Saturday, December 24, 2011

සුභ නත්තලක්



නත්තල ලබන්න තව පැය කිහිපයයි. මේ දවස් වල හැමදාම පාටි. කාලෙකින් මොනවත් ලිව්වෙත් නැති නිසා මොනවාහරි ලියනවා කියලා ඉදගත්තට මොකද මුළු ලෝකෙම පාවෙනවා වගේ. පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් ගනන්ගන්න එපා . . මේ දවස් වල අපේ ජොබ් එක නත්තල් සියා භාර අරගන තියන නිසා අපි නිවාඩු පාඩුවේ පොඩි ජොලියක් දාගන ආතල් එකේ ඉන්නවා. නත්තල් සියට දැන් පොඩි අයට තෑගි අරන් එන්න වෙලාවක් නෑ. මේ දවස් වල මෑන් හරි බිසී. සියා කඩවල් වලට වෙලා බඩු විකුනනවා. සමහර තැන් වල සියට ඇදල ඉන්න කොල්ලෝ  දැක්කම දුකත් හිතෙනවා. දවසකට හම්බවෙන පොඩි සම්තින් එකකට උන් අර සිය කිට් එක ගහගන අව්වේ වේලෙනවා. සුපර් මාර්කට් වල ඉන්න සියලාගේ තත්වයත් ඊට වඩා වැඩි වෙනසක් නෑ. ගොඩක් වෙලාවට පිටට ලස්සනට හිනා වෙලා වගේ පෙන්න හිටියට උන්ගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ දුක හිතෙන කතා. 




දැන් ඉතින් එව්වයින් වැඩක් නෑ. ආගම මොකක් උනත් සල්ලියි හිතේ සතුටයි තියනවනම් හැමදාමත් නත්තල් තමයි. එත් මොනවා කරන්නද සල්ලි තියන එකාගේ හිතේ සතුටක් නෑ. සතුටින් ඉන්න එකාට සල්ලි නෑ. එහෙමනම් බ්ලොග් අවකාශයේ යාළුවො හැමෝටමයි ,බුකියේ යාළුවො සෙට් එකටයි. මගේ කස්ටමර්ලා හැම දෙනාටමයි , නත්තල සමරන ලෝක වාසි සියලුම දෙනාටයි දුකින් තොර සැපෙන් බර සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ගියා එහෙනම් (තවත් පාටියකට)
රෙප් මහත්තයා  

Saturday, December 10, 2011

රට හරකෙකුට අං තට්ටුවක් උවමනා කර තිබේ

විදේශීය රටකින් ආනයනය කල විදායක ශ්‍රේණියේ හරකෙකුට සුදුසු අං තට්ටුවක් සදහා මිල ගණන් කැදවනු ලැබේ. (මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොමිස් සදහාද සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට කාරුණික වන්න)
සියලු විමසීම් 
මිලදී ගැනීමේ නිලදාරී,
බොරුපන රත්මලාන.

රැකියා ඇබෑර්තු   
බල්ලාගේ රාජකාරි කළහැකි බුරුවන් කිහිප දෙනකු අවශ්‍ය කර තිබේ. ස්වාමියා දුටු විගස දෙකට නැවී නගුට වැනීමට හැකි අය සදහා ඉක්මන් උසස් වීම්. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. ආහාරයට තණකොළ සහ වතුර සමගින් ආයතනයෙන් නඩත්තු කරන වාහනයක්.   
 
පුද්ගලික ලේකම් වරියන් අවශ්‍යයි
අප ආයතනයේ විදායක නිලදාරීන් සදහා පුද්ගලික ලේකම් වරියන් අවශ්‍ය කර තිබේ. ඔබත් අවුරුදු 16 ත් 22 ත් අතර සුරූපී යුවතියක් නම් ඉහත තනතුර ඔබ සදහාමයි. ආහාර නවාතැන් රට සවාරි සමග. අද්යාපන සුදුසුකම් අවශ්‍ය නැත.  හැකියාව සහ උනන්දුව මත වර්ෂ අවසානයේ දරු පැටියෙක් තෑගි.
සියලු විමසීම්
මානව සම්පත් කළමනාකරු
බොරුපන රත්මලාන
 
මංගල යෝජනා 
පෙම්වතියක් සදහා ඇබැර්තු ඇත 
මුහුණේ ලස්සන එච්චරම නැති උනාට 
හිත ගොඩාක් ලස්සන
ඕනවට වඩා බොරු සෝබන නැති උනාට
ඕන වැඩක් පිලිවලකට කරන්න පුළුවන්
බොරු කයිවාරු නැති උනාට
කෙලින් කතා කරන
හුගාක්ම තැන්පත් විනීත නැති උනාට 
චුට්ටක් විතර දගකාර විසේකාර
ආදරේ කරනකොට බොලද උනාට
ජීවිතය ගැන බොලද විදියට නොහිතන
සල්ලි කියන්නේ කියන්නේකියලා නොහිතන
ආදරේ හදුනන ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්
ජීවිතේට එන ප්‍රශ්න වලදී පැනලා යන්න උත්සාහ නොකරන
අවුරුදු 22 ත් 26 ත් අතර අවංක අවංක කෙල්ලෙක් නම් 
අදම කමෙන්ට් කරන්න 
තෝරාගන්නා අයදුම් කාරියන් පරිවාස කාලයකින් පසු භාර්යා තනතුර දක්වා උසස් කිරීම පිළිබදවද සලකා බලනු ඇත 
සැලකිය යුතුයි 
මෙම දැන්වීම විනෝදය පිණිස නොව විවාහය සදහා බව සලකන්න

නම් වෙනස් කිරීමයි
සිංහල බ්ලොග් අවකාශය තුල මෙතෙක් කාලයක් අම්බලම නමින් පෙනී සිටි මම අද පටන් රෙප් මහත්තයා යන නම බාවිතා කරන බවත්, මෙතෙක් කාලයක් ලියන ලබා බ්ලොග් සියල්ල තව දුරටත් එම නම් වලින්ම පවත්වාගන යන බවටත්  බ්ලොග් අවකාශයේ මිතුරන් සියලුම දෙනාටත් මෙතුවක් කල් සහය දුන් සියලුම සින්ඩි වල පාලක වරුන්ටත් පොදු මහජනතාවටත් මෙයින් දැනුම් දැනුම් දෙනු ලැබේ. (නම දිග වැඩි කියලා හිතෙනවා නම් රෙපා කිව්වත් මගේ නම් තරහක් නැ )
මිට විශ්වාසී
රෙප් මහත්තයා 
 


