Sunday, July 28, 2013

ඔබටත් ජනප්‍රිය බ්ලොග් තරුවක් විමට අවශ්‍යද?

දන්නෙම නැතුව බොග කොටන්න පටං අරන් අවුරුදු  දෙකකුත් ඉවර වෙලාය. හිතට දුක අවරුදු දෙකක් බොග දමලාත් තවමත් පෝස්ට් සියක් දමා ගන්නට බැරි උන එක ගැනය. පහුගිය ලියපු එව්වා බලාගෙන යනකොට වැඩිපුරම ලියලා තියෙන්නේත් බයිලා නිසා ඒක නම් එච්චර අවුලක් නැත. ඒ ලියු බයිලා පෝස්ට් අතරිනුත්  බ්ලොග් ලෝකයට පැමිණෙන  හුදී ජන හිත සුව පිණිස  කෙටූ පෝස්ටුව සහ සිංහල බ්ලොග් අවකාශය එදා සිට අද දක්වා  පැමිණි ගමන් මග පිලිබදව ලියු ලිපි වලට අදටත් දවසකට දෙතුන් දෙනෙක් පැමිණෙනු දැකීමද සතුටකි. අප බ්ලොග් ලියන්නේ ආත්ම තෘප්තියක් පිණිස මිස මුදල් හෝ යම් කිසි වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. සිංහල බ්ලොග් කෙරුවාවෙන් උපයනවා නම් උපයන්නේ හිට්ස් කමෙන්ට්ස් වැනිදේ සහ ආත්ම තෘප්තිය පමණකි.

අද මේ පෝස්ටුව ලිය වෙන්නේ ගෙවුණු අවුරුදු දෙක තුල බ්ලොග් අවකාශයේ අහන්න දකින්න ලැබුණු එව්වාගෙන් ලබාගත් අත්දැකීමෙනි. ඒ සිංහල බ්ලොග් අවකාශයේ සිටිනා විට උපයන එකම ආදායම වන හිට්ස් කමෙන්ට්ස් වැඩි කරගන්නා හැටි නොහොත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් කරුවකු/ බ්ලොග් කාරිනියක විමට උපයෝගී කරගත හැකි මාර්ග  කිහිපයක් ගැනය. 


(මෙම උපදෙස් සිංහල බ්ලොග් අවකාශය සදහා පමණක් වලංගු වන උපදෙස් පමණක් බව කරුණාවෙන් සලකන්න )



තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම සිංහල බ්ලොග් අවකාශයට දිනපතා බොහෝ දෙනා පැමිණේ. එම ප්‍රමාණය දිනපතාම ඉහල යනවා මිස අඩුවක් වන්නේ නැත. අපට ඒ අය ප්‍රධාන වශයෙන් පහත පරිදි හදුනා ගත හැක.


01. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවා කමෙන්ට්ස් දමන අය.


02. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත් අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවන කමෙන්ට්ස් නොදමන අය.  


03.බ්ලොගර් /ගුගල් ප්‍රොෆයිල් එකක් හිමි නමුත් දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන නොයන මුත් බ්ලොග් කියවන වැටෙන පෝස්ට් සදහා තම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දමන අය.


04.බ්ලොග් ලියන කියවන නමුත් තම අනන්‍යතාවය සඟවා කමෙන්ට්ස් දමන අය (ඇනෝ)


05.බ්ලොග් කියවීම පමණක් කරන අය.


06. වෙනත් 


ඉහත සදහන් කල කුමන අය තම බ්ලොග් අඩවියට පැමිණියද තමන්ගේ බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරේ ඉහල යනු ඇත. නමුත් නම කියූ පමණින් බ්ලොග් අවකාශයම දන්නා හදුනන  ජනප්‍රිය බ්ලොග් කරුවකු විමට එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල යුතු බොහෝ දේ තිබේ. 

01. ඔබ බ්ලොග් අඩවියක් ආරම්භ කිරිමට අදහස් කරන්නේද?


