව නිෂ්පාදනයක් තියෙනවද කියලා හොයන්න බැරි උනත් කතාව නම් එදා වගේම අදටත් වලංගුයි. මේ තියෙන්නේ ඒ නාට්‍යයෙන් උපුටා ගත්ත කොටසක්.






මෑනියන්දෑ කෙනෙක්
පුත් රුවන පිලිබදව
සුභ සිහින දකිමින්
බර යොදා සිය හදේ
අතින් ගෙන කුළු ගෙඩිය
ගල තලයි පිටිසරක !

සොයාගන සිප සතර
නගරයට වන පුතුට
නැතුව හව් හරනක්
සොයා වහලක්
ගතට යහනක්
අතට මුදලක්
කුසට අහරක්

නැතියෙන් නිවනක්
අසල් වැසියෝ කොහිද?
අසරණ වුයෙන් සැම
වෙත්ද හිත මිතුරෝ !

සිප් සල වසාලා
ඇදුරෝ නැත පෙනෙන්නට !
දොරගුළු දමාගන
නිදත් පුර වැසියෝ
වියරුහුණ මෙන්
දුවත් රට වැසියෝ
මොහොතකට නැවතී
බැලීමට තනිවූ අයෙක දෙස
උන්ට වෙද ඉස්පාසුවක්

කොහේ යන්නද ?
කරන්නද මොනවා?
අතරමං වූ එම තරුනයා !

මේ නාට්‍යය තමයි ප්‍රවීන නාට්‍යවේදී හෙන්රි ජයසේන මහත්මා නිර්මාණය කල අපට පුතේ මගක් නැතේ නාට්‍යය. දුප්පත් තරුණයකුගේ විශ්වවිද්‍යාල අද්‍යාපනය ඔහුගේ මව පුතු ගැන දකින සිහින සහ සරසවි දේශපාලනය නිසා එම තරුණයාට අත්වන ඉරණම පිලිබදව විවරණය කෙරෙන නාට්‍යයක්, මේ කතාව එදාට මෙන්ම අදටත් වලංගුයි කියලයි මට නම් හිතෙන්නේ. රංග ගත කිරීමටත් ප්‍රථම රජයේ තහනමට ලක් වූ මෙම නාට්‍යය තහනමින් මිදී වර්ෂ 1968 අගෝස්තු මස 18 වන දින කොළඹ ලුම්බිණි රංග ශාලාවේදී මුල් වරට වේදිකා ගතවී ඇත. 





සුදු ඇදගත්ත සුද්දවන්තයෝ
ආව උඹේ මල ගමට
උඹ ඉන්න තිබුනේ බලන්ඩ
වැරදි කිව්ව හැමෝටම
මම වැරදි කියන්නේ නෑ ඒ
කාටවත් ........
පුතේ මට සමා වෙයන්
මම වැරදි කියන්නේ උඹට
විතරයි.........


උඹට වැරදි කිව්වට මා එක්ක
තරහ වෙන්ඩ එපා මගේ පුතා
වෙන කාට වැරදි කියන්ඩද මම  !


ඇයි පුතේ උඹ බය වුනේ
ඩිංගක් දුක් හිරිහැර විදින්ඩ ?
ඒ ටික වත් ඉගන ගත්තේ නැද්ද 
උඹ ,මගෙන්
මට මේවා වෙනස් කරන්න බැ මගේ පුතා
ඒත් මම ජිවත් වෙනවා !
මගේ මාලිගාව බිද වැටුනා
ඒත් මම ජිවත් වෙනවා
උඹත් එක්ක මං - තරහ නෑ පුතා
උඹත් කියාපන් මට ජිවත් වෙන්න
කියලා


උඹ වාගේ තවත් පැටියෝ ලෝකේ
ඉන්නවා කියාපන්
උන්ට මොනවා හරි කියන්ඩ
මට කියා දෙන්ඩ මගේ පුතා 
මොනවද මම උන්ට කියන්නේ
උඹ කල දේ වැරදිය කියන්ඩද
මම !!!!


( ඇය දෝතින් මුහුණ වසාගන සෙමින් ඉකි බිදිනු පෙනේ)
තිරය ඉතා සෙමෙන් ඇය වසා ගනියි


            ............නිමි ...........