පස් අදින සෙට් එක

Sunday, December 30, 2012

ගණිකාවෝද මනුෂ්‍යයෝය 2 (අවසානයක් නොවේ)..18+

කලින් කතාවට

මම කතාව පටන් ගන්නම් රට ගියපු තැන ඉදලා

පොඩි කාලේ විස්තර වලින්ම පටන් ගන්න බැරිද

ඒවා වැඩක් නැහැ මෙතනින් තමයි මගේ කතාව පටන් ගන්නේ

හ්ම්ම් කියන්නකෝ ඔයා කැමති තැනක ඉදන් මම අහගෙන ඉන්නම් . කොහෙද රට

සවුදි

ඉතින්

එහෙට ගිහින් වැඩි කාලයක් මට ඉන්න ලැබුනේ නැහැ. මම කරපු වැරද්දක් මාට්ටු වෙලා මට එහෙදී හිරේ යන්න සිද්ද උනා. දඩුවම අවුරුදු දෙකක්

ඒ මොනවා කරන්න ගිහින්ද? ඔය දැන් කරන ජොබ් එකමද?

නැහැ ඒක අහන්න එපා

හරි හරි ඔයා කතාව කියන්න කෝ

එයාලා මාව මුලින්ම ගෙනිහින් දැම්මේ පොලව යට තිබුණු අදුරු කාමරේකට. දරාගන්න බැරි තරමට රස්නෙයි. හුලන් පොදක් වදින්නේ නැහැ ආසාවකට. ඒක භාරව හිටියේ සුද්දෙකුයි මුස්ලිම් එකෙකුයි.

ඉතින්

මාව එතනට ගෙනල්ලා පැයක් දෙකක් ඇතුලත අර මුස්ලිම් මිනිහා මාව හොයාගෙන ආවා. ඌ මාව එක්කගෙන ගියා අර සුද්දා ගාවට. ඌ ඉංග්‍රීසියෙන් මොන මොනවද වගයක් ඇහුවා. මට ඉතින් ඉංග්‍රීසි බැහැ නේ. ඒ නිසා ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නැහැ. අන්තිමට අර මුස්ලිම් කාරයා මට ඌ කියපු ටික පැහැදිලි කරලා දුන්නා

මොනවද කියලා තියෙන්නේ

ඌ මුලින්ම අහලා තියෙන්නේ මම තවම වර්ජින්ද කියලා. අනික මගේ දඩුවම අඩු කරගන්න එයාල කියන ඕන දෙයක් කරන්න මම කැමතිද කියලා. ඒ වෙනකොට මට අවුරුදු 18 යි. මොන දේ කලත් ඒ වෙනකොටත් මම වර්ජින්. ඒ හිටපු ටිකට මට ඒ හිටපු අපායේ ඉන්න එක එපා වෙලා හිටියේ. ඒ අපායේ ඉන්න කාලය අඩු කරගන්න කරන්න බැරි දෙයක් මට තිබ්බේ නැහැ. මම කිව්වා දඩුවම අඩු කරනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමතියි කියලා.
උන් දෙන්නම මාව විනාස කළා. ඒ විතරක් නෙවෙයි මුළු බන්දනාගාරේම ඉන්න හැම එකාවම සනසන්නත් මට සිද්ද උනා

ඉතින් දඩුවම අඩු උනාද?

මොන පිස්සුද? ඒක උන්ගේ බොරුවක්. උන් මට දීපු දඩුවම් ගැන මට ඔයාට කියන්න බැහැ.

මෙච්චර කතාවක් කිව්ව එකේ ඒ ටිකත් කියන්න මම අහගෙන ඉන්නම්

 පිළිගන්නවාද මුළු බන්ධනාගාරේම ටොයිලට් ටික දිවෙන් සුද්ද කරන්න උනා කිව්වොත්

මොකක් ඔයා දිවෙන් ටොයිලට් සුද්ද කළා??

හ්ම්ම්, ඒ ගිනි ගහන අව්වේ කස පාර කනවට වඩා දිවෙන් ටොයිලට් සුද්ද කරන එක ලේසියි. මම ඒක කළා. මම එහෙම කරන හැටි උන් වීඩියෝ කළා..

ඇති ඇති ඒ කතාව ඔය හොදටම ඇති, කොහොමද ඔයා ලංකාවට ආවේ එතකොට

ඒ අවුරුදු දෙකම ගෙවිලා ගියේ ඒ විදියට. පස්සේ උන් මාව ලංකාවට එව්වා. අතේ සතයක් නැහැ මම මෙහෙ ඇවිල්ලා රස්සාවල් හෙව්වා. හම්බ උනේ නැහැ. පස්සේ දවසක් පත්තරේක දැක්කා මසාජ් ක්ලින්ක් එකකට ගැහැණු ළමයි ගන්නවා කියලා. මම ගියා. එයාල මාව ගත්තා

ඉතින්

ටික දවසකින් එයාල කිව්වා මෙතන මසාජ් වලට අමතරව සෙක්ස් පැත්තත් තියෙනවා කියලා මට තව මොනවා නැති වෙන්නද? මම කැමති උනා

තවමත් එතනද වැඩ

නැහැ මම දැන් කාගේවත් ලග වැඩ කරන්නේ නැහැ. සැප ඉල්ලන පිරිමි අපිව හොයාගෙන එනවා. අපි සර්විස් එක දෙනවා

තනියෙන් ඔහොම ඔය වැඩේ කරන කොට පොලිසියට එහෙම මාට්ටු වෙන්නේ නැද්ද?

ඔය වැඩේ කලාම හිරේ දාල ඉතුරු වැඩ කරන්නේ සවුදියේ. මෙහෙ පොලිසියේ එකාට ඕනේ එක්කෝ සල්ලි, නැත්තම් ෆ්‍රී ෂොට් එකක්. නිතිය පිටින් දාලා මුන් එක්කෝ ආතල් එක ගන්නවා. නැත්තම් සල්ලි ගන්නවා.

ඒක ඉතින් කොහෙත් එහෙම තමයි නේ. බලය තියෙනවානම් ඕන දෙයක් කරන්න පුළුවන්.

බලය ..
ඔයා දන්නවාද මෙහෙ හිටපු එක ඇමති කෙනෙකුගේ පුතෙක් කාලෙකට කලින් මාව හොයාගෙන ආවා. මිනිහා ඒ කාලෙත් ගෑනුන්ගෙන් සැප ගන්න මාර ආසයි. තාමත් එහෙමයි. දැන් එයා චන්දෙන් දිනලා. එයාට දීලා තියෙන්නේ කාන්තා කටයුතු ඇමතිකමක් ලු

ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ

ඔව් ඉතින් බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි

ඔයාට ඉතින් හැමදාමත් එක එක මිනිස්සු එක්ක ඔය විදියට ඉදලා එපා වෙන්නේ නැද්ද?

මමත් ඉස්කෝලේ යන කාලේදී නම් හීනෙන්වත් හිතුවේ නැහැ මගේ අනාගතේ මෙහෙම ගෙවිලා යයි කියලා. ඒත් දැන් මගේ රස්සාව මේක. මම මේකට කැමතියි. මේවා කරන එකෙන් මටත් සතුටක් ලැබෙනවා. අපි එක්ක ඉන්න කෙනත් සැපක් ගන්නවා. කවුරු මොනවා කිව්වත් රස්සාවට කැමැත්තක් නැත්තම් ඒ රස්සාව කෙනෙකුට කාලයක් කරගෙන ඉන්න බැහැ. මගේ රස්සාවට මම ආදරෙයි. මම පුළුවන් කාලයක් මේක කරනවා.

ඉතින් අර ඔයාගේ කාන්තා කටයුතු ඇමතිට කියලා ඕක නීතිගත කර ගන්නවාකෝ

ඇත්තටම එහෙම දෙයක් වෙනවා නම් මම ගොඩාක් කැමතියි. මොකද අපි මේ රස්සාව කලාට ඔය ලෝකෙට හොරෙන් අපි එක්ක ඉන්න මහත්තුරුම අපේ ළමයින්ට කතා කරන්නේ ' !@#@ ගේ පුතාල කියලා. මේ රස්සාව කරන්නේ අපි. එත් බැනුම් අහන්නේ කිසි වරදක් නොකරපු අහිංසක දරු පැටවූ.

හ්ම්ම්, ඒක ඇත්ත. දැන් ඔයාට හැමදාමත් මේක කරන්න බැහැ නේ. ඊට පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ 


ඊට පස්සෙද? ඊට පස්සේ කරන්නේ ඉතින් පුළුවන් කාලේදී හම්බ කරගත්ත ඒවා වියදම් කරන එකනේ 

ඔයා සල්ලි මොකද ඊළගට කරන්නේ මොනවද කියල ඇහුවාම මතක් උනේ. මම අද ළමයෙක් වඩාගෙන ආව හිගන ගෑනු මනුස්සයෙකුට රු 1000 ක් දුන්නා. ඒ ළමයාගේ මුණ දැක්කාම මට පවු කියලා හිතුනා හලෝ.