එසේ නම්  ඔබ මුලින්ම අන්වර්ථ නාමයකින් හෝ තමන් අනාගතයේදී බ්ලොග් ලොවට පිවිසිමට අදහස් කරන නමින් ප්‍රොෆයිල් එකක් හදා ගත යුතුය.  


(එකකට වඩා ඇති නම් එයද වාසිදායකය. නමුත් වැඩේ අල කර නොගැනිමට තමන් වග බලාගත යුතුය)


දැන් ඔබට එසේ සාදා ගත් ප්‍රො‍ෆයිල් එක භාවිතා කර අන් අයගේ බ්ලොග් ‍ෆලෝ කිරීම කමෙන්ට්ස් දැමීම දැන් ඔබට ආරම්භ කල හැකිය. 


ඔබට උවමනා ආකාරයට ඔබේ අදහස් කමෙන්ට්ස් මගින් ඉදිරිපත් කරන්න. මත ගැටුම් ඇති කර ගන්න. එවන් අවස්ථා වලදී ඔබට ඔබ සතුව ඇති අනෙකුත් ප්‍රොෆයිල් ද භාවිතා කර ඔබගේ මතය අන් අය වෙත රැගෙන යාමට හැකියාව ඇත.


උදාහරණයක් ලෙස,

ඔබේ නම සුනිමල් නම් ඔබ යම් බ්ලොගයක 

"සුනිමල් වන මට ඔලුවක් නැත" 


යනුවෙන් කමෙන්ටුවක් දැමුවා යයි සිතන්න. ඔබට ඔලුවක් තිබෙන බව ඔබට ප්‍රතිවිරුද්ද අදහස් කරන අය පවසනු ඇත. නොසැලෙන්න. ඔබේ අනිත් ප්‍රොෆයිල් වල සහයද ලබා ගන්න. ඒවායින් ලොග් වී ඔබට ඔලුවක් නැති බවට තර්ක කරන්න. අසභ්‍ය වදන් භාවිතා කර හෝ ඔබට හිමි සෑම ප්‍රො‍ෆයිල් එකකින්ම ලොග් වී ඔබට ඔලුවක් නැති බව අන් අයට පැහැදිලි කර දෙන්න. සුනිමල් යන නම අන් සියලු දෙනාගේ මතකයේ කාලාන්තරයක් රැදෙනු ඇත ^_^ 


නිතරම තමන්ට අන් අයගෙන් තර්ජන ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම තුලින්ද ඔබට අන් අයගේ අවධානය දිනාගැනීමේ හැකියාව ඇත. උවමනා නම් ඒ සදහා ඔබටම  හිමි වෙනත් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් භාවිතා කිරීමේ හැකියාව ඇත. (නමුත් වැඩේ අල කර නොගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවය.) ඒ ප්‍රොෆයිල් එක භාවිතයෙන් වෙනත් බ්ලොග් අඩවියක් ආරම්භ කර ඔබ ඔබටම පහර ගසන්න.


උදාහරණයක් ලෙස ඔබට ජනප්‍රිය කරගත යුතුව ඇති ප්‍රොෆයිලය  සුනිමල් නම් ඔබගේ අනිත් ප්‍රොෆයිලය සිරිසේන නම් 


සිරිසේන ප්‍රොෆයිලයෙන් මඩ බ්ලොග් අඩවියක් ආරම්භ කර සුනිමල්ට ඇති වනතුරු පහර ගසන්න. ඕනෑම තර්ජනයක් කරන්න. සිනි ඇති තැනට කුහුඹුවන් පැමිණෙන්නා සේ වලියක් ඇති තැනට අනිවාර්යයෙන්ම බ්ලොග් කරුවන් පැමිණෙන ආකාරය ඔබට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් නොනවතින්න. ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙන් සුනිමල්ගේ ගිනුමින් ලොග් වී සිරිසේනගෙන් ඔබට තර්ජන ඇති බව ලෝකයට පවසන්න. බ්ලොග් ලොවින්ම අනුකම්පාව ඔබට ලැබෙන අතර වලිය ඇවිලවිමට සහ සමාදාන කිරීමට කමෙන්ටු සිය ගණනින් වැටෙනු ඇත. ඒ අතර ඇනෝ පහසුකම භාවිතයෙන් ඔබටම තව තවත් ගින්න ඇවිලවීමේ හැකියාවද ඇති නිසා  කාලාන්තරයක් යනතුරු ඔබට හිට්ස් කමෙන්ට්ස් වලින් අඩුපාඩුවක් නොවනු ඇත. 


