පෙරේදා දිනයේ ඔය වාගේ චාරිකාවකට රෙපාට නැවතත් ආරධානාවක් ලැබිණි. ඒ ගමනට සහභාගී වීමට සිටි ගුරුවරයෙකුට හදිසි කාරනාවක් මත එම ගමන යාමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ අඩුව පිරවිමටය. මේ වන විට රෙපා සිටියේ නැවත ජිවිතයේ කිලෝමීටර් නැති කර ගන්නේ නැතිව පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා යන අවංක චේතනාවෙනි. නමුත් සිදු වුයේ වෙනකකි. අහෝ ඛේදයකි ඉරකි තිතකි. රාත්‍රි කාලය ගෙවී ගියේ නින්ද නොමැතිව සද කදුළු මිදුමකින් වැසිලාය. රෑ 12 පසුවනතුරු බුකියේ රස්තියාදු ගැසිනි. නිදා ගැනීමට කියා ඇදට වැටුනද පාන්දර වනතුරු දෑසට ලගා නොවුණු නින්ද නැවතත් රෙපාගේ කිලෝමීටර් නැති කර දැමිය. පෙර දිනයේ චාරිකාව යාමට බැහැ කියූ රෙපා පාන්දර 3 වනවිට සිටියේ අවදිවී චාරිකාව යාමට සුදානමිනි...
පාන්දර නැගිට ගත්තත් චාරිකාව යාමට සිතුවත් කොහේ යනවාද මොනවා කරන්නද කිසිම අරමුණක් නැත. පහමාරට පමණ නිවස ඉදිරිපිටට පැමිණි බසයේ රෙපාද එල්ලිනි. දක්ෂිණ අධිවේගය හරහා බසය කොලොම්පුර බලා ගමන් ඇරඹිය.
පිස්සු හැදෙනවාය දිනකට හෝ රෙපාද පාසල් ගුරුවරයෙකු වී ඇත. ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ට අප කොතරම් කරදර කර ඇතිදැයි රෙපාට වැටහීමට පටන් ගත්තේ ගෝල් පේසිය අසල නැවැත්වූ බසයෙන් පොඩි උන් එකා දෙන්නා බිමට බසින විටය. මුන් නම් කොල්ලන් නොව කොලු තාත්තලාය. සමහර උන් ජීවිතේට මුහුද දැක තිබුනේ ඊයේය. උන් මෙලෝ සිහියක් නැතුව ජිවිතේ පළමු වරට දුටු හෝ ගාන පොකුණ නරබන්නට දුවනවාය. කොහොමින් කොහොමට හරි ගෝල් පේසිය මුලින්ම ගියේ අසලම ඇති ලංකා බැංකු මුලස්ථානයටය. එතැනදී 28 වන මහලට ගෙන ගොස් පොඩි උන්ට මුහුද පෙන්නනු ලැබිය. කිරි පැකට්ටුවක්ද ලැබිණි. අනතුරුව ලේක් හවුස් ආයතනය නරඹා ගියේ පාර්ලිමේන්තුවටය.
කොපමණ කොලොම්පුරේ ඇවිද්දත් දියවන්නාව ඉදිරියෙන් කොතෙකුත් වාරයක් ගමන් කලත් කිසිම දිනක රෙපාට පාර්ලිමේන්තුව ඇතුලට යාමට චෑන්ස් එකක් වැදුනේ නැත. අද මේ පොඩි උන්ගේ පිහිටෙන් රෙපාටද පාර්ලිමේන්තු යාමේ චෑන්ස් එක සැට් වී තිබේ. පොලිස් මාමලාගේ පරික්ෂා කිරීම් වලින් අනතුරුව පාර්ලිමේන්තු බස් රථයක පටවා පාර්ලිමේන්තුවට යාමට ලැබිණි. පොඩි උන්ගේ පිහිටෙන් හෝ රෙපාද දැන් පාර්ලිමේන්තු පැමිණ තිබේ.
බසයෙන් බසින විටම දැක පුරුදු මුහුණකි. කිලෝ මීටර් නැති එකා කොහේ ගියත් දන්නා මොකෙක් හෝ එකෙක් සෙට් වේ. මේ සිටින්නේ එවැනි බුවෙකි.
"හලෝ මචං උඹ "
ඔහු මා හදුනා ගත්තේය. පරණ මිතුදම් අලුත් විය. බලාගෙන යනවිට යාලුවා රස්සාව කරන්නේ පාර්ලිමේන්තුවේය.
පොඩි උන් පඩි පෙළ දිගේ නගිද්දී විදුලි සෝපානයෙන් ඉහල මහලට යාමේ චෑන්ස් එක ඔහු නිසා මටත් මා සමග අහල පහලින් සිටි කිහිප දෙනෙකුටත් සෙට් විය.
නරඹා පහලට පැමිණෙන විට යාලුවා අතකින් පාර්සලයක්ද රැගෙන පැමිණියේය.
"මචං මෙතන පාර්ලිමේන්තුව ගැන පොත් සෙට් එකක් තියෙනවා. ඉගන ගන්න උන්ට ගොඩාක් වටිනවා ගනින් "
ඔහු මට පාර්සලය දිගු කළේය.
පාර්ලිමේන්තුව ගැන ඉගනීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත. නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හෝ ගත යුතුය.