ඔව් ඉතින් හැමදාමත් හම්බ කරලම මොකටද? හම්බ කරපු ඒවා වියදම් කරන්නත් ඕන නේ 

ඔයා දන්නවද වැඩක්

ඔයා කිව්වේ නැහැ නේ ඉතින් දැනගන්න

ගිය සතියේ මට අපේ ඉස්කෝලේ අපිට උගන්නපු සර් කෙනෙක් හම්බ උනා

ඉතින්

එයා මාත් එක්ක කතා කළා. දැන් මොනවද කරන්නේ ඇහුවා. මම ඇත්තම කිව්වා සර්ට. සර් මම ඉන්න තැනත් අහගත්තා.

ඉතින්

මට ෂුවර් අනිවාර්යයෙන් සර් මාව හොයාගෙන එනවා.

....................................................................................................................................................................

හායි

ඔන්න මම ඔයාගේ කතාව ලියන්න පටන් ගත්තා.

කෝ කොහෙද?

මගේ බ්ලොග් එකේ 

කෝ මටත් පෙන්නන්න 

මෙන්න ලින්ක් එක 

හ්ම්ම් ඔයා නියමෙට ඒ කතාව ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියලා මටත් පෙන්නන්න

මම ලියලා ලින්ක් එක එවන්නම් 

ඔයා දන්නවද වැඩක් 

මම එදා කිව්වේ අර සර් 

ඉතින් එයා මාව හොයාගෙන ආවා අද. මම එදා කිව්වා නේ සර් එනවම තමයි කියලා.

ඉතින්

එයා මට කාලෙකට ඉස්සර උගන්නපු සර්. මට තවමත් හරි පුදුමයි ,  ඒ වගේ ගොඩක් ඉගනගත්ත කෙනෙක්, ඒ වගේම කාලෙකට කලින් මට උගන්නපු මගේම සර් එක්ක මට අද එහෙම එකට ඉන්න ලැබුනා කියන්නේ මට තවමත් හීනයක් වගෙයි....................
 
...............................................................................................................................................................

මේක කලින් පොස්ට් එක කියවගෙන යද්දී ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනු විදියේ පිරිමියාගේ අසාධාරණයට ලක්වූ කාන්තාවකගේ ශෝකාලාපයක් නොවෙන්න පුළුවන්. තව අතකින් හැම පැත්තකින්ම එහෙම අසාධාරණයට ලක්වුනු කාන්තාවක් ගැන වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් පොස්ට් එක දවස් ගානක් තිස්සේ ටික ටික කියපු ලොකු කතාවක් බොහොම සරලව ලියන්න ගත්තු උත්සාහයක් පමණයි. එකිනෙකා ප්‍රශ්නය දිහා බලන විදිය අනුව විවිධ අදහස් ලැබෙයි. මේ කතාව පිලිබදවත් තීරණය කියවන ඔබ සැමට භාරයි .....


Friday, December 28, 2012

ගණිකාවෝද මනුෂ්‍යයෝය .......

හායි කොහොමද ඉතින්

හොදින් ඉන්නවා

බරටම වැඩ වගේ

එහෙමටම වැඩක් නැහැ ඇයි එහෙම අහන්නේ?

වැඩි කතා බහක් නැහැ නේ 

ඉතින් කියන්න මොනවද වෙන්න ඕනේ

ඔයාට මොනවද ඕනේ. කැමති දෙයක් තියෙනවා අපි ලග 

මොනවද තියෙනවා කිව්වේ 

බලන්න මගේ ප්‍රොෆයිල් එක



හ්ම්ම් 

මොනවද තියෙන සර්විස්

ඔයිල් මසාජ්, ක්‍රිම් මසාජ් 

තව

සෙක්ස් ඕන නම් ඒවත් 

හ්ම්ම් 

කොහොමද ඕක වෙන්නේ 

කැමති තැනක් කියන්න මම එන්නම් වැඩි ගානක් නැහැ පැයට 1000 යි.

.
.
.
.
හායි

හලෝ කොහොමද

දැක්කම හායි කියනවා. ඔයාලට ඉතින් අපිව මතක නැහැ නේ 

එහෙම අමතක වෙනවද ඔයාව

ඒක නෙවෙයි, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

අහන්න 

පිරිමි ඇයි @#@ මේ තරම් කැමති

ඔයාල වගේ අයත් ජිවත් වෙන්න ඕන නිසා 

ඒ කිව්වේ 

පිරිමි ඔයාලට #@#2 නැත්තම් කොහොමද ඔයාල ජිවත් වෙන්නේ 

හ්ම්ම් එකත් ඇත්ත තමයී
.
.
.
.
හායි

මොකද අද පෝය දවසෙත් නිවාඩුවක් නැද්ද

නැහැ අද තමයි ගොඩක් වැඩ තිබුනේ. නිවාඩු දවසනේ අද 8 දෙනෙක් 
එක්ක ගියා.


මදි නැද්ද 

මදි නම් තමයි. එත් ඇගට අමාරුයි

මේ පෝය දවසෙත් ඕකම කරන්නේ පන්සලකට ගිහින් පිනක් කරගන්නවකෝ අද වත්

පිරිමි කියන්නේ මහා ආත්මාර්ථකාමී ජාතියක්, අපිත් එක්ක කරන්න ඕන ඒවා ඔක්කොම කරලා දැන් කියනවා පන්සල් ගිහින් පින් කරන්නලු, අනේ මගේ කට

උඹලා ඉස්සර පව් කරපු නිසා තමයි අද ඔහොම හැම එකා එක්කම යන්න වෙලා තියෙන්නේ. පිරිමි පින් කරලා තියෙන නිසා තමයි සැප ගන්න කියලා උඹලව අරන් යන්නේ. ඕකෙන් ලබන ආත්මේ හරි ගැලවෙන්න තමයි මම දැන්වත් පින් කරන්න කියලා කිව්වේ

හ්ම්ම් ඔයා හරි, මම මහා පව් කාරියක් තමයි. ඔයා මේකේ මොනවා හරි එකක් ලියනවා නේද? මම මගේ ඇත්තම කතාව කියන්නම් ඔයා ලියන්න. අපිට උන දේවල් තව කෙනෙකුට සිද්ද නොවෙන්න ඔයා මගේ කතාව ලියන්න. ඒක කියවලා එක කෙල්ලෙක් හරි බේරෙනවා නම් ඒක ලොකු දෙයක්....

දින කිහිපයක් තිස්සේ බුකියෙන් පැවසු ඇගේ කතාව ළඟදීම ......   


කවුරු මොන කතාන්තර කිව්වත් 2013 බ්ලොග් කරුවන්ගේ සුහද හමුව ජනවාරි 27 වෙනිදා ගම්පහ මල් වත්තේදී   පැවැත්වීමට සැමා සිරා ඇතුළු ගම්පහ ප්‍රදේශයේ බ්ලොග්කරුවන් දැනටමත් සුදානම්.....






Sunday, December 16, 2012

ඇත්ත කතාවක් සහ තවත් කතාවක්......

තවත් කෙනෙකුට අසාධාරණයක් ඇස් දෙක ඉස්සරහම සිද්ද වෙනකොට එක අසාධාරණයි කියලා දැන දැනම තමන්ට කට වහගෙන ඒක දිහා බලාගෙන ඉන්න සිද්ද වෙනවා කියලා කියන්නේ හිතට මහා අසරණ කමක්  දැනෙන සිද්ධියක්. අසාධාරණ විදියට කෙනෙක් යම් කිසිදෙයක් කරලා යම් මොහොතක ජයග්‍රහණයක් ලබා ගත්තත් ඒ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව කවමදාක හරි එයාගේ පස්සේ එන්නේ එලව එලව. කරුමේ පටිසන් දෙනවා කියලා කියන්නේ ආන්න ඒකට. 

මේ සිද්දිය සිද්ද උනේ රෙපා කාලෙකට කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක සේවය කරන කාලේදී.



ඒ කාලේරෙපා වැඩ කරපු පොත් කම්පනියට ස්කුල් සීසන් එක වෙනුවෙන් ඕඩර් එකක් ගන්න ඒරියා එකේ තිබුණු ප්‍රධාන පොත් හලකට නිතර නිතර යන්න රෙපාට සිද්ද උනා. පොත් හලට අමතරව සුපිරි වෙළද සලක් ඇතුළු ව්‍යාපාර ජාලයකින් යුක්ත වෙච්ච මේ ස්ථානයේ දවල් වරුවට අධික සෙනගක් ගැවසෙන නිසාම සාමාන්යෙන් වැඩ කරන වෙලාවේ ඒ ඕඩර් එක ගැන පොත් හලේ කළමනාකරු එක්ක සාකච්චා කරන්න ලැබුනේ නැහැ. ඒ නිසා දවස් කිහිපයක්ම හවස් වරුවේ වැඩ ඉවර වෙලා යන ගමන් මේ කඩේට ගොඩ වෙලා මැනේජර් එක්ක මේ ඕඩර් එක ගැන කතා කරන්න සිද්ද උනා. ෂොප් එකේ මැනේජර් විදියට වැඩ කලෙත් කොල්ලෙක්. අලුත් අදහස් එක්ක නිතරම හිටපු ඔහු මෙතුවක් කල් සුපිරි වෙළද සලේ උඩු මහලේ තිබුණු පොත් හල පාර අයිනට ගෙනවිත් අලුත් වෙනසකින් ව්‍යාපාරය කරගෙන යන්න කරපු උත්සාහය සාර්ථක බව අපට තේරුනේ ඔහු පැමිණීමට පෙර සීසන් එකේදී වත් නොතිබුණු තරම් පොත් අලවියක් ඔෆ් සීසන් කාලයේදීත් අදාළ ස්ථානයෙන් අපට දැකගන්න ලැබුණු නිසා .මාස හය හතක සුළු කාලයක් ඇතුලත ගනුදෙනු කාරයෙකුට වඩා අපේ හොද මිතුරෙකු බවට පත් වෙන්නත් ඔහුට හැකි උනේ වෙනදා හිටපු කළමනාකරුවන්ට වඩා විශේෂත්වයක් තිබුන නිසා.  