‍මේ ආකාරයෙන්ම ෆේස්බුක් ගිණුම් කිහිපයක් භාවිතා කිරීම තුලින් ඔබට අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ බ්ලොග් කාරිනියක් නම් ඒ ආකර්ෂණය දෙගුණ තෙගුණ වනු ඇත.

යම් කිසිවකු ඔබට බැන්නා හෝ නොබැන්නා තර්ජනය කළා හෝ නොකලා හෝ ඔබට තර්ජන ඇති බව අන් අයට පවසන්න. තවත් එම තර්ජන ඔප්පු කර පෙන්විමටද අවශ්‍ය නම් ඔබට හිමි ‍ෆේස් බුක් ‍ෆේක් ගිණුම් තුලින් ඔබේ ගිණුමට හොද හැටි බනින්න. තර්ජනය කරන්න. එහි ස්ක්‍රීන් ෂොට් ගෙන අසභ්‍ය වදන් එඩිට් කර හැකිතාක් අහල පහල සිටිනා මිතුරු මිතුරියන් වෙත ටැග් කරන්න. අනිවාර්යයෙන් ඔබට ඔවුන්ගේ අනුකම්පාව හිමිවනු ඇත. ඔවුන් ඔබ ගැන කතා කරන හැම වාරයකදීම ඔබේ  ජනප්‍රියත්වය ඉහල යනු ඇත.

කාලයක් තිස්සේ බ්ලොග් වලට කමෙන්ට් කිරීම තුලින් බ්ලොග් ලෝකය හදුනා ගෙන පසු කාලීනව බ්ලොග් ලෝකයට පැමිණි බොහෝ දෙනා සිටියි. ඒ අතරින් අපේ ආදරණිය ඔබා මාමා අමතක කල නොහැකිම චරිතයකි. ඒ ආකාරයෙන් බ්ලොග් ලොවට පැමිනි පහු ගිය දවස් වල අවුරුදු දෙක පහු කරපු අපේ ලට පට Praසන්ன ගෙ ලොවෙත් නැති බ්ලොගය ඔහු කමෙන්ට්ස් වලින් ලබාගත්  ජනප්‍රියත්වයයි. 


කමෙන්ට්ස් මගින් හෝ බ්ලොග් වලි මගින් බ්ලොග් ලියන කියවන පිරිස අතර නමක් සාදා ගැනීමට හැකිය. නමුත් ජනප්‍රිය බ්ලොග් කරුවකු කාරිනියක වීමට එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ සදහා කල හැකි හොදම දෙය වන්නේ ඔබටම කියා සෙට් එකක් සාදා ගැනීමයි. සෙට් සංකල්පය යනු බ්ලොග් ලොවට අද ඊයේ පැමිණි දෙයක් නොවේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වූ දින සිට පොර, කබ්බෝ දක්වාම පැවති එතනින් නතර නොවී අනාගතයටත් පවතින්නකි. එම නිසා දැනට පවතින සෙට් එකකට හෝ තමාගේම සෙට් එකක් නිර්මාණය කර ගැනීම මගින් තම සෙට් එකේ පිරිස හෝ බ්ලොග් අඩවියට කමෙන්ට් දමනු ඇත.
බ්ලොග් සුහද හමු වලට, සයිබර් සැණකෙළියට සහභාගී වීම, විනෝද ගමන් යාම, විවිද ඉවෙන්ට් වලට සහභාගී වීම තුලින් බ්ලොග් ලොවේ දිදුලන තරුවක් වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ලියන ලිපියේ වර්ගය අනුව ලැබෙන කමෙන්ටු හිට්ස් ප්‍රමාණය අඩු වැඩි වනු ඇත. වර්තමාන සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම හිට්ස් ලැබෙන ලිපි පහත මාතෘකා යටතේ ලියවුනු ඒවා බව බ්ලොග් අවකාශයේ සැරිසැරීමේදී දැකිය හැක.