Thursday, November 10, 2011

පොළොන්නරු සංචාරය

මේ සතියේ මගේ සංචාරක ප්‍රදේශය උනේ අයිතිහාසික පුලතිසි පුරවරය එහෙමත් නැත්තම් පොළොන්නරු පුරවරය. කකුල් දෙක අස්සේ ගහ ගත්ත මෝටර් බයිසිකලයක් උඩ නැගලා රට වටේ ගිය බොහෝ දුරට මේ සතියෙන් අවසන් වෙන්නත් ඉඩ තියනවා. පොළොන්නරුවට මුලින්ම ඇතුල් වෙනකොටම ඇස් ඉදිරි පිටම දකින්නට ලැබුනේ බොහොම දුක්බර සිදුවීමක්. අපේ ඉස්සරහට තරමක වේගයෙන් ආව බයිසිකලයක් තව බයිසිකලයක හැපිලා එක බයිසිකලයක් පැදගෙන ආපු කෙනා වැටුනේ බුස් රථයක පිටිපස්සේ රෝදේ ඉස්සරහට. බස් එක නැවතුනේ ඒ කෙනා දාගන හිටපු හෙල්මට් එක කුඩු වෙන සද්දෙට. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ගෙදර ඉන්න පොඩි දරුවට කිරි දෙන්න පරක්කු වෙන නිසා වේගෙන් ආවා කියලයි කියන්නේ. හේතුව මොනවා උනත් පරිස්සමින් වාහන අරන් යන්න අපටත් මේක හොද පාඩමක් උනා. 
ගිය සතියේ දාපු පින්තුර ටිකට ආව කමෙන්ට් වල හැටියට මට පෙන්නේ මේ බ්ලොග් ලියන කියවන අය කවදාවත් ආසාවටවත් ට්‍රිප් එකක් වත් යන අය නෙවෙයි වගේ. මේ සැරේ අපේ සංචාරක කටයුතු ගොඩාක් කලේ වැඩ ඉවර කරලා හවස් වරුවේ නිසා සමහර ෆොටෝ වල නම් තියෙන්නේ කළුවර විතරයි. මේ තියෙන්නේ එතන තිබුණු ටිකක් හරි හොද ෆොටෝ ටිකක්  


මේ තියෙන්නේ පොළොන්නරුවේ සදකඩ පහන අනුරාදපුර සදකඩ පහනට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගවයාගේ රුපය සදකඩ පහනින් ඉවත් කර තිබීම. හින්දු බලපෑම නිසා හින්දුන්ගේ පුජනිය සත්වයකු වන ගවයා පයට පෑගීමට  නුසුදුසු වීම හේතුවෙන් සදකඩ පහනින් අයින් කළා කියලා තමයි කියන්නේ.




මේ පොළොන්නරු ගල්විහාරයේ සමාදී පිළිමය හිටි පිළිමය හා පිරිනිවන් මංචකය පිළිම 



මේ තියෙන්නේ මැදිරිගිරිය වටදාගය


මේ මැදිරිගිරිය වටදාගය අනුරාදපුර යුගයේ රජකම් කල කනිෂ්කතිස්ස රජතුමා විසින් කරවන ලද්දක් කියලා තමයි කියන්නේ 




පොළොන්නරුවේ නෙලුම් පොකුණ 



මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ නෙලුම් මලක ආකෘතියකට  ඒ නිසා නෙලුම් පොකුණ කියලා කියනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.







මිට අමතරව මහවස්සේ තෙමිගෙන සෝමාවතී චෛත්‍යය වන්දනා කරන්න ගියත් ඒ එකකවත් ෆොටෝ නම් නෑ. තියෙන්නේ කදුරුවෙල නගරයේ ඉදන් 40 km විතර ඇතින්.  සෝමාවතී දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියක් විසින් කියලයි කියන්නේ.ඒ සෝමාවතියේ නිසා අයිතිහාසික වටිනාකමින් ඉහලම ස්ථානයක තියනවා. එත් මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න වම් දන්ත දාතුන් වහන්සේට තියන සැලකිල්ල වනාන්තරයක් මැද තියන මේ දාගැබට තියනවාද කියන එක නම්  ප්‍රශ්නයක්,

Sunday, October 30, 2011

කාලෙකට පස්සේ



මේ දවස් වල ජොබ් එකත් එක්ක  ජීවිතේම පාරට වැටිලා හින්දා බ්ලොග් එක පැත්ත පලාතක එන්න වෙන්නේ නැ. ඒක නිසා ඔය යන එන අතර මගදී  ගනිපු පොටෝ දෙක තුනක් වත් දාල යන්න හිතුනේ ආයෙත් බ්ලොග් ඒක පැත්තේ කවදා එන්න වෙයිද කියන්න බැරි නිසා. කැමරාව චයිනිස් හින්දා කොලිටිය නම් උපරිමයි. මේ පොටෝ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් ඒවා පහලින් ලියලා යන්න අමතක කරන්න එපා  







මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ. දබුල්ල මාතලේ මාර්ගයේ නාලන්ද කියන ප්‍රදේශයේ හැරිලා කිලෝමීටරයක් විතර ගියාම   තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හරි මැද මේක පිහිටවලා තියනවා කියලා තමයි කියන්නේ.



මේ කැටයම තියෙන්නෙත් නාලන්දා ගෙඩිගේම තමයි. මෙතන ඉන්නවා කියන්නේ පිරිමියෙකුයි ගැහැනියකුයි සිංහයකුයි. මේ තුන් දෙනා මොනවා කරනවද කියලා මම නම් දන්නේ නැ. කොහොමටත් ලංකාවේ තියන මේ ජාතියේ එකම කැටයම කියලා තමයි කියන්නේ.





පිදුරංගල කියන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ ගොඩ නගාපු පන්සලක්. එකේ ඉපැරණි ලෙන් විහාර සංකීර්ණයක් එහෙමත් තියෙනවා. අවාසනාවට එතැනදී ගත්ත එකම ෆොටෝ එකක්වත් හොයාගන්න නැ. මේ තියෙන්නේ ඒ ලෙන් සංකීර්ණයෙන් උඩ තියෙන ගලට නැග්ගාම සිගිරි පර්වතය පෙන විදිය.


මේ තියෙන්නේ රන්දෙනිගල හරී රන්ටැබේ හරී වේලි දෙකෙන් එකක් ඇවිදපු අවිදිල්ලේ හැටියට මටත් මේ මොකක්ද කියලා හරියටම මීටර් නැ. කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද කියලා කියලා යන්න.
මේ දවස් වල තියෙන අයහපත් කාලගුණය එක්ක ගත්ත පොටෝ ටිකක් හරී මෙහෙම ඉතුරු උන ඒක ලොකු දෙයක්. එහෙමනම් තවත් සතියක දෙකක සංචාරයකින් පස්සේ මම අයෙමත් බ්ලොග් ඒක පැත්තට එනවා. එතකම් හැමෝටම ආයුබෝවන්. 