 කාලයක් ගත වෙනවත් එක්කම කතා බහ තුලින් ව්‍යාපාරයේ හිමිකරුවන් ගැන කුමක් හෝ කලකිරුණු ස්වභාවක් දකින්න ලැබුනත් ඒ මොකක්ද කියලා හැගෙව්වේ නැහැ.

සතියක විතර කාලයක් කරපු සාකච්චාවකට පස්සේ ලක්ෂ විසි ගානක් වටිනා ආයතනයේ හිමිකරු අත්සන් කරපු ඕඩර් එක හම්බ උනේ අන්තිම දවසේ රෑ 7 ට විතර.

"මේ ඕඩර් එක දුන්නට මම වැඩි කාලයක් මේකේ ඉන්න එකක් නැහැ බන්"

ඒ මොකද එහෙම කියන්නේ?

උඹල දන්නවනේ මම මේ ෂොප් එක මෙතනට ගෙන්න මම කාපු කට්ට."

"මොකද අපි නොදන්නේ, දැන් මොකක්ද වෙලා තියෙන්නේ"

"දන්නේ නැද්ද බන් මනුස්සයෙකුට වැඩක් හරියට කරගෙන ඉන්න ඉඩ දෙන්නේ නැති උන් ඉන්නවනේ හැම තැනම. පුළුවන් උනොත් මේ සීසන් එක ඉවර කරලා මම යනවා බන්"

"එක නම් ඉතින් කොතනත් එහෙමනේ අයියා, ටිකක් කල්පනා කරලා හොද තීරණයක් ගන්න."

  "මමත් අද ගෙදර යන්න කියලා. අද මගේ පොඩි එකාගේ පලවෙනි උපන් දිනේ. රෑ කියට හරි ගෙදර යන්නම ඕනේ. උඹලා කොහොමත් කඩවත පැත්තට යනවනේ, මාවත් නුවර පාරට ගෙනිහින් බස්සන්න පුලුවන්ද."

"නිකන් යන වාහනේ නේ යමු යමු. මෙච්චර උදව්වක් කරපු මනුස්සයව දාල යන්න පුලුවන්ද?"

"එහෙනම් පොඩ්ඩක් හිටපන් මචන් මම බෑග් එක අරගෙන එන්නම්"

අපි දෙන්නම පොත් හලේ ඉදලා එලියට බැස්සේ එකට

"අද කවදාවත් නැතුව පොඩි බොසා සික්කා එක්ක කුටු කුටු ගාන එක නම් මට අල්ලන්නේ නැහැ මචන්. පොඩ්ඩක් හිටපන්කෝ මම උඩට ගිහින් එනකම්"

ගාඩ් රුම් එක ගාව හිටපු ව්‍යාපාරයේ හිමිකරුගේ පුතාව මට පෙන්නපු මැනේජර් උඩ තට්ටුවට නැග්ගා.

"ආ පොත් මල්ලි, මොකද මේ මහා රෑ. අමිලයා  අපේ ඕඩර් එක දුන්න නේද?"

"ඔව් මහත්තයෝ, ඕඩර් එක නම් හම්බ උනා. කොහොමද ඉතින් මේ දවස් වල බිස්නස්."

"බිස්නස් නම් ගන්න දෙයක් නැහැ මල්ලි ."

ඒ එක්කම පොඩි බොසා ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

"එක්ස්කියුස් මි." 

කියපු පොඩි බොසා ගේ පැත්තට ගියේ ෆෝන් එකත් කනේ ගහගෙන.

මම වාහනේ ලගට එනකොට අමිල බෑග් එකත් අරන් ඇවිත් වාහනේටත් නැගලා ඉවරයි.

"යමු අංකල්"

වාහනේ ස්ටාර්ට් කරනකොටම ගාඩ් රුම් එකේ සිවිල් හිටපු එකෙක් විසිල් පාරක් ගහලා වාහනේ නැවැත්තුවා.

"බොස් කොහෙද යන්නේ. යන දිහාවක බෑග් එක පෙන්නලා යන්න"


"මෙන්න බෑග් එක, ඕන නම් අරන් ගිහින් චෙක් කරලා ගේනවා"

අමිල වාහනේ ඉදගෙනම බෑග් එක එලියට දික් කරා.

"මෙහාට ගේනවා."  
"යකෝ මම මේකේ මැනේජර්, මට බෑග් එක උස්සන්න කියන්න උඹ කවුද?"

අමිලයා බෑග් එකත් අරගෙන එලියට බැස්සේ කුණුහරප දෙක තුනකුත් කියාගෙන.


"මොකා උනත් මට කමක් නැහැ මෙහාට දෙනවා බෑග් එක."

 බෑග් එක උදුරලා ගනිපු සික්කා සුපර් මාර්කට් එක ඉස්සරහම බෑග් එකේ තිබුණු බඩු ඔක්කොම බිමට හැලුවා.


මමත් වාහනේ අන්කලුත් සිද්දිය දිහා බලාගෙන හිටියේ මොනවයින් මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරුව.


සුපර් මාර්කට් එක ඉස්සරහ මහා සෙනගක් බලාගෙන ඉඳිද්දී ඒ ආයතනයේ කලමනාකාරයාටම වෙච්ච තමන්ට සිද්ද වෙච්ච දේට ලජ්ජාවෙන් අමිලගේ මුණ රතු වෙන හැටි මම හොදටම දැක්කා.

" මොන @#@#!$44 ද යකෝ මේ කලේ. "

දරාගන්න බැරි ලජ්ජාවෙන් අමිල සෙනග ඉස්සරහම සික්කට පාරවල් දෙකතුනක් ගහන කොටම එතනට ආව තුන් හතර දෙනෙක්ම අමිලව අරගෙන අයිතිකාරයාගේ ගේ පැත්තට ඇදගෙන ගියේ පාරවල් දෙක තුනකුත් ගහන ගමන්.
හැම දේම සිද්ද වෙන්න මහ වෙලාවක් ගියේ නැහැ.

කඩේ වැඩ කරන සේවකයෙක් මගේ ලගට දුවගෙන ආවා.

"බලන්න සර් අරු කරපු ##@ වැඩේ. සර් ඔක්කොම කතාව දැක්කනේ. ගිහිල්ලා බොස්ට කියන්නකෝ මෙතන සිද්ද වෙච්ච සිද්දිය. අමිල මහත්තයා අහිංසකයි."

සිද්ද වෙච්ච සිද්දියේ අගක් මුලක් හිතා ගන්න බැරුව හිටියත් මමත් වහලා තිබුණු ගේට්ටුව තල්ලු කරගෙන ගෙවල් පැත්තට ගියේ අමිල වෙනුවෙන් මොකක්ම හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.

ගේට්ටුවෙන් ඇතුලට යනකොටම සිකුරුටි කාරයෙක් මාව නැවැත්තුවා.

"මහත්තයා කොහෙද යන්නේ"

"මම යන්නේ බොස්ව හම්බ වෙන්න. මට බොස් එක්ක කතා කරන්න ඕනේ"

කොටි රැලකට අහු උන මුව පැටියෙක් වගේ අසරණ වෙලා අමිල ඉන්න හැටි දැක්කාම මටත් දැනුනේ මහා අසරණ කමක්.

"@#@තෝ අත ඉස්සුව වෙලාවේ අපේ එකා යුනිෆෝම් එකෙන් නෙවෙයි හිටියේ. ඌ එවෙලාවේ යුනිෆෝම් පිටින් හිටිය නම් අපි උඹව පන පිටින් යවන්නේ නැහැ."

සික්කෝ සෙට් එකම එකතු වෙලා කඩේ අයිතිකාරයාගේ පවුලේ අය හැමෝම ඉස්සරහ අමිලව වරදකාරයෙක් කරලා ඉවරයි.

ටිකකට කලින් මා එක්ක කතා කර කර හිටපු පොඩි බොසා මගේ ලඟට ආවා. 

"මහත්තයාගේ ඕඩර් ඔයාගේ එක හම්බ උනා නේ. තව මොකටද බලාගෙන ඉන්නේ. දැන් මහත්තයා යන්න"

"එත් මහත්තයෝ අමිල.."

ඒක අපේ ප්‍රශ්නයක්. මහත්තයට ඒවා අදාළ නැහැ. අපි එක බලාගන්නම්. දැන් මහත්තයා යන්න"

"මහත්තයෝ අපි යමු. තේරෙනවා නේ තත්වේ. තව ටිකක් මෙතන හිටියොත් හම්බ උන ඕඩර් එකත් නැති වෙනවා."

