උදේ පාන්දරම මහා වැස්සේ කළුතර ටවුන් එක පැත්තට ආවේ පොඩි ඉන්ටර්විව් එකකට. කොහොමින් හරි දෙතුන් දෙනෙක්ගෙන්ම පාර අහගෙන අදාළ තැනට යනකොට හිටියේ අදාළ කොම්පැනියේ ක්ලාක් මහතැන් කෙනෙක් විතරමයි.
"අද හදිසි වැඩක් කියලා බොස් හෙඩ් ඔෆිස් ගියා. අද එන කට්ටියට දෙකෙන් පස්සේ එන්න කියලා කිව්වා"
කාල වරෙන්කෝ දැන් වෙලාව 10 යි. මොනවා කරන්නද? කාලෙකින් කළුතර නගර සිරි නරබන්නත් බැරි උන එකේ හිමින් සැරේ ටවුම පැත්තට ආවා.
කොහොමින් හරි නතර උනේ කාලෙකට කලින් සුමනා අක්කලා රගපෑව සිංහල චිත්තරපටි, ඇමරිකාවේ, සම්බාව්‍ය චිත්තරපටි පෙන්නන්නම වෙන් වෙලා තිබුණු ෆිල්ම් හෝල් දෙක ඉස්සරහ. අම්මට සිරි මේ කොහෙද මේ ?
ඉස්සර තිබ්බ නම් දෙකත් මාරු වෙලා. වායු සමනය කරන ලද, D.T.S සවුන්ඩ්ස්, සුවපහසු ආසන ... හෝල් එක ඉස්සරහා බෝඩ් එකේ කතාන්තර ගොඩයි. ඒ හෝල් දෙකටම වෙලා තියෙන සැබෑ වෙනස දැක්කම ඇතුලට නොයා ඉන්න හිතුනෙම නෑ. අනික දවල් දෙක වෙනකම් කරන්නත් දෙයක් තියෙන්න එපැයි. කාලෙකට කලින් මේවයේ පෙන්නපු සම්භාව්‍ය එව්වා බලන්න මකුණෝ පිරුණු ආසන වල වාඩි වෙලා වින්ද දුක මතක් කරකරම හෝල් එක ඇතුලට ගියා.
ටිකට් දෙන්නත් ඉස්සර හිටපු කොල්ලව එළවලා ලස්සන ගැහැණු ළමයෙක් දාලා.
" මොනවද නංගි අද පෙන්නන්නේ "
" උඩ නිකිණි වැස්ස යට පීටර් වන්"
"උඩ එකට දෙන්න"
"ඕ. ඩී. සී. 70 යි."
රුපියල් 70 ට බෝඩ් එකේ විස්තරේ අනුව සුපිරි ඒ සී හෝල් එකක ෆිල්ම් එකක් බලන්න හම්බ වෙච්ච චිත්තප්‍රීතියෙන්ම මම උඩට නැග්ගා නිකිණි වැස්ස බලන්න. හෝල් එක ඇතුලේ සු ගාලා දෙතුන් දෙනෙක් හිටියා. වායු සමනය කරන ලද කියලා බෝඩ් වල තිබුනට මුළු හෝල් එකටම එක ෆෑන් එකක් වැඩ කරනවා පේන්න තිබුනා. ඇතුල් වෙනකොටත් ස්ක්‍රීන් එකේ භාචි සුසාන් උගේ අවසාන මොහොත ගැන කියලා බෙරිහන් දෙනවා. එකත් ෆිල්ම් එකේම කෑල්ලක් කියලා හිතා ගෙන හිටියත් ටික වෙලාවකින් බෙල් දෙකක් වැදිලා ලයිට් නිවලා චිත්‍රපටිය පටන් ගත්තා.