Monday, October 10, 2011

සදමාලි මාලි 02 කොටස


පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් කියවලාම එන්න


සදමාලිගෙයි සුනිල්ගෙයි කසාදෙ රෙජිස්ටර් කලේ බොරු වයසක් දාල. මොකද තාම මාලිගේ වයස අවුරුදු පහළොවක් විතරයි. එදා මාලිගේ ගෙදර මහා ලොකු උත්සවයක් නොතිබුනත් සුනිල් එයා ගේ යාළුවො කිහිප දෙනෙක් එක්ක මදුවිතින් සප්පායම් වෙන්න පටන් ගත්තේ කලින් දවසේ දඩයම් කරගන ආපු වල උරු මස් බයිට් එකත් එක්ක. කසාද බැදලා පලවෙනි දවසෙම හොදටම බිලා වැටිලා හිටපු සුනිල්ව වත්තම් කරගන ගෙට අරන් එන්න උනෙත් සදමලිටයි අම්මටයි දෙන්නට. සුනිල්ගේ  යාළුවො ඔක්කොම මේ වෙනකොටත් නොකියම ගිහිල්ලයි තිබුනේ. 
පහුවෙනිදා මොකුත් නොදන්නවා වගේ සුනිල් රාජකාරියට පිටත් උනේ මේ දවස්වල පළාතේ තිබුණු තත්වය උඩ කසාද බදින්න කියලා නිවාඩු දාල ඉන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා. 
කාලය මේ විදියට වේගයෙන් ගෙවිලගියා අවරුදු දහසය ලබනකොට අම්ම කෙනෙක් වෙන්න සිද්ද උනත් මාලිගේ රුප ලස්සනේ නම් අඩුවක් වෙලා තිබුනේ නැ.  
රංග කියන්නේ මාලිගේ ගමේ පොලිස් ස්ථානයට අලුතින් පත්වෙලා ආපු පොලිස් කොස්තාපල් කෙනෙක්. රඟපෑවා එක දවසක් මලීට මුණ ගැහුනේ රාජකාරි කටයුත්තකට මාලි සේවය කරපු රාජ්‍ය නොවන ආයතනයට ආව වෙලාවක. එදා රාජකාරි මට්ටමින් ඇති වෙච්ච දන අදුනුම් කම තහනම් ගැහෙ ගෙඩි කමක් දක්වා දුර දිග යන්න වැඩි කාලයක් ගත උනේ නැ.
මාලිගේ හිතේ සුනිල් ගැන කවමදාවත් ඇති නොවෙච්ච ආදරයක් රංග ගැන ඇති වෙලයි තිබුනේ.තමන් කරන්නේ  වරදක් බව දන දැනත් ඒ ආදරේ  නතර කරලා දාන්න රංග වත් මලිවත් කල්පනා කලේ නැ. මාලි අවුරුදු දෙකක පුංචි කොලු පැටියෙකුගේ අම්ම කෙනෙක් උනත් මලීට රන්ගත් ගොඩාක් ආදරේ කළා.
ලෝකෙටම හොරෙන් කරගන ගිය මේ ආදර කතාව සුනිල්ගේ කනට වැටෙන්නත් වැඩි දවසක් ගත උනේ නැ. එදා හවස සුනිල් ගෙදර ආවේ හොදටම වෙරිමතින්
"පට්ට #@@# උබ අරු එක්ක නටන නෙයියාඩගම නැවැත්තුවේ නැත්තම් තොපි දෙන්නම බාවලා මමත් මැරෙනවා."
සුනිල් වෙරි මතේම මහා හයියෙන් කෑ ගැහුවා. 
"මම #@@# තමයි යකෝ, මට ඕන නම් මම රංග එක්ක යනවා උබට  පුලුවන්නම් නවත්තපන් බලන්න මම මෙහෙමවත් ඉන්නේ මේ කිරි සප්පය හින්දා " 
මාලි සුනිල් එක්ක එකට එකම කියන්න පටන් ගත්තේ මේ වෙනකොට සුනිල්ව හොදටම එපා වෙලා තිබුණු නිසා.
හැමදාම මේ විදියට සිද්ද වෙන රණ්ඩු සරුවල් දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මාලිගේ අම්මට වත් පුංචි පුතාටවත් තිබුනේ නැ.
මේ වෙනකොට සුනිල් සේවය කෙරුවෙත් රංග සේවය කරපු පොලිස් ස්ථානයට අනියුක්තවමයි. රංග ගැන දැඩි වෛරයක් හිතේ තියාගන හිටපු  සුනිල් බලාගන හිටියේ රන්ගගෙන් පලිගන්න අවස්තාවක් ලැබෙන තුරු.
ඒ දවස උදා උනේ නොහිතපු විදියට. 
එක දවසක් පාන්දර සුනිල් රාජකාරි නිමාකරලා ගෙදරට එමින් සිටියා. ඉස්සරහට මුණගැහුනේ තමන්ගේ ගෙදර ඉදලා එලියට බහින රංගව ..
උදේ පාන්දර රංගගේ මුණ දැකපු සුනිල්ගේ ඇස දෙකෙන් ගිනි  පිට උනා. #%% බල්ලා,
අතේ තිබුණු රාජකාරි ගිනි අවිය රංගගේ මුනට එල්ල කරලා කොකා ගස්සන්න සුනිල්ට මහා වෙලාවක් ගත උනේ නැ. කපාපු කෙහෙල් කඩක් වගේ රංග  බිම වැටෙන කොට වෙඩි සද්දෙට ඉස්සරහට ආපු මාලිට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. 
"අනේ මගේ රංග,"
 මාලි මහ හඩින් විලාප තිව්වා. 
"මාවත් ඔකෙන්ම තියලා මරලා දාපන්" 
මාලි කෑ ගැහුවේ  මොකුත්ම සිද්ද නොවුණු ගානට පාර දිගේ යන සුනිල් දිහා බලාගන. මාලිගේ අම්ම සිද්දුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලා ඉන්නවා. මාලි පිස්සියක් වගේ ගේ ඇතුලට දිව්වා. පුංචි කොලු පැටියා අම්මගේ පස්සෙන් දිව්වා. අතට අහුවුනේ කුබුරට ගහන්න ගෙනාපු කෘමි නාශක බෝතලයක්. වැඩිපුර හිතන්නේ නැතුවම මාලි කෘමි නාශක බෝතලයම කටේ හලා ගන්නවා පොඩි එකා බලාගන හිටියා. මාලි බිම වැටුනේ කට දෙපැත්තෙන්ම වමනය පිට කරන ගමන්. 
අනේ මගේ  අම්මා........................
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
අප ආයතනයේ සේවය කල සදමාලි දිසානායක මහත්මියගේ අවමගුල් කටයුතු වෙනුවෙන් ගෙවූ මුදල රු xxxxxx
"මේ ගිය පාර අපි එනකොට මේකේ වැඩ  කරපු ගැනු ළමය නේද?" 
වසර කිහිපයකට කලින් රාජ්‍ය නොවන ආයතනයක විගණන කටයුතු වෙනුවෙන් ගියපු වෙලාවේ මම පරික්ෂා කර කර හිටපු වව්චර් එක පෙන්නලා මම එතන හිටපු ගිණුම් සහායකවරයා ගෙන් ඇහුවේ මොකද මෙයාට උනේ කියලා.
"එක දිග කතාවක් මම හවසට කියන්නම් " එදා ඔහු එහෙම කියලා ගියත් වැඩ රාජකාරී නිසා ඒ කතාව අහන්න බැරි උනා. මම විගණන ආයතනයෙන් අයින් වෙලා ටික කාලෙකට පස්සේ ආයෙමත් මට ඒ ගිණුම් සහායකවරයව මුණගැහුනේ එක්තරා පාසලක ගුරුවරයෙක් වශයෙන්. රාජකාරි බැදීම් අත ඇරලා අපි හොද මිතුරන් වුනා. මේ තියෙන්නේ එදා ඔහු මට කියපු කතාව. මේ කතාවේ කවුද හරි, කවුද වැරදි කියලා තීරණය කරන එක කියවන ඔයාලට බාරයි.
(මට ආයෙමත් දවසක නෙට්වර්ක් තියෙන තැනක කම්පියුටර් එකක් ලැබෙන කම් ටික දවසකට ආයුබෝවන් කියන්න සිද්ද වෙනවා. එහෙනම් තව කිලෝමීටර් තුන් හාරදාහකට පස්සේ නැවත හමුවෙමු) 