මම මෙච්චර වෙලා දැක්කේ නැති උනාට වාහනේ ඩ්‍රයිවර් අන්කලුත් මා එක්කම ඇවිත්.

"හ්ම්ම් .."

අමිල වෙනුවෙන් කරන්නම දෙයක් නැති කමට මම ඩ්‍රයිවර් අන්කල් එක්ක වාහනේ නවත්තලා තිබ්බ තැනට ආවා. වේගයෙන් ආව පොලිස් ජීප් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙලා වැඩිවෙලා නොගිහින්ම අමිලවත් පිටිපස්සේ ෂිට් එකේ පටවාගෙන වේගයෙන් පොලිසිය දිහාවට යන හැටි අපි දෙන්නම බලාගෙන හිටියා.

............................................................................................................

කාලය ගත උනා අපේ ස්කුල් සීසන් එක ඉවර උනා. අමිල ගැන කිසිම ආරංචියක් අපට හම්බ උනේ නැහැ. එදායින් පස්සේ එයාගේ දුරකථන අංකය වැඩ කලෙත් නැහැ. අමිල පාර අයිනේ පටන් ගත්ත බුක් ෂොප් එක තිබ්බ තැනින් වෙනස් උනා. දීපු පොත් ඕඩර් එකෙන් හරියටම බාගයක් සීසන් එක ඉවර උනාට පස්සේ අපට ආපහු රිටන් ගන්න සිද්ද උනා. බුක් ෂොප් එකේ වෙළඳාම ආයෙත් පරණ තත්වයටම එන හැටි අපි බලාගෙන හිටියා. රිටන් ගත්ත බඩු වලින් අපේ ඒජන්සියට නම් පාඩුවක් උනේ නැහැ. කම්පනියෙන් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ගත්ත බඩු ඔක්කොම සාමාන්‍ය මිලටම අපි විකුණුවා. ටික කාලෙකට පස්සේ මම ඒ කොම්පැනියෙනුත් අයින් උනා. 

අදටත් පරණ පුරුදු නිදිමත විදියටම අදාළ බුක් ෂොප් එක ගම්පහ පැත්තේ අදාළ ටවුන් එකේ මුල්ලක තියෙනවා ..   

එදා අමිලට සිද්ද වෙච්ච දේ දෑසින්ම දැකලත් එයා වෙනුවෙන් වචනයකින් වත් දෙයක් කරගන්න බැරි උන අසරණ හැඟීම මගේ හිතේ අදටත් තියෙනවා. එක හැමදාමත් එහෙමම තියේවි.

 ............................................................................................................

ඒ කතාව ඉවරයි. දැන් ඊලග කතාව.

 ගිය අවුරුද්දේ අපේ බ්ලොගර්ස්ලා සෙට් එක ගාල්ලේ රූමස්සල ගිහින් සුපිරි ෆන් එකක් ගත්තා මතකයි නේ. ඔන්න මේ අවුරුද්දෙත් කට්ටිය ඒ වගේම ෆන් එකක් ගන්න සෙට් වෙන්නයි ලැහැස්තිය.

ඒ කියන්නේ 2013 වසරේ සිංහල බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව.
සැමා, සිරා, ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ බ්ලොගර්ස්ලා සෙට් එක එකතු වෙලා සංවිධානය කරනවා කියලයි ආරංචිය.  

2013 ජනවාරි 27 වෙනිදා විවේකි ඉරිදා දවසේ ගම්පහ මල්වත්ත ක්‍රීඩා පිටියේදී තමයි සෙට් වෙනවා කියලා කියන්නේ. ගාලු ගිහින් කාල නාල ආවට වඩා ෆන් එකක් ගන්න වැඩකටයුතු ගොඩාක් මේ දවස් වල ඒ පැත්තේ වෙනවලු.

එහෙනම් කස්ටියම දැන්ම ඉදන් වැඩ මොකුත් දාගන්නේ නැතුව එදාට සෙට් වෙන්න ලැස්ති වෙන්නකෝ. 

වැඩි විස්තර ඉස්සරහට බ්ලොග් වලින්ම අහන්න දකින්න ලැබෙයි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න.

ගිය අවුරුද්දේ ගාලු ගිහිල්ල ගත්ත ෆන් එක ගැන පොඩි විස්තරයක් එදා රූමස්සල ගියපු නොගියපු හැමෝටම මෙතනින් බලන්න පුළුවන්.

සිංහල බ්ලොග් කලාව එදා ඉදන් අද වෙනකම් ආව ගමන, කරපු කියපු දේවල් ගැන දැනගන්න කැමති නම් ඒ ගැන මෙතනින් දැනගන්න පුළුවන්.

එහෙම නම් අපි ගියා. හැමෝටම ජය වේවා.. 

Wednesday, December 12, 2012

සිංහල බ්ලොග් අවකාශය එදා සිට




සිංහල බ්ලොග් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩ්වියක් සාමාන්‍ය වෙබ් අඩවියකින් වෙනස් වන්නේ බ්ලොග් අඩවිවල පාඨකයින්ට තම අදහස් එහි සටහන් කළ හැකි නිසාය. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනායතනය මගින් සිංහල යුනිකේත ක්‍රමය හදුන්වා දීමත් සමගම 2006 වර්ෂයේදී සිංහල යුනිකෝඩ් ගුගල් සංගමය ඇති කරන ලදී. . ඒ බිහි වීමත් සමගම මෙතුවක් කාලයක් ඉංග්‍රීසි භාෂාවට පමණක් සිමා වී තිබු තොරතුරු තාක්ෂනය සිංහල භාෂාවෙනුත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ විය. සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණය, නැණසල මධ්‍යස්ථාන මගින් සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා සිංහල යුනිකේත භාවිතය අන්තර්ජාල පරිශීලකයන් අතර වර්ධනය වීම වේගවත් විය. එහෙයින් ශ්‍රීලංකාව තුල මෙන්ම විදෙස් ගත සිංහලයන්ද තම මවු භාෂාව උපයෝගී කරගෙන අන්තර්ජාලය තුල තම ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙසේ සිංහල යුනිකේත භාවිතය ජනප්‍රිය වීමත් සමගම අන්තර්ජාලය තුල නොමිලේ ඉඩකඩ ලබාදෙන බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස් වැනි සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීම මගින් ලියවෙන පුද්ගලික බ්ලොග් අඩවි ආරම්භ වීම සිදු විය. පළමුව තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ඇතුලත් බ්ලොග් අඩවි පමණක් දක්නට ලැබුණි. නමුත් කාලයත් සමගම ලියවෙන බ්ලොග් ප්‍රමාණය වැඩි වීමත් සාහිත්‍ය, කළා විනෝදාත්මක, දේශපාලනික ආදී විවිධ අංශ පිළිබඳව ලියවෙන බ්ලොග් අඩවි බිහිවීමත් සිදු විය.

මෙසේ ලියවෙන බ්ලොග් ප්‍රමාණය සියයක් පමණ වන විට පළමුවන සින්ඩිකේටරය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වීය. මුල් කාලින සිංහල බ්ලොග් කරුවන්ට ඇතිවූ ගැටළු බවට පත් වී තිබුනේ සිංහල යුනිකෝඩ් භාවිතය ව්‍යාප්ත කිරීම, සිංහල ජ්‍යාත්‍යන්තර කිරීම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමට බලපෑම් කිරීම, ආදියයි. මෙම ගැටළු විසඳා ගැනීම පිලිබඳ සාකච්චා කිරීම සඳහා බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව සංවිධානය විය. එයට සහභාගී වූ සියලු දෙනාම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පාලන බලතල හිමිකරුවන් බවට පත් වුවද පසු කාලීනව සංගමයේ ඇතිවූ ගැටළු මත ඉන් ඉවත්වූ පිරිස් විසින් ලාංකීය සිතුවිලි, හත් මාළුව වැනි විකල්ප සින්ඩිකේටර බිහිකිරීම මගින් සිංහල බ්ලොග් අවකාශය තුල බෙදීම් ඇතිවීමක් සිදුවිය. 




කලකට පෙර ගුගල් ආයතනය විසින් ලබා දුන් ගුගල් බස් සේවාව හරහා සම්බන්ධ වූ පිරිසක් විසින් 2011 වසරේදී බස් රේඩියෝ නමින් අන්තර්ජාල රේඩියෝ නාලිකාවක් විකාශය ආරම්භ කරණ ලදී. මෙමගින් සිංහල බ්ලොග් ඉතිහාසයේ නව පරිච්චේදයක් ආරම්භ විය. මෙම නාලිකාවේ මුලිකම අරමුණ අන්තර්ජාලයේ සැරිසරන්නන් ගේ විනෝදාස්වාදය උදෙසා ගීත ලබා දීම වුවත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් රචකයන් සහභාගී කරගෙන පැවැත්වූ බස් කතා බස්, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැනි වැඩසටහන් සිංහල බ්ලොග් කරුවන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගන්නා ලදී. http://www.buzzradio.lk/ වෙබ් අඩවිය මගින් ඔබටත් බස් රේඩියෝව හා සම්බන්ධ විය හැකිය. 







ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අභීත එදිරිසිංහ සොයුරා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධවී පැවැත්වූ ප්‍රාදේශීය මිතුරු හවුල් කිහිපයකින් පසු ශක්තිමත් වූ බැඳීමක ප්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේදී ප්‍රථම සයිබරයේ සිහින සැණකෙළිය “සයිබර් සිහින” උළෙල ලොව පුරා පැතිර සිටින සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් හෙන්රි පෙද්‍රිස් උද්‍යානයේදී පවත්වන ලදී. සාමාන්‍ය අවුරුදු උත්සවයකට වඩා වැඩි යමක් එක් කල එදින මෙතුවක් කාලයක් සයිබර් අවකාශයෙන් මුහුණු පොතෙන් පමණක් දැන ඇදුනුම්කම් ඇති කරගත් ලංකාව වටා පමණක් නොව ලොව වටා විසිරුණු පිරිසකගේ සුහද හමුවක් බවට පත් විය. 


 දිලුම් හෙවත් ඉලන්දාරියා



එම සිහින උළෙලේ දී බ්ලොග් මිතුරන්ගේ ප්‍රථම සමාජ සත්කාරය වන සයිබරයේ මිතුරකු වූ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ට සවන් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. සයිබර් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් දිලුම් සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් “දිලුම් වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ විය. නමුත් අවාසනාවන්ත ලෙස දිලුම් සොයුරා අපගෙන් සමු ගන්නා ලදී.  දිලුම් ගේ අභාවයෙන් පසු බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් දිලුම්ගේ තුන් මාසයේ දානය අරමුණු  කොට මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.  ඒ පිළිබඳව තවත් විස්තර මෙතනින්.


මිට අමතරව දිලුම්ගේ ආබාධයට සමාන ආබාදයකින් පෙළුණු “ජෙරුෂා” දියණිය සුවපත් කර ගැනීම සදහා එම අරමුදලේ මුදල් යෙදවූ අතර ඒ සිඟිති දියණිය සුවපත් කර ගැනීමට බ්ලොග් කරුවන්ට හැකියාව ලැබිණි. මේ සද්කාර්යය සදහා ඩුබායි වල වෙසෙන දුකා, දුමී ඇතුළු පිරිස විසින් ලබා දුන් දායකත්වය අගය කල යුතුය.

 ජෙරුෂා දියණිය 2012 සයිබර් සැණකෙළියට සහභාගී වෙමින්

එසේ සුවපත් වූ සයිබරයේ සුරතලිය ජෙරුෂා දැරියගේ සහභාගිත්වයෙන් 2012 වසරේ දී සයිබරයේ දෙවන සිහින උළෙලද 2012 අප්‍රේල් මස 22 වන දින දෙස් විදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 
බ්ලොග් කරුවන්ගේ කඹ ඇදිල්ල



2012 සයිබර් සැණකෙළිය අවසාන වීමෙන් පසු
අප අතරින් සදහටම සමුගත් බ්ලොග් අවකාශය තුල ඔබ්සවර් නමින් අප සැමගේ ආදරය දිනා ගත් “සනත් විජේවර්ධන” හෙවත් “ඔබා මාමා” සහ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ඇතුළු පිරිස සිහිපත් කර ඔව්න්ට පිං පිණිස 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන මගින් "දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!" යන තේමාවෙන් අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබා දීම පසුගියදා එම විද්‍යාලයේදී සිදු විය.



 එම සත්කාර්යය සඳහා සතර දෙස විසිරි පැතිරී සිටින සිංහල බ්ලොග් කලාවට ආදරය කරන, බ්ලොග් අවකාශය සමග රැදී සිටින බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර හිමි විය. වර්ෂයකට වරක් පවත්වන සයිබර් සිහින උළෙලට අමතරව ප්‍රාදේශීය සුහද හමු තුලින් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයකින් බැදුණු ශ්‍රී ලාංකිය බ්ලොග් අවකාශයේ මිතුරන් ගෙන් තවත් වින්දනීය සහ සමාජයීය වැඩ කටයුතු රාශියක් ඉදිරියේදීද සිදු වීමට නියමිතය. වැඩිදුර විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය මගින් ඔබටත් දැනගැනීමට පුළුවන්.

ආශ්‍රිත බ්ලොග් අඩවි
නෙරංජි සුලක්ඛනා - ඉර ඇහැරෙන ඉසව්ව
විශේෂ ස්තුතිය: දිලුම් ගේ දානමය පුන්‍යකර්මය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කල තනොජා රාජපක්ෂ සොහොයුරියට



 

Thursday, November 8, 2012

සයිබර් පොත් මැදුර ඇරඹීමට පෙර

මේක වෙනදා වගේ ලියවෙන සාමාන්‍ය පෝස්ට් එකක් නොවෙන්න පුළුවන්. මොකද මේක ලියන්නේ අපි අලුතින්ම ආරම්භ කරන්න යන අලුත් වැඩක් ගැන ඔයාලට කියන්න. පටන් ගන්න කලින් ඔයාලට මේක ගැන කියන්න හිතුවේ මේ ගැන ඔයාලගේ අදහස් උදහස් ගොඩාක් වටිනා හින්දා. මොකක්ද මේ අලුතින් පටන් ගන්න හදන වැඩේ. ඒ තමයි

සයිබර් පොත් මැදුර 

මොකක්ද ඇත්තටම මේ සයිබර් පොත් මැදුර කියලා කියන්නේ.


බ්ලොග් ලෝකෙට, සයිබර් අවකාශයට පොත් කියන එක නැතුවම බැරි දෙයක්. පහුගිය දවස් වල පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භුමිය තුළත් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් ගොඩ දෙනෙක්ම දකින්න ලැබුනේ සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් පොත පතට දක්වන ලැදියාව නිසාමයි. ඒත් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සයිබර් මිතුරු මිතුරියන්ට පොත් අලවිසැල් වලට ගිහින් තමන්ගේ හිතේ හැටියට පොතක් පතක් තෝරා ගන්නවා කියන එකත් අපහසු කටයුත්තක්.
 

අපි මේ කියන සයිබර් පොත් මැදුර ආරම්භ වෙන්න හදන්නේ අන්න ඒ කාර්ය බහුල සයිබර් මිතුරු මිතුරියන්ට යම් කිසි සහයක් ලබා දෙන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ  බ්ලොග් අවකාශයේ පොත් වලට ආදරය කරන අයට අවශ්‍ය කරන පොත් පත් තමන්ගේ නිවසටම ලබාදෙන වැඩ පිළිවලක්. දැනටත් ශ්‍රී ලංකාවේ මහා පරිමාන ග්‍රන්ථ ප්‍රකාශන ආයතන කිහිපයක් තමන්ගේ වෙබ් අඩවි මගින් මේ සේවාව ලබා දුන්නත් ඔවුන්ගෙන් පොත් මිලදී ගැනීමේදී  පොතේ සදහන් මිලට අමතරව සේවා ගාස්තු සමග තැපැල් ගාස්තුවක්ද අය කරනු ලබනවා. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ එම සේවා ගාස්තු ආදියෙන් තොරව අඩු මිලට ඔබගේ ඔබගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් ඔබ ඇනවුම් කරනු ලබන පොත් ලබා දීමයි.


මිට අමතරව තොග මිලදී ගැනීම් වලදී පොත් සදහා විශේෂ වට්ටම් ලබා දීමටත් අප සුදානම්.

මේ සදහා දැනට විදර්ශන, පදනම, මාස්ටර් ගයිඩ්, ගොඩගේ, වැනි ප්‍රකාශන ආයතන කිහිපයක්ම අප සමග එක්වී සිටිනවා. අදාළ ප්‍රකාශන ආයතනයන්හි ප්‍රකාශනය වන පොත් වල මිල දර්ශනයන් , ඒ ඒ පොත් පිළිබද විස්තර සහ මේ ව්‍යාපෘතිය පිළිබද වැඩි විස්තර ඉදිරියේදී සයිබර් පොත් මැදුර බ්ලොග්  අඩවියේ පල වෙනවා ඇති.


සයිබර් පොත් මැදුර තව නොබෝ දිනකින් බ්ලොග් අවකාශය තුල ආරම්භ විමට සුදානම්. මේ සදහා ඔබගේ අදහස් යෝජනා අපට ඉතාමත් වැදගත්.  එය ආරම්භ විමට පෙර ඔබට ගුණාත්මක සේවයක් සැලසීම සදහා මේ සම්බන්ධයෙන් ඔබගේ යෝජනා චෝදනා සියල්ලම මෙහි කමෙන්ටුවක් ලෙස සටහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.


එහෙනං ලගදීම සයිබර් පොත් මැදුරේදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. ඔබ සැමට ජයෙන් ජය !!! 





Friday, November 2, 2012

ජිවිතේ ......