කතාව පටන් ගන්නේම මිනියක් එම්බාම් කරන දර්ශනයකින්. පස්සේ තේරෙන විදියට ඒ මැරිලා තියෙන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි මල් ශාලාවේ අයිතිකාරයා. මිනිය එම්බාම් කරන්නේ එයාගෙ එකම දියණිය. තාත්තාගෙන් පස්සේ මල් ශාලාව කරගෙන යන්නේ මේ දුව තමයි . මෙයා තවම අවිවාහක තරුණියක්. මේ තරුණියගේ බලාපොරොත්තුව තමන් කරගෙන යන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරන එක. ඒ සදහා එයාට තියෙන සැලැස්ම ආදාහනාගාරයක් තමන්ගේ ගම ප්‍රදේශයේ ඉදි කරලා නගරයේ මල් ශාලා වලට යන අවමංගල උත්සව කටයුතුත් තමන්ගේ මල් ශාලාව වෙත ලබා ගන්න එක.
මේ සිහිනය ඉටු කරගන්න යන ගමනේදී ඇයට බොහෝ දෙනා හමු වෙනවා. උදව් වලට වඩා ලැබෙන්නේ තර්ජන ගර්ජන. මුදල් අල්ලස් ලිංගික අල්ලස් ඉල්ලීම්. මිනි එම්බාම් කරන මේ ගැහැණිය උදේට දකින එකත් මුසල කමක් කියලා හිතන ගම්මු ගැන නොසිතාම මැය තමන්ගේ අරමුණ කරා යන්න මහන්සි වෙනවා. මේ ගමනේ අවසානයේදී ඇයට සිදු වෙන්නේ තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න. නමුත් මරණයෙන් පසුව හෝ ඇගේ සිහිනය ඉටු වෙනවා. එහි වාසිය ලැබෙන්නේ මරණයෙන් පසුව මල් ශාලාවේ හිමිකාරිත්වය ලැබෙන අගේ ගෝලයාට සහ ඔහුගේ සගයාට.
චිත්‍රපටයේ කැමරා භාවිතය ගැන කතා කරනවා නම් ග්‍රාමීය ප්‍රදේශයක් තුල රූපගත කල නිසාදෝ මා සිතන පරිදි කැමරාවේ දුහුවිලි බැදීම නිසා එහි බොහෝ දර්ශන කහ පැහැයක් ගෙන තිබුනා. නමුත් මල් ශාලා හිමිකාරිනියගේ මරණින් අනතුරුව වැටෙන වැස්සෙන් පසු පෙන්වන අවසාන දර්ශනයේ ඇයගේ ගොලයාත් ඔහුගේ සගයාත් ඒ කහ පැහැයෙන් තොරව ඉතා පැහැදිලිව දැකිය හැකි වන්නේ ඇති වූ වර්ෂාවට කැමරාවේ බැදී තිබු දුහුවිල්ල හේදී ගිය නිසා බව උපකල්පනය කරන්න පුළුවන්.
චිත්‍රපටයේ සංගීතයක් නම් තිබුනාද යන්න පිලිබදව නම් කිසිම මතකයක් නැතත් සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස නදීක ගුරුගේ යන නම නාමාවලියේ දක්නට පුළුවන්.
අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය තුලින් සමාජයට යම් පණිවිඩයක් දීමට උත්සාහ කරන බව ලාවට මෙන් හැගුනත් ඒ පණිවිඩය මොකක්ද කියලා මට නම් තවම තේරුනේ නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න වෙනවා.
කෙසේ වුවත් මෙම සිනමා පටය තුල මල් ශාලාවේ ගෝලයා සහ ඔහුගේ පෙම්වතිය අල සිටුවන දර්ශන දෙකත් නැති වුනා නම් අධික නිදිමතක් දැනීම සාමාන්‍ය දෙයක් වීමට බොහෝ සේ ඉඩ තිබුණු බව චිත්‍රපටය නැරබු තුන් හතර දෙනාගේම මුහුණු වලින් පෙනුන බවද කිව යුතුමයි.
අපේ සම්භාව්‍ය චිත්‍රපටි අපට අගේ නැති උනත් මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගෙන තියෙනවා. ඒ නිසා වත් ඉතිං ගිහිල්ලා බලලා මේකේ බජට් එක කවර් කර ගන්නවත් පුංචි සහයෝගයක් දෙන්න. ස්තුතියි