Sunday, October 9, 2011

සදමලි මාලි 01 කොටස


මාසයක් විතර බ්ලොග් එක පැත්තට එන්න බැරි උනා. මොකද මම වැඩ කරන්නේ කම්පියුටර් තියන ඔෆීස් එකක නෙවෙයි මහපාරේ මෝටර් බයිසිකලයක් උඩ. අදත් කියන්න හදන්නේ ඇත්තම කතාවක්. හැබැයි කතාව ටිකක් දිගයි. සමහර පොස්ට් දෙක තුනක් දාන්න වෙයි. ඒත් මේ නිවාඩුව ඇතුලත ඔක්කොම ලියන්න වෙනවා. මොකද ආයෙත් මට කවදා බ්ලොග් එක පැත්තේ එන්න වෙයිද කියන්න බැරි නිසා.
 සදමලි කියන්නේ මගේ ජිවිතේ මට මුණ ගැහුණු තවත් එක ගැහැනියක් විතරයි. ඒත් මේ ජීවිතේට සිද්ද උන දේවල් සිද්ද උනේ කාගේ වැරද්දකින්ද? වගකිව යුත්තෝ කව්ද? කියන්න මට තේරෙන්නේ නෑ. ඔයාල මේක කියවලාම හිතෙන දෙයක් කියලා යන්න. (නම් ගම් මනකල්පිතයි) 
.................................................................................................................................................................
පාඩම් කර කර හිටපු පොත පැත්තකින් තියලා සදමාලි ඇදේ වතිරුනේ අනාගතේ ගැන බලාපොරොත්තු හීන ගොඩාක් හිතේ හිර කරගන දන්නෙම නැතුව ඇස් දෙක පිය උනත් එක පාරටම ඇහැරුනේ අල්ලපු ගෙදර ගුණපාල මාමා ගේ කෑගැහිල්ලට. "සිරිපාලයෝ ඉක්මනට නැගිටලා වරෙන් හේනට අලි අවිල්ලලු" හුළු ඇත්තකුත් පත්තු කරගන වට ලගට ඇවිත් අප්පච්චිව ඇහරවා ගත්ත ගුණපාල මම ඉක්මනට වරෙන් මම යනවා කියලා ගම දිහාවට දුවගන ගියා.ලාම්පුවට අල්ලලා හුළු අත්තක් පත්තු කරගත්ත අප්පච්චි එලියට බැස්සේ උබල පරිස්සමින් දොර වහගන හිටපල්ලා කියලා අම්මට කියන ගමන්. අප්පච්චි පිටවෙලා යන දිහා ටිකක් වෙලා බලන් හිටපු අම්මා දොර වහල දාල ගේ ඇතුලට ආවේ මේ මල කරදරේ කවදා ඉවර වෙයිද කියලා කියන ගමන්. 
ඇයි අම්මේ ගිය සතියේ ග්‍රාම සංවර්දන සමිතියට ආපු මහත්තුරු  කිව්වලු නේද අලි වැටක් ගහනවා කියලා. එත කොට මේ කරදරේ ඉවර වෙයි. සදමාලි කිව්වේ කුස්සියේ ලිපට ගිනි පෙනෙල්ලක් දාල පිබින අම්ම දිහා බලාගන. ඕව කවදා කෙරෙන වැඩද? හැමදාමත් ඔය මහත්තුරු එනවා මොනවහරි කොලේකලියාගන යනවා. එත් වෙච්ච වැඩක් නම් නෑ. උබටත් ටේ කහට උගුරක් ඕනද? අම්ම ඇහුවේ වතුර පුරවපු කෙතලේ ලිප උඩින් තියන ගමන් දිග හුස්මක් හෙලමින් .
ඩෝ o ............. 
එක පාරටම ඇහුන වෙඩි හඩත් එක්කම ඇහුන කෑගැහිල්ලට සදමාලි අම්මව බදා ගත්තා. කොටි වත් ඇවිල්ලද?  මාලි අම්මගෙන් ඇහුවේ රහසින් වගේ. සදමාලිට මතක් උනේ ගිය මාසේ දවසක ගමට කොටි ගහපු දවස. ගමට කොටි ආවා කියන ආරංචියට අම්මයි අප්පච්චියි එක්ක කැලේ හදාගන තිබුණු බංකරේට රිංගලා පන බයේ ගැහි ගැහි ගුලිවෙලා හිටපු විදිය මතක් වෙනකොටත් තවම පපුව ගැහෙනවා. ඒ තරමට මරණ බය කියන එක සදමාලිට කවදාකවත් දැනිලා නෑ. වෙන්න බෑ. ඔය කව්රුහරි අලින්ට වෙඩි තියන්න ඇති. උබ බය නැතුව ඉදින්. කුසුමාවතී සදමාලිගේ ඔලුව අතගාවේ ආදරෙන්.
කුසුමාවතී අක්කේ............,  කුසුමාවතී අක්කේ..........., එහෙම කෑ ගහගන ගේ දිහාවට දුවගන ආවේ ගුණපාල මාම. ඉක්මනට දොර ඇරපන් අක්කේ කඩුල්ලෙන් පැනලා මිදුලට ඇවිත් ගුණපාල කෑ ගැහුවා. මොකද මල්ලියේ උනේ කවුද වෙඩි තිබ්බේ  කුසුමාවතී එහෙම ඇහුවේ දොර අරින ගමන්. අක්කේ උබ කලබල වෙන්න එපා. සිරිපාල අයියට අලියා ගැහුවා. මොකක් ....... සදමාලිට මතක තිබුනේ එච්චරයි....
........................................................................................................................................................................................................................
අප්පච්ච්ගේ මරණේ කටයුතුයි හත්දවසේ දානේ කටයුතුයි ඉවර වෙන කොට තවත් වියදම් කරන්න කියලා තබ දොයිතුවක් වත් කුසුමාවතී ලග තිබුනේ නෑ. සිරිපාලගේ මරණය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබුණු වන්දි මුදල ටික දවසකට ජීවිතය ගැට ගහගන්න ප්‍රමාණවත් උනත් හැමදාමත් පපුවේ මහන්සියෙන් පිඩා විදපු කුසුමාවතිට රස්සාවක් කරන්න තරම් හයියක් ඉතුරුවෙලා තිබුනේ නෑ. " කෙල්ලේ උබට තවත් ඉස්කෝලේ යන්න ඕනද? කුසුමාවතී සදමාලිගෙන් ඇහුවේ වෙන කරන්නම දෙයක් තිබුනේ නැති නිසා. මේ වෙනකොටත් ගෙදර තත්වය ගැන හොද අවබෝදයකින් හිටපු මාලි තමන්ට රසාවක් හොයාදෙන්න කියලා දන්නා කියන කිහිප දෙනෙකුටම කියලයි තිබුනේ. අල්ලපු ගමේ තිබුණු රාජ්‍ය නොවන සන්විදානයක කාර්යාල සහායිකාවක් විදියට සදමාලිට රස්සාවක් ලැබෙන්නේ ඒ කෙනෙක්ගේ උදවුව මත.
.......................................................................................................................................................................................................................................................
අම්මේ මම දර ටිකක් කඩාගන එන්නම්. සදමලි එහෙම කියාගන එලියට බැස්සේ හැමදාම වැඩ ඇරිලා ඇවිත් කරන මේ රාජකාරියත් ජිවිතේ තවත් එක අංගයක් විතරක් නිසා. ඒත් දර හොයාගන වැඩි  දුරක් යන්න සදමාලිට ලැබුනේ නෑ. ඉස්සරහට මුණගැහුනේ ග්රාමාරක්ෂකයෙක්  විදියට රස්සාව කරපු සුනිල් අයියාව. ඉස්සර ඉස්කෝලේ යන දවස් වල සිද්ද උන සිද්දියක්  සදමාලිගේ මතකෙට ආවේ නිරායාසයෙන්. පාර අයිනේ බංකරයක් ලග හිටපු සුනිල් මුලින්ම තමන්ට කැමතිද කියල මාලිගෙන් ඇහුවේ එදා. අනාගතේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු පොඩි බදාගන ඉස්කෝලේ ගිය මාලි තමන්ට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩුමහල් සුනිල්ගේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ සුනිල්ට හොදටම බැනලා. එදා ඉදන් අද වෙනකම් වචනයක් වත් කතා නොකලත් නිතරම සුනිල් තමන් වටේ කැරකෙමින් හිටපු බව සදමාලිට තෙරිලයි තිබුනේ. 
"ආ නංගි මොකද මේ තනි පංගලමේ කැලේ" මාලි ආයෙත් මේ ලෝකෙට ආවේ සුනිල්ගේ කට හඩට. "දර ටිකක් කඩා ගන්න කියල ආව අයියේ"
එක නෙවෙයි නංගි දැන් තාත්තා නැතිවෙලත් කාලයක් උන එකේ ඔයාලට අමාරුත් ඇති නේද? සුනිල් එහෙම අහගන සදමාලිට ලං වුනා. "මට රස්සාවක් හම්බුනා එක නිසා ප්‍රශ්නයක් නෑ.මට පරක්කු වෙනවා ගිහින් එන්නම් අයියේ" සදමාලි සුනිල්ව මග ඇරලා යන්න හැදුවත් පාර හරස් කරගන හිටපු සුනිල්  මාලිගේ අතින් අල්ලලා තමන් ලගට ඇදලා ගත්තා. අනාගතේ ගැන තවත් හීන දකින්න උවමනාවක් තව දුරටත් මාලිගේ හිතේ ඉතුරුවෙලා තිබුනේ නෑ. නිරන්තර ත්‍රස්තවාදී  තර්ජන වලට මුහුණ දීපු මායිම් ගම්මනෙක අසරණ වෙලා හිටපු මාලිගේ හිතේ ඒ වෙන කොට ඉතුරු වෙලා තිබුනේ අද දවසේ ජිවත් වෙන්නේ කොහොමද කියන බලාපොරොත්තුව විතරයි. " මට රස්සාවක් තියනවා. ඔයා කැමතිනම් අපි හෙටම කසාද බදිමු " සුනිල් කියන දේට කිසිම දෙයක් නොකියා බලාගන හිටපු මාලිගේ අතින් ඇදගන සුනිල් කැලේ ඇතුලටම රිංගුවා.........................................................................................................