පියෙකුට දාව මවකට පුතෙක්
ඉපදුනා.....
පොඩි කාලේ 

ඔහුට ඕන උනා
නිදහසේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරන්න
ඒත්
ඔහුට සිද්ද උනා
ඉස්කෝලේ ඇරිලා ඇවිත් ටියුෂන් ක්ලාස්
ගිහින් ඉගනගන්න

ඔහුට ඕන උනා
යාළුවො එක්ක ගමේ ඉස්කෝලෙට යන්න
ශිෂ්‍යත්ව විභාගේ ඉහලින්ම පාස් වෙච්ච නිසා
ඔහුට සිද්ද උනා
ටවුමේ ලොකු ඉස්කෝලෙක ඉගන ගන්න

ඔහුට ඕන උනා
හොද කලාකාරයෙක් වෙන්න
ඒත් දෙමාපියන්ගේ සිහිනය උනේ
ඔහු දොස්තර කෙනෙක් වෙනවා දකින එක නිසා
ඔහුට සිද්ද උනා
විද්‍යා විෂයන් හදාරන්න
දෙමාපියන්ගේ ඕනෑකම නිසාම 

ඔහුට ඕන උනා
දොස්තර කෙනෙක් වෙන්න
හිත තිබුනේ කලාකාරයෙක් වෙන්න නිසා
හරියට පාඩම් නොකරපු නිසා
ඔහුට සිද්ද උනා 
ඒ ලෙවල් විභාගේ 3 පාරම ඇන ගන්න

ඔහුට ඕන උනා
හොද රස්සාවක් කරන්න
රිසාල්ට් ෂිට් එක අප්සට් නිසා 
ඔහුට සිද්ද උනා 
ව්‍යාපාරයක් පටන් ගන්න

ඔහුට ඕන උනා
ගැහැණු ළමයෙකුට ආදරේ කරන්න
ඒත් ඒ ගෑනු ළමයා වෙන කෙනෙකුට ආදරේ කරපු නිසා
ඔහුට සිද්ද උනා
හිත හදාගෙන වෙන අතක් බලාගන්න

ඔහුට  ඕන උනා
තනිකඩව ඉන්න මුළු ජිවිත කාලෙම
දෙමාපියන්ට ඕන උනා මුනුපුරෙක්ගේ මුණ දකින්න
ඉක්මනටම ඒ නිසා
ඔහුට සිද්ද උනා
කසාද බදින්න ඉක්මනටම

ඔහුට ඕන උනා
බිරිදත් දරුවොත් එක්ක සන්තෝෂෙන් ජිවත් වෙන්න
හදිසියේම සිද්ද උණු රිය අනතුරක් නිසා 
ඔහුට සිද්ද උනා
අකාලයේ මිය යන්න ...................:((((((((


හෙට විභාගේ. පොත් බදාගෙන මෙසේ ලග වාඩි වෙලා ඉන්නකොට කොලයක නිකමට කුරුටු ගෑවුණු වචන ටිකක්. එහෙමම ටයිප් කරලා පබ්ලිෂ් කළා. මෙච්චර කාලයක් තිබ්බ කචල් බචල් ඔක්කොම ලබන සතියෙන් ඉවරයි වගේ දැනෙනවා. රෙපා ඉක්මනටම ආයේ එනවා. එහෙනම්  කට්ටියටම ජය වේවා :)))



Thursday, October 25, 2012

කොටු පැනිල්ල

දකුණේ අගනුවර දිස්ත්‍රික්කයේ    කොනක
යුවලක් පෙමින් සිටියයි පෙර       කාලයක
ගැසුවා අකුණු ගසටත් ඒ පැණි          වරක
සොදුරිය ගියා හැරදා ඔහු පිට            ගමක

කාලය ගත උනා කාටත් හොර       රහසින්
සිටියා ඔහුත් හොද රැකියාවක්       කරමින්
සැමදා සිටි නිසා හොද කල්     කිරියාවෙන්
ලැබුනා මාරුවක් ඔහුටත්        රැකියාවෙන්

අවුරුදු කිහිපයට පෙර බිද වැටුණු      පෙම
ඇය සිටිනා සුන්දර ගම් පියසේ       මෙමෙ
දැනගත් දා පටන් ඇයගේ නිවසේ        ඉම
සිතුවා ඇයව හමු වන්නට ඔහුගේ       ලැම

පෑයූ පුන් සදකි ඇය සිටි ඒ              කාලේ
සිටියත් ලබා මවු පදවිය මේ            කාලේ
වෙනසක් නැහැ වෙලා  රුපය ඇගේ බාලේ
තවමත් මැකී නැහැ ඉස්සර බැදී        ආලේ

දෙමහල් නිවස ඇය සිටිනා           මනහරය
පොඩි කඩ පිලක් නිවසේ පැත්තට      බරය
කැෂියර් එකේ ඉන්නා ඇය          මනහරය
දින  කිහිපයක් ඔහු එ පෙදෙසේ  මහ මගය

ස්වාමියා ගෙදර නැත කිසිදා         දහවලට
ඇය පමණයි නිවසේ එ               වෙලාවට
කෙලෙසක හෝ ඇගේ නිවසට    රිංගන්ට
සිහිනම දකියි ගිය දා සිට ඒ              ගමට 

පසු ගිය දිනෙක මහ වැස්සකි ඇද    හැලුනේ
සුපුරුදු පරිදි ඔහු ගේ අසලින්           ඇදුනේ
නවතා වාහනය ඇයගේ ගේ            අයිනේ
හෙමි හෙමිහිට ඔහු ඒ නිවසට           ඇදුනේ

ඇගේ දරුවා වඩා සිටී  නැන්දම්මා
මස්සින ඇවිත් ඇහුවා ඔබ කවුද කියා
ෆෝන් රි ලෝඩ් කිසිවක් නැතිද කියා
ඇසුවා අහිංසක ලෙස ඔහු සිනහ සලා

කාඩ් රී ලෝඩ් නැත අප දැන්       විකුනන්නේ
ෂොප් එක වසා ඇත ඒ බව නොපෙනෙන්නේ
ටියුෂන්  පන්තියකි දැන් මෙහි      පවතින්නේ
මස්සින ඔහුට ඒ විදියට                 පවසන්නේ

කාඩ් එකක් නැත්තම් මට      හදිසියට
බෝඩ් ගහන් ඉන්නේ මොන මගුලටද
කතා නොකර බිම බැලුවට ඵල    වේද
පෙර කාලේ බැදී ආලය       අමතකද?

අයියේ උඹේ සම්පුර්ණ      කැරැට්ටුව
මගේ නෑනා මින් පෙර මට කියා ඇත
කාඩ් රී ලෝඩ් දෙන්නට නැත   නුඹට
පිං සිදු වෙයි පලයන් නුඹ ආ     අතක

මොකක්ද බල උඹ කියනා       කැරැට්ටුව
කියපං බලන්නට මාගේ          කැරැට්ටුව
සිතුනත් දිග අරින්නට ඇගේ    කැරැට්ටුව
ආවලු කිසිත් නොකියම ගැන   කැරැට්ටුව

කේන්තියි ලැජ්ජාවයි සිතේ දරා
ඔහු පිට උනා ඇගේ නිවසින් දුරස් වෙලා
රටේ සිටින උන් කිවත් කවර කථා
යනවා තව දිනක් ඇගේ ආදරය පතා

කොටු පනිනා උන් කවදත් කොටු          පනිති
දන්නෝ දනිති නොම දන්නෝ නොම    දනිති
කමෙන්ටු වලට රිප්ලයි නම් නොම     වැටෙති
එහෙනං රෙපා තව කලකට සමු               ගනිති


දැන් ඉතිං කට්ටියම මේක රෙපාට සිද්ද වෙච්ච එකක් කියලා මඩ ගහන්න පටන් ගනිල්ලා. ආයේ කාලෙකට රෙපා එන්නේ නෑ ඔව්වට උත්තර බදින්න. ඕන එකක් කියපල්ලා මට පාන්ද ඈ. කට්ටියටම ජය වේවා........

Sunday, October 7, 2012

දඹුල්ල වටේ.....

බ්ලොග්  අවකාසෙන් තාවකාලිකව ඈත්වෙලා ගෙවපු සති කිහිපයකට පස්සේ රෙපා ආයෙත් ආවා කිලෝමීටර් නැති චාරිකාවේ ඉතුරු විස්තර ටිකත් අරගෙන තව අලුත්ම වැඩසටහනක ආරම්භයකුත් එක්කම. බ්ලොග් ලෝකයෙන් ඈත් වෙලා හිටපු දවස් වල රෙපාවත් මතක් කරලා පෝස්ට් දාපු සුදු මහත්තයා, දිනෙල්ක, කුරුල්ලා ඇතුළු මුහුණු පොතෙන් ගුගල් වලින් දුක සැප විමසපු සියලුම යහළු යෙහෙලියන්ට රෙපාගේ බොක්කෙන්ම ස්තුතිය :D

පරණ කිලෝමීටර්  නැති චාරිකා

බලංගොඩ සිට කුලියාපිටියට

කුලියාපිටියෙන් දඹුල්ලට


අද  එතන සිට  

.............................................................................................................................................................