01. බ්ලොග් අඩවි පිලිබදව සහ බ්ලොග් කරුවන් සම්බන්ධ මඩ


02. 18 + ලේබලය යටතේ ලියවුනු ලිංගිකත්වය සම්බන්ධ කවි කතා ලිපි 

03. ආදරය/ ගොසිප්/ ප්‍රවෘත්ති 

04.තාක්ෂණික  හා වෙනත් 

මේ අයුරින් වැඩි ජනප්‍රියතාවක් ඇති වර්ගයක පෝස්ට් පල කිරීම තුලින්ද බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරය කරකවෙනු ඇත. මුහුණට මොන මොනවා කිව්වත් බහුතරයක් දෙනා අන් කෙනෙකුගේ බ්ලොග් අඩවියක කමෙන්ටු දමන්නේ ඔහුගේ හෝ ඇයගේ බ්ලොග් අඩවියේ අනෙකා කමෙන්ටුවක් දමන්නේ නම් පමණකි. ඔබ ඔබේ බ්ලොග් අඩවියට කමෙන්ටු බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් අනෙකාගේ බ්ලොගය කියවුවද නැතද අනිවාර්යයෙන් කමෙන්ටුවක් දැමිය යුතුය. නැතහොත් අනෙකා ඔබගේ බ්ලොගය කියවුවද සද්ද නැතුවම යනු ඇත. බ්ලොග් අවකාශයේ කමෙන්ටු ලැබෙන්නේ දමන තරමටය. ඔබ අන් අයට සලකන තරමටම අන් අයද ඔබට සලකනු ඇත. මන්ද ලාංකීය බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවන බහුතරයක් දෙනාට බ්ලොග් අඩවියක් හිමිව ඇත. 


දැමිමට කමෙන්ටුවක් සිතට නො එන්නෙම නම් අපගේ අඩවි රජාගේ වැකිය වැනි //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැනි ඔබගේම වැකියක් නිර්මාණය කර ගන්න. බ්ලොග් අඩවිය කියෙව්වද නැති වුවද ඔබ බ්ලොග් අඩවියට පැමිණි ඇති බව තහවුරු වන බැවින් කමෙන්ටුවේ ණය ගෙවිමට හෝ ඔවුන්ද ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනු ඇත 

(උදාහරණයක් ලෙස 
 //සුභ වේවා රාජ සම්පත් ලැබේවා //  වැකිය ගත්තේ රජා බ්ලොග් නොකියවා කමෙන්ට් කරනවා කිමට නොව සැවොම දන්නා වාක්‍යක් නිසා බව කරුණාවෙන් සලකන්න) 


බ්ලොග් අඩවිය ජනප්‍රිය කර ගැනීම සදහා තවත් ක්‍රමෝපායන් බොහොමයක් තිබේ. නමුත් තමන්ගේ සිතුවිලි මතින් තමන්ගේම අදහසක් නිර්මාණයක් ඉදිරිපත් කර ලබන සුළු හිට්ස් ප්‍රමාණය කමෙන්ට්ස් ප්‍රමාණය වංචාවෙන් ලබාගන්නා දහසින් බැදී කමෙන්ටු වලට වඩා සිය දහස් වරක් වටි.

ජනප්‍රියත්වය සදහා මොනවා කලත් තමන්ගේ ක්‍රියා කලාපය පිලිබදව තමන්ට වඩා දන්නා කෙනෙක් නැත. තමන් පිළිබද හොද හෝ නරක ප්‍රතිරූපයක් සමාජය තුල කෘතිමව නිර්මාණය කල හැකි වුවත් ඒ සියල්ලම තාවකාලික වේ. එසේ කෘතිමව නිර්මාණය කරගත් ජනප්‍රියත්වයන් එක්වරම පිම්බි විත් කෙටි කාලීනව විනාශ වී යන ආකාරය පසුගිය දිනවල දකින්නට ලැබිණි. බ්ලොග් අවකාශයට පමණක් නොව සමස්ත සමාජයටම එය එසේමය. කෘතිමව නිර්මාණය කරගන්නා ජනප්‍රියත්වය කෙටි කලකින්ම අප්‍රිය වී ඔබ නැත්තටම නැති වීමටද හැකියාව ඇත.    