මතු සම්බන්දයි
ඊලග කොටසට මෙතනින් යන්න 

Friday, September 16, 2011

අපේ සුහද හමුව

ඇල්පිටිය ආනන්දේ 2001 සාමාන්‍ය පෙළ සහ 2004 උසස් පෙළ සෙට් එකේ වාර්ෂික සුහද හමුව තිබුනේ පහුගිය 11 වෙනිදා පෝය දවසේ. කට්ටියට පොඩි මඩ පාරක් ගහන්න කියල හිතාගන කම්පියුටර් එක ලගට ආවත් කරුමෙට එදාම එකේ හාර්ඩ් එකත්  ගිහිල්ල. වැඩ වැඩි කමටම අද වෙනකම් ඒක හදාගන්න උනෙත් නෑ. එත් අපේ ගීත් සහෝදරයා ලස්සනට ඒක ලියලා තිබුනා.  ඒක මෙතනින් බලන්න  පුළුවන්. අයෙ මොකටද මමත් ලියන්නේ. මේ තියෙන්නේ  සුහද හමුවේ ෆොටෝ ටිකක් 



























(මේ පොටෝ ටිකත් ඉස්සුවේ බුකියෙන්ම තමා. )

Thursday, September 8, 2011

රාමායනය (නිව් වර්ෂන් රී මික්ස් )


මාතෘකාව දැක්ක ගමන්කට්ටියම එකතු වෙලා මට බනින්න පටන් ගන්න එහෙම එපා. මම මේක ලිව්වේ ඉතිහාසය වෙනස් කරන්නවත් කාටවත් අපහාසයක් කරන්න වත් හිතාගන එහෙම නෙවෙයි. මේ මට හිතුනු දේ.රාම කුමාරයාට දෙවියකුට වගේ සලකන අය වගේම ප්‍රබාකරන්ටත් දෙවියකුට වගේ සලකන අය ඕන තරම් මේ රටේ ඉන්නවා. දැන් සිද්ද වෙන වැඩ වල හැටියට  මෙහෙම දෙයක් සිද්ද වෙන්න බැරිද? බනින්න කලින්  කියවලාම බලන්න.
 
රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා 
බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා ...................