පහුවදා උදේ ඇහැරුනේ යන්නේ කොහෙද කියලා කිසිම ප්ලෑන් එකක් නැතුව. මොන දේ කරන්න උනත් අතේ සල්ලි තියෙන්න ඕනේ. උදේ තේ එකයි දානේ වේලයි පන්සලෙන්ම අරගෙන දඹුල්ලේ බැංකුවට ගියේ අදවත් සල්ලි දාලද කියලා බලන්න.සත පහක් වැටිලා නෑ. උදේ පාන්දරම ඔෆිසියේ උන්ගේ දෙමාපියෝ සිහි කරලා ගත්තා කෝල් එකක්. එකෙක්වත් ෆෝන් උස්සන්නෙත් නෑ. කට්ටියම දන්නවා මොකටද මේ පාන්දරම අමතන්නේ කියලා. සල්ලිත් නැති නිසා කැලුම් අයියට කතා කළා.බැංකුවක් ගාවට ගිය ගමන් කියක් හරි දාල කෝල් කරන්නම් කියලා කැලුම් අයියා කිව්ව නිසා ආයේ වැඩ පටන් ගත්තා. එදා දවසේ කැකිරාව කලාවැව පාරෙන් දේවහුව හරහා ගලේවෙල ටවුන් එකට එනකොට දවස් දෙක තුනකට හරියන ෆෝම් ගානක සිල් ගහලා. වෙලාවත් තිබ්බ ඒකෙ මැල්සිරිපුර පැත්තට යන්න කල්පනා කරලා කුරුනෑගල පැත්තට හැරෙව්වා. වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ.

"කර කරාස්" සද්දෙත් එක්ක බයික් එක නතර උනා. බැහැලා බලනකොට බයිසිකලේ චෙන් එක කැඩිලා එල්ලෙනවා. අහල පහල මොකෙක්වත් නෑ. පාලුම පාලු ඒරියා එකක්. දැන් බයික් එක කැඩුන එක ඔෆිස් එකට නොකියා හිටියොත් බයික් එක හැදුවට ක්ලෙම් එක වත් ගන්න හම්බ වෙන්නේ නැති බව දන්නා නිසාම එතනම ඉදන් කෝල් කළා. වාහනෙකින් ඇදගෙන ගිහින් චෙන් එක හදව ගන්න පර්මිෂන් හම්බ උනා. ටික වෙලාවක් එතන බලා ඉදලා ආව ලෑන්ඩ්මාස්ටරේක බයික් ඒකත් පටවාගෙන බයික් එක ගරාජ් එකට දාලා ප්‍රදීප්ව බයික් එක ලග තියලා මං ගලේවෙල බැංකුවට ආවේ සල්ලි කියක් හරි අරගෙන යන්න. මොනවා කරන්නද තිබුනේ කැලුම් අයියා එවලා තිබ්බ රු 1000 ක් විතරයි. කෝල් කලාට ෆෝන් එක ඉස්සුවෙත් නැති නිසා එතනම ඉදගෙන නුවන් ලොක්කට මැසේජ් එකක් ගහලා තියලා සල්ලිත් අරන් ගරාජ් එකට ආවා.

ගරාජ් ඒකෙන් බයික් ඒකෙ හදනවා  නම් හදන්න ඒකෙ තියෙන දේවල් ගැන ලොකු දේශනයක්. ඕන එකක් වෙද්දෙන්කියලා චෙන් එක විතරක් දාගෙන පන්සලට ආවා. ටික වෙලාවකින් නුවන්ගෙන් කෝල් එකක් සල්ලි දැම්මා කියලා.බයික් ඒකෙ තත්වය ගැන ඒ වෙලාවේ නුවන්ට කියලා දැම්මේ අබලන් බයික් එකක් තියාගෙන රට වටේ ඇවිදින්න ගිහින් කන්න වෙන පරිප්පුව දන්නා නිසා. නුවන්ගේ උත්තරේ එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් මරාගන්න වැඩක්. ඒ තමයි  ප්‍රදීප්ට බස් එකේ හරි ගිහින් වැඩ කරන්න කියලා මට ඊලග දවසේ  කොළඹ එන්න කියන එක. එනකොට කුරුනෑගල ඉන්න අසංකගෙයි කෑගල්ලේ ඉන්න කැලුම්ගෙයි ෆෝම් සෙට් එකත් අරගෙනම එන්නලු. කුරුනෑගල ටික නම් එන පාරේ නිසා ගන්න පුළුවන්. ඒත් දැන් පලකො අබලන් බයික් ඒකෙන් කෑගල්ලේත්.

පහුවදා පාන්දරම මං කොළඹ එන්න පිටත් උනා. ඉස්සරහටත් දවස් දෙක තුනක වැඩ කරගෙන තිබ්බ නිසා ප්‍රදීප් ගොරව ගොරවා නිදි. කොච්චර උදෙන් ආවත් කුරුනෑගලින් අසංකයා ඉන්න තැන හොයාගෙන කැලුම් අයියාවත් පොල්ගහවෙලට ගෙන්නලා ෆෝම් ටික අරගෙන ඔෆිස් එකට එනකොට දෙකට විතර ඇති.

ෆෝම් ටික නුවන්ට භාර දීලා බයික් එක මාරු කරගෙන ඊලග දවස් වලට අපිටයි අසංකලාටයි පුරවන්න ෆෝම් සෙට් මිටියකුත් අරගෙන  අනිත් උන් වැඩ ඇරෙන වෙලාවට අයෙමත් දඹුල්ල බලා එන්න පිටත් උනා. කුරුනෑගල අසංකලාගේ නවාතැනටත් ගිහින් දඹුල්ලට එනකොට රෑ නවයත් පහු වෙලා. හාමුදුරුවන්ගෙන් දඹුල්ල මාතලේ පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් ගැන එහෙම අහගෙන එදා රෑ නිදාගත්තේ ඊලග දවසේවත් හොද පිස්සුවක් කෙලිනවා කියන බලාපොරොත්තුවෙන්.



පහු  වෙනිදාඋදේ දානේ පන්සලෙන් වලදලා පාන්දරම දඹුල්ලේ මහා පන්සල වැඳපුදා ගෙනම වැඩ පටන් ගත්තා. ප්‍රදීප් ජීවිතේටම දඹුල්ල පන්සල වදින්න ඇවිල්ලා තිබ්බේ එදා. මොක උනත් ඌට දඹුල්ල වන්දපු පිනම ඇති. එදා දවසටත් එක්කම මුලින්ම දවසේ වැඩ කරලා තිබ්බ නිසා දවසෙම පිස්සු කෙලින එකයි අපේ එකම බලාපොරොත්තුව උනේ. ඒ නිසාම වැඩි කලබලයක් නැතුව ගියේ කණ්ඩලම වැව බලන්න. දඹුල්ල පැත්තට හොදටම වහින කාලයක් නිසා වැවේ වතුර පිරිලා . වැව් තාවුල්ල දිගේම ඉස්සරහට ගියේ මේ පැත්තෙන් සිගිරිය පැත්තට යන්න පුළුවන් කියලා පන්සලේ හාමුදුරුවෝ කලින්ම කියපු නිසා. මෙලෝ මනුස්සයෙක් නැති පාලු පාරක් දිගේ අපි ඉස්සරහටම ගියා. සිගිරියක් තියා මොනවත්ම නෑ පලාතක. අන්තිමට ඇව්ල්ලා වැටුනේ කඩ මන්ඩියකට. එතන මිනිස්සුන්ගෙන් ඇහුවාම සීගිරියට යන පාර පහු කරගෙන අපි ගොඩාක් දුර ඇවිල්ලා කියලයි දැනගන්න ලැබුනේ.
  
කොහොමින්  හරි ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපේ සිගිරි ගවේෂණයට අපි පිටත් උනා. වෙලාව දවල් දෙකට විතර ඇති. කන්න බොන්න කියලා කඩයක්වත් නෑ පේන තෙක් මානෙක. නොකා නොබී සිගිරි නගිනවාට වඩා පිදුරංගල පන්සල වදින්න යන එක හොදයි කියලා අපි කල්පනා කලා.

 ගුරු පාරක් දිගේ දිගටම ඇවිල්ලා සිගිරිය පහු කරගෙන පිදුරංගල පන්සලට ආවා. කිහිප වතාවක් සිගිරිය නැගලා තිබුනත් මමත් පිදුරංගල ආව පලවෙනි වතාව. පන්සල පල්ලමේ බයික් එක නවත්තලා පන්සලට ගොඩ උනත් කවුරුවත්ම පන්සලේ ඉන්න පාටක් පෙනුනේ නෑ. ලෙන් විහාරයට කියලා ගහලා තිබ්බ බෝඩ් එකේ පෙන්නපු පාර දිගේ අපි කන්ද තරණය කරන්න පටන් ගත්තා. 





ඒ කන්දේ ටිකක් දුර නගින කොට හමු වෙන ලෙන්  විහාරය නිසි නඩත්තුවක් නැතිකමින්ම  විනාස වෙලා ගිහින් කියලයි අපිට නම් හිතුනේ. කොයි තරං සංචාරකයින් සිගිරිය නරඹන්න ආවත් සිගිරිය පේන මානයේම තිබෙන කාශ්‍යප රජතුමාම නිර්මාණය කල  ඉපැරණි ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය කාගේවත් සැලකිල්ලක් නැතුව පාලුවට ගිහින් තියෙන හැටි දකින කොට අපිට නම් ඇති උනේ ලොකු කනගාටුවක්. අපි ලෙන් විහාර සංකීර්ණය පහු කරලා කැලය පීරාගෙන තවත් ටිකක් ඉහලට නැග්ගා.