මට වැඩක් නැති උනත් කවුරුන්හෝ ඉගන ගන්නා කෙනෙකුට මෙය ලබා දීමටවත් හැකි නිසා මම පාර්සලය තැන්කුවක් සමගින් භාර ගතිමි.
කොහොමින් හරි ඊළගට කට්ටිය ආවේ නෙලුම් පොකුණ බලන්නටය. නාට්‍යයක් නැරඹීමට නොහැකි උනත් රගහල තුලට ගොස් වටයක් ගසා ඉහලම මාලයට නැග බිමට බසින්නට පමණක් ලැබිණි.
ඊළග ගමනාන්තය එතනම එහා ඉඩමේ තිබු ජාතික කෞතුකාගාරයයි. ඔතන නම් රෙපාට අමුතුවෙන් බලන්නට කියා දෙයක් ඇත්තෙම නැතිය. ගෙදර වගේ වෙච්ච පොට් එක. ඒත් මොනා කොරන්නද? නිකම් හම්බ වෙන ටිකට් එක අපරාදේ නිසාම ඇතුල් විය. අමුතුවෙන් බලන්න කියලා දෙයක්ද නැත. නිකම් කැරකෙමින් සිටින විට රෙපාට මි ජයා මැති තුමා මතක් විය.
රෙපා පැමිණ ඇත්තේ අපේ ඉතිහාසය සම්බන්ද ස්ථානයකටය. මෙහි අනිවාර්යයෙන්ම රාවනා රජ තුමාගේ කිසියම්ම හෝ භාණ්ඩයක් තිබිය යුතුමය. අප රාවණා පරපුරේ හෙළුවන් වෙමු. රාවනාභිමානය රෙපාගේ ඉහින් කනින් වැගිරීම ආරම්භ විය. මෙතක් පටන් මේ පොස්ටුවද හෙලුවෙන්ම වැනෙනු ඇත.
කටුගෙයැ පුරාම සෙවුවත් මේ රෙපානන්ට රාවණාවන්ට අදාළ කිසිම පුරාවස්තුවක් සොයා ගැනීමට නොහැකි විය. රාවණාවන්ගේ ඉතිහාසයෙන් බිදක් කටුගෙයින් සොයා ගත නොහැකි වූ සොවින් පිඩිත වෙමින්ම රෙපා කටු ගෙයින් එලියට බටුහ.
සොවින් එලියට බට විටම රෙපාගේ නෙත ගැටුණු දසුන් රෙපාගේ සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට සමත් වීයැ. අනිවාර්යයෙන්ම මේවා නම් රාවණා යුගයේම භාණ්ඩ විය යුතුයි කියන සිතුවිල්ලම රෙපාගේ සිතුවිලි සියල්ලම කලම්බා ප්‍රීතියෙන් මනමත් කලෝය.
මේවා යම් කිසි සොයාගත් යුගයකට අයත් පුරාවස්තු නම් කටු ගෙය තුල අදාළ යුගයට අයත් කුටියක තැන්පත් කර ප්‍රදර්ශනය කල යුතුය. නමුත් මේවා එසේ නොවේ. නිකම්ම අව්වට වේලෙන වැස්සට තෙමෙන ආකාරයට ඔහේ දමා තිබේ. මෙය තනිකරම මේ පුරා වස්තුන් විනාශ කර හෙළ තාක්ෂනය වල දැමීමට සිදු කරන ලද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් ඉතාම පැහැදිලිය.
සුද්දා ගුවන් යානය නිර්මාණය කලේ රාවනාවන්ගේ දඩුමොනර තාක්ෂනය කොපි කර බව පසුගිය දිනක වගපුර්නිකාවේ මි ජයා මහතා පැහැදිලි කර තිබුනා රෙපාට හොදටම මතකය. එසේ නම් දැන් මේ විනාශ වී යාමට දමා තිබෙන්නේ රාවනා යුගයේ තිබු හෙලිකොප්ටර් දඩුමොනරයක සුළං පෙත්තක්ම විය යුතුය.
නමුත් මේ මොහොතේ බොග දැමීමට ලැපා ලග නැත. තවත් ප්‍රමාද විය නොහැක. වහාම බසයට නැගුනේ හැකි ඉක්මනින්ම නිවසට ඒමටය. මා හට උවමනා වේගයෙන් බසය ධාවනය නොවේ. කෙසේ හෝ නිවසට පැමිණෙන විට රාත්‍රී 11. 30 පමණ විය. වහාම ලැපා ලගට ගෙන බොග දැමීම අරඹන ලදී. පෙරදා රාත්‍රීයේ නොමැති වූ නින්ද ගමන් මහන්සිය සමගින් රෙපා සොයා ආවේය. අවදි වනවිට පට්ට දහවල්ය. එවක් පටන් බොග දැමිණි. ආරම්බය එක් පසකය අවසානය තවත් පසකය. මේ දිනවල කිලෝ මීටර් නැති රෙපාගේ මීටරය නම් පොඩ්ඩක් අවුල්ය. සමාව දෙන සේක්වා.
හෙලුවනි අවදිවවූ....
රාවණ යුගයේ පුරාවස්තු විනාශය වලකා ගැනීමට පෙළ ගැසෙවූ...
සැමට ශ්‍රී රාවණ සිද්ධම්෴



.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
