 ඕ ලෙවල් වලටවත් සාහිත්‍ය කරපු නැති  මම පොඩ්ඩක් වචන ටිකක් ගැට ගහන්න පුරුදු උනේ මේ බ්ලොග් කෙරුවාව නිසා. කෙලින්ම බනින්න බැරි නම් අනෝ කෙනෙක් විදියට වත් ඇවිත් කුණු හරපෙන් බැනල ගියත් මට කමක් නේ. ( මොකද ඕව මම නොදන්නා දේවල්යැ  ) දැන් එහෙනම් කට්ටියම මට බනින්න පටන් ගන්නකො. 
 

Tuesday, September 6, 2011

හිමි නොවුණු සිහිනයට


ලියපු හැම කවියක්ම,          
ලියවුනේ නුබ නිසා,
දුටුවා හැම සිහිනයේම,
සැරිසැරුවේ නුබ නිසා,
දුරස් වී ගියත් නුබ,
අමතකව නැති නිසා, 
හිදිමි මම හැමදාම ,
බලාගන එන තුරා ,
ලිය වුනත් නුබ ගැනම,
කවි සින්දු ගලපලා,
හැදීනුවද මගේ හිත, 
නුබ ඒවා කියවලා,
හැමදාම ආදරෙන්, 
මගේ සිත පුරවලා,
නුබ ඉන්න හැමදාම, 
මගේ ලග නැවතිලා ......................

Monday, September 5, 2011

රට වටේ ගමන් - කුරුදු ඔය ඇල්ල සොයා 02 කොටස

අපිත් පැත්තට ගියේ මු ඇල්ල හොයාගෙන වත්ද කියලා හිතාගන. ගිහිල්ලා බලන කොට පල්ලෙහා හෙන ප්රපාතයක්. ප්රපාතය පල්ලමේ වලපනේ ටවුන් එක. පාර වරද්ද ගැන අපි ඇවිත් හිටියේ වලපනේ ටවුමට පෙනෙන මහා ගල් පර්වතයේ අන්තිම කොනට. දැන් වෙලාව හයහාමාරට විතර ඇති. මොන දිය ඇලිද තව පැය හතරක විතර කැලේ මැදින් පාරවල් හොයාගන යන්න ඕන ගමනකුත් තියනවා. අපි ආපහු එන්න හැරුනා. ගල් තලාව දිගේ වැඩි දුරක් එන්න උනේ නෑ. මහා හුලගක් හමන්න පටන් ගත්තා. දෙපැත්තම මහා පාතාලයක්.  මදිවට හැන්දෑ අදුර නිසා හරියකට පාර පේන්නෙත් නෑ. හුළගේ සැර වැඩි නිසා කොහාටවත් යා ගන්නත් බෑ. දැනුත් මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලා බලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ටිකකින්  හුලග අඩු උනා. තුන් දෙනාගේ අතේ තිබුණු ෆෝන් වල එළියෙන් අපි බොහොම අමාරුවෙන් පල්ලම් බැහැලා ඔෆිස් එකට එනකොට රෑ දහයට විතර ඇති. 
රන්ජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රන්ජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන සුලන් කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රන්ජි අයියා කිව්වාමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රන්ජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා. 

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.)  මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා.  ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක  අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා. දේවාලය පහු කරලා වමට තියන පාරේ ගියාම පොඩි ලයින් කාමර පේලියක් තියනවා. මහත්තයෝ ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා  එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට ඒ පෙන්නපු පාර දිගේ  අපි ඉදිරියටම ගියා

මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම  ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා. මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොශානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස හය විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.





මෙම ඇල්ලේ උස මීටර් 189 කි මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔය දිය ඇල්ල පෝෂණය කරයි 




මේ පොටෝ ටික ඉස්සුවේ ගුගල් දෙයියගේ පිහිටෙන් නෙට් එක පීරලා. ඒවා උස්සපු සයිට් වල නම් මතක නැති උනත් ඒවායේ නියම අයිතිකාරයෝ හැමෝටම තැන්කු හොදේ.......අම්බලම .......
  

Saturday, September 3, 2011

රට වටේ ගමන් - 01 කුරුදු ඔය ඇල්ල සොයා - 01 කොටස


අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඔක්කොම හිටියේ A /L ඉවර කරපු ගමන් වගේ කොල්ලෝ සෙට් එකක්. ඔහොම යනකොට අපි කරපු කියපු දේවල් වගේම රසබර සිද්දිත් ගොඩයි. මේකත් අපි නටපු එක පිස්සුවක් ගැන කතාවක්.
ඔඩිට් එක තිබුනේ වලපනේ. ඔෆිස් එකට ටවුන් එකේ ඉදලා නුවර එලිය පාරේ ටික දුරක් යන්න ඕනේ. මට මතක හැටියට ඒ  හරියට කියන්නේ මහ ඌව වත්ත වගේ නමක්. ලස්සන පළාත. වැඩේට ගියේ අපි තුන් දෙනයි. අපේ වැඩ හවස 4 වෙනකොට ඉවරයි. අපට නවතින්න තිබුනේ ඒ ඔෆිස් එකේම උඩ තට්ටුවේ. හවස් වරුවට කරන්න වැඩකුත් නැ. ඉතින් අපි සෙට් එකට හවස් වෙනකොට නිකම් කැහිල්ල වගේ. ඉතින් ඔය හරියේ බලන්න වටිනා තැන් එහෙම තියනවාද කියලා අපි හොයලා බැලුවේ මෙච්චර ලස්සන පළාතකටත් ඇවිත් නිකම්ම හවස් වරුව ගෙවලා දාන්න තිබුණු කම්මැලි කම හින්දා. පල්ලෙහාට වෙන්න  ජපන් පන්සලකුයි, ඊට ටිකක් එහාට වෙන්න ලස්සන දිය ඇල්ලකුයි තියනවා කියලා කිව්වේ අපට උයන්න ඇවිත් හිටපු රන්ජි අයියා. ඉතින් අපිත් ගමනට සෙට් උනා. හවස වැඩ ඉවර කරපු ගමන් රන්ජි අයියාව මුණ ගැහිලා පාර අහගන අපි පයින්ම පල්ලම් බැස්සා. තේ වත්තක් මැදින් ටික දුරක් යනකොට අපිට අර කියපු ජපන් පන්සල නම් දැක ගන්න ලැබුනා.
මේ තියෙන්නේ පන්සල