Wednesday, July 17, 2013

සතර පෙර නිමිති

දුටුවෙමි හිමියනේ...





පාට කල දෙතොල සහ 
ඩයි කෙරුණු කෙහෙ රැල්ල 
වියපත් වූ ශරීරය වැසූනු මේකප් තලිය 
සගවයිද මහලු බව කෙලෙසකින් ඒ ලෙසට 


ගිලන් වී එක්තැන්ව තමන් වැදු මහලු මව 
සිටින තුර අසරණව ඒ කිසිත් නොසලකා
නිවන් යන්නට කලින්, අසල්වැසි හැමෝටම 
ලෝකයට පෙනෙන්නට පිං කරන දරු කැලක්.

මහලු වී ගිලන් වී කිසිවකුත් නොසලකා 
විදවමින් ජීවිතය නිමා කල මෑණියන්
යකඩ කටවල් වලින් ඇසෙන ඇගේ ගුණ කථන
නිවස වට කර ඇදුනු ශෝක පණිවිඩ ගොන්න 
ජිවතුන් අතර සිටි කාලයේ දී නොතිබූ
අලුත් වටිනාකමක් අද ඇය ගේ කුණු කයට...... 

හත් දවස තුන් මාසේ දාන බණ පිංකමට 
ඇගේ දු පුතුන්ගේ වරුණාව කියන රඟ 
විසි කරන සල්ලි මිටි වලින් පිට වෙන සුවද 
ඉගි කරයි පිං කමේ තරම මුළු ලෝකයට 

ලොකුම ලොකු පන්සලට 
ලොකුම ලොකු දානයක්...... 

ගමේ පොඩි පන්සලේ වැඩ සිටියි තෙරණුවන් 
කැප වෙමින් සසුන වෙත
 සුරකිමින් ධම් විනය 
ලෝකයෙන් වසන් වී දවල් දානෙත් නැතුව ...
...............








Sunday, July 14, 2013

හිතවත් උදේනි අයියා වෙත ලියමි ..




ඊයේ වනතුරුම සිටියේ මේ ගැන වචනයක්වත් කියන්නේ ලියන්නේ නැහැ කියලා හිතාගෙනය. මේ ටික මෙහෙම හරි ලියන්න හිතුනේ ඊයේ ඉරිදා ලංකාදීප පත්තරේ උඹ ගැන තිබුණු පිටු බාගේ ආටිකල් එක කියෙව්වාට පස්සේය. එදා ඉදලාම දේසපාලනය කියන මාතෘකාව  ඇලජික් ය. මොන දේශපාලනය කලත් උඹ අපේ ගමේ මිනිහාය. මේ ටික ලියන්නේ උදේනි අතුකෝරල කියන ප්‍රාදේශීය සභා සභාපති තුමා  නෙවෙයිය. පොඩි කාලේ ඉදලාම දන්නා කියන උදේනි අයියා වෙනුවෙන්මය.



මොකා දේශපාලනය කලත් ඒ කරන්නේ අත ලෙවකන්නට නොවන බව ගොඩක් දෙනෙක් නොදන්නවා  හිටියාට හැමෝම දන්නවය. උඹ හිටපු පුටුවේ සිට ඉහලට ඉන්න හැම එකාම මුලින්ම කරන්නේ තමන්ට හම්බ කර ගන්නා එකය. රටේ ජනතාව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෑය. මේ ලියන මම උනත් නිකන් හම්බ වෙන සල්ලියක් තිබේ නම් නොගෙන ඉන්නේ නැතිය. අනිවා ගන්නවාමය. සල්ලි දැක්කාම පැනලා ගන්න එක මනුස්ස ස්වාභාවයය.

පත්තරේ තිබුන හැටියට උඹට ඔය අල්ලස දුන්නාය කියන කෙනාද ප්‍රාදේශීය සභාපති වරයෙක්ය. උඹට බය නැතුව ලක්ෂ විස්සක් ජරාව දෙන්නට කැමති  වෙන්නට නම් අදාළ පස් කොන්තරාත්තුවෙන් ඔහුට හිමි  ලාභයද සුළු පටු එකක් විය නොහැක්කේමය. පත්තරේ ඔහුම කියන පරිදි ඔහු ඔබට පලවෙනි ලක්ෂ පහ ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමට හොරෙන් ය. නීතියට අනුව අල්ලස් දීම මෙන්ම ගැනීමද වරදක් බව ඒ මොහොතේ දී ඔහුට මතක තිබී නැතිය. දැන් උසාවියේදී උඹ ඔය කාරණය ඔප්පු කරන්න ගියොත් නම් උඹ කලිනුත් අල්ලස් ගත්තා කියා නිකම්ම ඔප්පු වෙනවාය. ඒ නිසා ඉක්මනට ගෙදර එන්න ඕන නම් උඹට ඒවා අමතක කරන්නට වෙනවාය. ජනතාවට සේවය කරන්න ඔහුටත් අවංක උවමනාවක් තිබුනේ නම් අහක තියෙන පස් කොන්තරාත්තු පස්සේ යන්න ඔනෑ නැතිය. සභාපති වරයාට ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැට ගසා ගත හැකිය.
   
මොකා මොනවා කලත් නිතිය ඉදිරියේ ඔප්පු වෙනතුරු ඔහු හොද මනුස්ස්සයෙක්ය. මොන සෙල්ලම දැම්මත් ඇතිදා ලග ඉන්නා උන් නැතිදා හොයා ගන්නවත් නැතිය. දැන් උඹට ඒ ටික නම් හොදටම තේරෙනවා ඇතිය. උඹව අල්ලාගෙන ගියපු දා වැඩිපුරම සතුටු වුනේ රතිඥ්ඥා පත්තු කලෙත් ලක්ෂ ගණන් වියදම් කොට පාටි දැම්මෙත් උඹේ ලගින්ම සිට එකට කෑ උඹේම හිත මිතුරන් මිස අපි නොවේ ය. මිතුරා කවුද සතුරා කවුද යන්න උඹට මේ සැරේ නම් හොදටම අවබෝද වන්නට ඇතිය. 

මොන දේශපාලනය උනත් උඹ හොද අනාගතයක් තිබුණු කොල්ලෙක්ය. දැන් දැන් ලැබෙන ආරංචි අනුව පළාත් සභා නාම යෝජනා ලබා ගැනීමේ තරගයක්ද මේක අස්සේ තියෙනවාලු ය. ඒවායේ ඇත්ත නැත්ත මොනවා උනත් දැන් වෙන්න ඕන දේ වෙලා අහවරය. දෙතුන් දෙනෙක් මැරුවත් මාස දෙක තුනෙන් එලියට  රටක ජරාව  කෑ වරදට සදහටම හිරේ ගිය දේශපාලකයින් ගැන අපි නම් අසා නැත. උඹත් ඒ විදියට ඉක්මනටම එලියට එනවා ඇතිය. ඒ ඇවිල්ලාවත් ආයෙත් ඔතනට නොයන විදියට වැඩ කරනවා නම් එච්චරය. 

තව උඹ ගැන ලියනවා නම් ලියන්නට බොහෝ දේවල් ඇත්තේය. මේ ටික මෙහෙම හරි උඹ වෙනුවෙන් ලියන්නට හිතුනේ මොන තැන සිටියත් අනිත් උන් මෙන් නොසිට දැක්ක තැනකදී මල්ලි කියා කතා කරන්නට තරම් වත් නිහතමානි වූ ගමේ කොල්ලා නිසාය. ඇතිදා සීනි නැතිදා ගෝනි යන ලෝක ධර්මතාවය උඹට මට වෙනස් කල නොහැක්කේය. ඒ නිසා ඉක්මනට නිදහස් වී ගෙදර එන්න හැකි වෙන්න කියා පතමින් මම නවතිමි. උඹට තෙරුවන් සරණයි....