හැබැයි පන්සලේ කවුරුවත්ම හිටියේ නැ. හාමුදුරුවෝ වැඩිපුරම ඉන්නේ ශ්‍රී පාදස්ථානයේ තියන ජපන් පන්සලෙලු. අහල පහල තිබුණු ගෙදරකින් දිය අල්ලට යන පාරත් අහගන අපි ගියේ ලංකාවේ තියන දිය අලි අතරින් උසින් දෙවන ස්ථානය ගන්න කුරුදුඔය ඇල්ල හොයාගන. ඔය කාලේ තමයි වලපනේ ප්‍රදේශය දරුණු නාය යාමකට මුහුණ දුන්නේ. ඇල්ලට යන ගමන් මාර්ගයත් දරුණු විදියට නාය ගිහින් තිබුණු නිසා අපිට පාරවල් හොයාගන කැලේ මැදින් තමයි යන්න සිද්ද උනේ. දුෂ්කර ගමන් මාර්ගයකින් යන්න තියන නිසාද කොහෙද මේ ඇල්ල බලන්න සංචාරකයින් නම් එන බවක් පෙනුනේ නැ. අපිත් වැඩේ අත අරින්නේ නැතුව කැලේ පිරගන කන්ද මුදුනටම නැගගෙන ගියා. මෙන්න කැලේ අතර මග දේවාලෙකුත් තියනවා. එකෙත් කවුරුවත් හිටියේ නම් නැ. ඒත් එතන මිනිසුන් ගැවසෙන තැනක් බවට සලකුණු නම් තිබුනා. දේවාලෙටත් පඩුරක් එහම දාලා අපි තවත් කන්ද මුදුනටම නැග්ගා. දැන් අපි ඒ හරියේ තියන උසම කන්දක් උඩ. ඒත් කෝ දිය ඇල්ලක් පේන මානෙක නැ. අඩු ගානේ දිය ඇල්ලක සද්දයක්වත් නැ.දෙපැත්තට අඩි පාරවල් දෙකක් නම් තියනවා. දැන් වෙලාවත් හවස 5.30 විතර ඇති. දැනටමත් කිලෝමීටර් තුන හතරක් ඇවිත්. ඕන දෙයක් කියලා අපි දකුණු පැත්තට තියන පාර දිගේ ඉස්සරහට ගියා. තණකොළ ගොල්ල ඉවර උන ගමන් අඩි පාර ඉවරයි. ඊළගට දිගටම ගල් තලාව. අපි දිගටම ගියා. දැන් නම් ගල් තලාව වටේම තද බැවුම. කකුල පොඩ්ඩක් වත් ලිස්සලා ගියොත් කෑලිත් නැ. මචන් ඉක්මනට වරෙන් හැමෝටම  කලින් ගල් තලාවේ  එහාම කොනට දුවපු රොශානයා කෑ ගහන්න පටන් ගත්තේ ඇදන් හිටපු ටි ෂර්ට් එකත් ගලවලා අත් දෙකින්ම එහාට මෙහාට වනන ගමන් 
මෙන්න ඒ ගල් තලාවෙන් කොටසක් 


 අපට ඇල්ල හමු උනාද? බලමු ඊළගට    

ප. ලි.:  ෆර්ම් යන කාලේ අපට මොන කැමරාද? මේ පොටෝ ටිකයි ඉස්සරහට දාන්න හිතන් ඉන්න ටිකයි ඔක්කොම ඉස්සුවේ ගුගල් දෙයියගේ පිහිටෙන් නෙට් එක පීරලා. ඒවා උස්සපු සයිට් වල නම් මතක නැති උනත් ඒවායේ නියම අයිතිකාරයෝ හැමෝටම තැන්කු හොදේ.......අම්බලම .......

02 කොටසට මෙතනින් යන්න 
  

Friday, September 2, 2011

නනත්තාර අතීතය 04 අවසාන කොටස.


කලින් පිටුවට 
මොනවා කරන්නද? වෙඩින් කාර්ඩ් එක අතට ගත්තේ වැඩා වගේ එයාට සුබ පතලා. හනිමුන් එක ගැන දෙපැත්ත කැපෙන කතාවකුත් කියලා. අපි දෙන්නා මෙච්චර කල් වැඩිපුර කියාගන තිබුනේ එහෙම කතා තමයි.  අන්තිමට වෙඩින් එකටත් ගියා. හොදට බිව්වා, උන් හනිමුන් ගියා අපි බෝඩිමට ආවා. වෙරි මත හිදුනේ පහුවදා උදේ. ඔලුව කැරකෙනවා හොදටම. මම අද උඩම වාඩිවෙලා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්තටම මම මේ නටන්නේ මොන පිස්සුවක්ද? කවදාවත් මට ආදරේ කරපු නැති උන් වෙනුවෙන් මම මගේ ජිවිතේ නාස්ති කරගන්නවා. මට ඒ වෙලාවේ මැවිලා පෙනුනේ අප්පච්චි නැති උන දවසේ ඉදලා මල්ලිවයි මාවයි හදා ගන්න ජිවිතේ ගොඩාක් කැප කිරීම් කරපු අපි ගැන අහස උසට බලාපොරොත්තු තියාගන ඒ බලාපොරොත්තු එක්ක ජිවිතේ ගෙවන අම්මගේ ආදරණිය ඇස් දෙක. මට කවදාවත් ආදරය නොකරපු උන් ගැන බලාපොරොත්තුවෙන් ජිවිතේ කාලකන්නි කරගන්නවාට වඩා හැමදාම ආදරේ කරපු අම්මගේ ආදරේ වෙනුවෙන් මගේ  යුතුකම් ඉටු කරන්න මම ඒ මොහොතේම හිතා ගත්තා. 
මම රෙප් ජොබට ගියේ අනිත් අය වගේ රස්සා හොයාගන්න බැරිකමට වත් වෙන සල්ලි අමාරුවක් හින්දාවත් නෙවෙයි. පොඩි කාලේ ඉදලම මම වැඩි කතා බහක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කොල්ලෙක්. සමාජයත් එක්ක මගේ කිසිම සම්බන්ද කමක් තිබුනේ නෑ. මගේ ආදරේ මම නැති කර ගත්තෙත් ඒ දුර්වල කම නිසා කියලා මම තේරුම් අරනුයි හිටියේ. සමාජයත් එක්ක ගැවසෙන්න, මිනිසුන්ව අදුන ගන්න හොදම ජොබ් එක විදියට සේල්ස් රෙප් කෙනෙක් වෙන එක කියලා මට දැනුනු නිසා.    
මේ වෙනකොට මේ කොම්පැනියේ රෙප් ජොබ් එක එපා වෙලයි තිබුනේ.අපේ ඩීලර්ට කම්පනියත් එක්ක තිබුණු පරණ තරහ මරහ වල් වගයකුත් කම්පැනි රෙප් කෙනෙක් උන මගේ පිටින් යවන්න ප්ලනක් යනවා කියලත් ඔය අතරේ මට ආරංචි උනා. කට්ටියගෙම හොද හිත ආරක්ෂා කරගන්න නම් කරන්න ඕනේ මෙතනින් අයින් වෙන එක. දෙවැනි පාරත් අස්වීමේ ලිපියක් ලියලා ලියාපදිංචි තැපෑලෙන්ම යැව්වා. ඒ පාර නම් ඒක පිළිගත්තා. තව මාසයකින් ඒ රෙප් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ආවා. 
කාලය ගත වෙලා ගියා මම දැන් ඉන්නේ කොතන උනත් තනිකම පිරුණු මේ වර්තමානයට මම ආදරෙයි  නන්නත්තාර අතීතය කියලා මට මේක ලියන්න හිතුනේ ඔයා මුහුණු පොතේ තිබුණු ඔයාගේ පොටෝ එකක් දැකලා, ඔයා ඔයාගේ මහත්තයාගේ අතේ එල්ලිලා සතුටින් හිනා වේවි මුහුණු පොතේ ඉදන් මා දිහා බලා හිටියා. මම හැමදාමත් ආදරේ කරපු ඒ හිනාව. මම හැමදාමත් පැතුවේ ඔයා හැමදාමත් හිනාවෙලා ඉන්නවා දකින එක. දැන් ඔයා අනුන්ගේ උනත් හැමදාම සතුටින් සුවෙන් ඉන්න කියලා. ඔයාගේ පොටෝ එක දැක්කාම එක පාරටම ඒ අතීතය මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. කොච්චර වල දාලා තියන්න හැදුවත් අමතක කරන්න හැදුවත් ඒ අතීතය හැමදාමත් මා එක්කම ඉදිවී.
සතුටට වඩා කදුල මාර්කට් කරන්න පුළුවන් බව මම දන්නේ අත්දැකීමෙන්. ඒත් ආයෙමත් කවදාවත් මේ අම්බලමේ මගේ දුක කියන පොස්ට් එකක් දාන්න මගේ අදහසක් නෑ. මම ජිවත් උන මේ අවුරුදු  26 තුලදී   මම දැකපු අත්දැකපු මේ සමාජයෙන් ඉගනගත්ත ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරියේදී අම්බලමේදී මෙච්චර කාලයක්  මට කියාගන්න බැරිඋන ඒ හැමදෙයක්ම ඔයාලට කියන්නයි මගේ  බලාපොරොත්තුව . එහෙනම් ඊලග පොස්ට් එකෙන් අලුත් කතාවක් එක්කම හමුවෙමු.

Wednesday, August 31, 2011

මෝඩ බුරුවා


ඉස්සුවේ මට ආපු email එකකින් 

Sunday, August 28, 2011

නන්නත්තාර අතීතය 03

කලින් පිටුවට   
අයියා කියපු එක වචනයක්වත් ඇහුනේ නැ මට. අවුරුදු ගානක් තිස්සේ  ඔයා ගැන මගේ හිතේ ගොඩ නගපු අහස මාලිගා ඔක්කොම මගේ පය පාමුල කඩා වැටිලා. මගේ ඊලග මාසෙම ඉවරයි. මාසේ ටර්ගට් එකෙන් කරලා තිබුනේ  40%. මට ජොබ් එකත් එපා උනා. අස් වීමේ ලියුමත් ලියාගන මම කම්පැනි ගියා. මොකක්ද අස් වෙන්න හේතුව. මම බොරුවක් කිව්වා. එත් බොසා ඒක පිළිගත්තේ නැ, ඔයා මේ මාසේ ටාර්ගට් එක ප්රශ්නයක් කර ගන්න එපා.  දිගටම ජොබ් එක කරන් යන්න. පැය දෙක තුනක දේශනයකින් පස්සේ ඉහල කළමනාකරණයෙන් ආයෙත් මාව  ජොබ් එකටම එව්වා. 
ඕන මගුලක් වෙද්දෙන් මම මගේ ගමන යනවා.. ඊට පස්සේ  මම දවල් රැ දෙකේම ටාගට් පස්සේ දිව්වේ ඔයාව අමතක කරන්න. වෙනදා කොන්ෆරන්ස් එකෙන් පස්සේ හවස කොල්ලෝ ටික සෙට් වෙනකොට බියර් උගුරක් වත් නොබී බයිට් ඒක කාලා  කොකාකෝලා වලින් සැනසුන මම හොද බේබද්දෙක් උනේ දවස් කිහිපයකින්. 
සීසන් එකේ අපේ ටීම් මිටින් තිබුනේ පේරාදෙණිය, පොල්ගහවෙල වගේ තැන වල ඒවා ඉවර කරලා නැති වෙන්න ගහලා රැ 1 2 විතර බෝඩිමට ඇවිල්ලා හොද ළමයා වගේ නිදාගන්නත් මම පුරුදු උනා. ඉදලා හිටලා නිවාඩුවක් ලැබුනත් ගෙදර ඇවිත් දවසක් දෙකක් ඉදලා යන්නවත් මට වෙලාවක් තිබුනේ නැ. ඉද හිට දවසක මහා රැ ගෙදර ඇවිත් පහුවදා පාන්දර ආයෙත් මම වැඩට ගියා.  
මගේ ඊලග ආදරයට මුලපුරන්නේ ඔය අතරේදී . එයා වැඩ කලේ මම පොත් විකුනන්න යන කඩයක. එයාගෙයි ඔයාගෙයි තිබුණු මොකක්දෝ සමාන කමක් හින්දා මගේ හිතේ එයා ගැනත් අමුතු අදහසක් ඇතිවෙලා තිබුනා. ඊට පස්සේ මගේ රූට් එක කොහේ තිබුනත් හැමදාම ඒක ඉවර උනේ එයා වැඩ කරපු කඩේ ලගින්. සමහර දවසට හවස කඩේ ලග බැහැලා වාහනේ යවලා මම එයා එක්ක බස් එකේ යන්න පටන් ගත්තා. මම එයාටත් එක්ක ටිකට් එහෙම ගන්න නිසා එයත් පැනලා එනවා එක පාරක් ආදරේ කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත මට ආයෙත් පාරක් වගේ ආදරේ කරන්න ඕන උනේ නැ. ඇත්තටම එයා ගැන මගේ හිතේ තිබුනේ මොනවාගේ හැගීමක්ද කියලා අදටත් මට තේරෙන්නේ නැ. මොන හැගීමක් උනත් ඒක වල් හැගීමක් නම් නෙවෙයි. (මට කෙල්ලොන්ගෙන් එහෙම දේවල් කරගන්න උවමනාවක් තිබුනානම් ඒකටත් ගොඩක් චාන්ස් තිබුනා ඒක සේල්ස් ෆීල්ඩ් එකේ හැටියක් ) එත් මට උවමනා වෙලා තිබුනේ කාගේන්ම හරි ආදරණිය ලෙන්ගතු කමක්. මට තවමත් ජිවිතේ ලැබුනේ නැත්තෙත් ඒක. අපි ගොඩක් දේවල් කතා කළා. හිනා උනා. එයාවත් මට ආදරේ කරයි කියලා බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනත් ඒක එයාට කියන්න මගේ හිත ඉඩ දුන්නේ නැ. ඒක දවසක් මම එයාව හමුවෙන්න ගියා. එයාගේ අතේ ලියුම් කවර මිටියක්. මේ මාසේ 26 වෙනිදා මගේ වෙඩින් ඒක මෙන්න කාඩ් ඒක එයා මට කවරයක් දික් කළා. 2 වෙනි ලවෙත් අවසානය  ඉතින් ඊට පස්සේ..............................


ඊලග කොටසට