ගල දිගේ ඉහලට නගින කොට ඈතින් තියෙන සිගිරිය අපිට පෙනුනේ මේ විදියට. ගල උඩට වෙලා අවට සුන්දරත්වය නරඹමින් හිටපු අපි පහලට බැස්සා. වෙලාව හවස හය විතර වෙලා. දවල් ආහාරය පන්සලේ තිබ්බ ටැප් එකකින් බීපු වතුර ටිකකින් යාන්තමට ශේප් කරගත්ත අපි ආයෙමත් දඹුල්ලට ආවේ ඊලග දවසේ වැඩත් කරගෙන මාතලේ පැත්තට යනවා කියන බලාපොරොත්තුවෙන්...

පහුවදා  පාන්දරම මාතලේ පැත්තට යන්න කල්පනා කලේ ඒ යන එන පාරේ අපිට ඕන කරන ජාතියේ කඩ ගොඩාක් තියෙනවා කියලා දන්න නිසා. කඩවල් වලින් ෆෝම් පුරවාගෙන ටික දුරක් යනකොට නාලන්දා ප්‍රදේශයේදී නාලන්දා ගෙඩි ගෙයට කි.මි 1 යි කියල බෝඩ් ලැල්ලක් දකින්න හම්බ උනා. වැඩ කරනවාද ගෙඩිගේ බලන්න යනවාද කියන දෙකින් අපි තෝරා ගන්නේ දෙවැනි විකල්පය කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ කිලෝ මිටරයත් ගිහිල්ලම බලන්න අපි කල්පනා කළා. 


හින්දු කෝවිලක ආකෘතියෙන් සම්පුර්ණ ගලින්ම ඉදි කරලා තියෙන මේ නාලන්දා ගෙඩිගේ පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හරි මැද කියලා පිළිගැනීමක් තියෙනවා. මෑත කාලීනව මේ නිර්මාණය පහල ඇති ජලාශයට යට වීම නිසා කොටසින් කොටස ගලවලා නැවතත් ස්ථාපනය කරලා තියෙනවා කියලයි අපිට දැන ගන්න ලැබුනේ. පල්ලෙහා තියෙන  කැටයමත් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන එකම ස්ථානය මේ ගෙඩිගේ කියලයි කියන්නේ. ඒකෙන් පෙන්නන්නේ පුරුෂ රුවක් කාන්තා රුවක් සහ සිංහ රුවක් කියලයි අපට දැනගන්න ලැබුනේ


 
 

ගෙඩිගේ බලලා ඉවර කරලා මාතලේට යනකොට අපි තවත් දවස් ගානකට හරියන්න වැඩත් කරලා කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මාතලේ ඉදන් ආපහු දඹුල්ලට එන්න හදනකොට මහා වැස්සක් පටන් ගත්තා. බලාගෙන හිටියට වැස්ස නවතින පාටකුත් නෑ. ෆෝම් ටික නොතෙමෙන විදියට කවරෙකින් ආවරණය කරගෙන තෙමිගෙනම ආපහු එන්න පටන් ගත්තා. මහා වැස්ස එක්ක කළුවරේ හරියට පාරක් පේන්නෙත් නැතුව හිමින් සැරේ පැය දෙකක් විතර ගත කරලා දබුල්ලට එනකොටත් වහිනවා හොදටම. එහෙමම ඇදුම් මාරු කරගෙන නාලා ඉක්මනටම කාල බිලා නිදා ගත්තේ දවස් දෙක තුනකටම ඇති වෙන්න වැඩ කරලා තිබුන නිසා හෙට දවසම වැස්සත් අපිට කමක් නෑ කියලා හිතාගෙන.................
............................................................................................................................................................

තව දෙයක් තියෙනවා


ලගදීම  අලුත් වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න........

Thursday, September 6, 2012

ධාතු බිස්නස්




මේ දවස් වල හැම තැනම කථාව සර්වඥ්ඥ ධාතු වන්දනාව ගැන හින්දා රෙපාටත් හිතුනා පහු ගිය දවස් වල මළගෙදරක නයිටක්‌ ගහද්දි එහෙං මෙහෙන් ඇහුනු ධාතු බිස්නස් කරන සිස්ටම් එකක් ගැන ලියලා දාන්න. වැඩි වල් පල් වැඩක් නෑ මෙන්න මෙහෙමයි ස්ටොරිය.

ඔන්න ඔය ඈත පිටිසර පලාතක පන්සලක දායක සභාවේ පිරිස එකතු වෙලා දාගැබක් හදලා. දාගැබ හදලා ඉවර උනාම තමයි ඒකෙ නිදන් කරන්න ධාතුන් වහන්සේලා ඕන කියන එක මතක් උනේ. ඉතිං මේ දාගැබේ නිදන් කරන්න ධාතුන් වහන්සේලා හොයන කොට කොළඹ පැත්තේ ඉදලා ඒ ගමට ආව එක උපාසක මහත්තයෙක් ධාතුන් වහන්සේලා හොයලා දෙන්න පොරොන්දු වෙලා. හැබැයි ඉතිං නිකන් නෙවෙයි ගානකුත් දෙන පොරොන්දුව පිට.

කියපු දවසට ධාතුන් වහන්සේලා පන්සලට ලැබුනේ නැති උනාම කලබල වෙච්ච ගමේ දායක සභාවේ ඇත්තොයි ලොකු හාමුදුරුවොයි උපාසක මහත්තයා හොයාගෙන ආවලු කොළඹ උපාසක මහත්තයාගේ ගෙදර. හාමුදුරුවෝ ගෙදරට එනකොට උපාසක මහත්තයා ගෙදර ඉදලා නැහැ. උපාසක මහත්තයාගේ පොඩි පුතා විතරයි ඒ වෙලාවේ ගෙදර ඉදලා තියෙන්නේ.

හාමුදුරුවෝ උපාසක මහත්තයා නැති බව දැනගෙන පොඩි එකාගෙන් අහලා තියෙනවා තාත්තා පන්සලට දෙන්න කියලා ධාතුන් වහන්සේලා වැඩම කෙරෙව්වද කියලා.

පොඩි එකා ගත්ත කටටම කිව්වලු.

"සාදු ධාතු නම් තියෙනවා, තාම බැදලා නෑ" කියලා

ධාතුන් වහන්සේලාගේ බදින්න තියෙන්නේ මොනවද කියලා හොයලා බලනකොට මේ උපාසක මහත්තයාගේ ගෙදර ධාතු කර්මාන්ත ශාලාවක්. බුවා ධාතු හදනවා කියන්නේ මෙන්න මෙහෙම.

අවශ්‍ය ද්‍රව්‍ය 

හරක් අං තට්ටුවක් 

වංගෙඩියක් සහ මෝල් ගහක්

කියතක්

හාල් කුඩු 

තාච්චියක්  සහ පොල්තෙල් 

මුලින්ම අං තට්ටුව කුඩා කැබලි වලට කපා ගන්න, ඉන්පසු සහල් කුඩු සමග එකට වංගෙඩියට දමා අං කැබලි රවුම් වනතුරු හොදින් කොටා ගන්න. හාල් කුඩු රවුම් අං කැබලි වලට හොදින් කාවැදීමෙන් ඒවාට අපුරු පෙනුමක් ලැබෙනු ඇත. එසේ සකස් කර ගත් අං කැබලි හොදින් රත්වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පැහැය ලැබෙන තුරු හොදින් බැද ගන්න. 

සර්වඥ්ඥ ධාතුන්වහන්සේලා වැනිම අගනා ධාතුන් තෙලෙන් ගොඩ ගැනීමට ඔබටලැබෙනු ඇත. සමහර විට අපේ ඔබේ පන්සල් වලද මෙසේ නිර්මාණය කරගත් ධාතුන් වහන්සේලාට ඔබ අප වන්දනා කරනු ඇත. අප විසින් සැදැහැ සිතින් වන්දනා කරන්නේ නම් අප කර ගනු ලබන පිං වල වෙනසක් නොවනු ඇත. බුදුන් වහන්සේගේ ධාතු නම විකුණාගෙන හරක් අං විකුණන සුදු රෙදි ඇදගත් උපාසක මහත්තුරු පන පිටින්ම අපාගත වනු ඇත...

ප. ලි 

එහෙං මෙහෙන් කනට වැටුණු දෙයක් පමණි. සත්‍ය අසත්‍යතාවය ගැන වගකීමක් නැත. දෙයියෝ බුදුන් හැම දේම විකුණන විකිනෙන ලෝකේ ධාතුන් වහන්සේලාද මේ ආකාරයට විකිනෙන්නේ නැතැයිද කිව නොහැක.....

ප. ප.ලි 

පෝස්ට් එක ලියන්න කලින් හරියට කතාවේ ඇත්ත නැත්ත දැනගෙන නොහිටියත් පෝස්ට් එක කියවූ කිහිප දෙනෙකුම පැවසු පරිදි මෙය දකුණු පළාතේ පිහිටි පන්සලක සිදුවූ සත්‍ය සිදුවීමකි ....


 

Friday, August 31, 2012

කුලියාපිටියෙන් දඹුල්ලට

 බලංගොඩ සිට කුලියාපිටියට ආව හැටි



පහුවෙනිදා උදේ ඇහැරෙනකොට උදේ අටට විතර ඇති. හදිසියේ දුවගෙන ආවට අපි දෙන්නම කරන්න ඕන මොකක්ද කියලා වත් තාම හරියට දන්නේ නෑ. නුවන් ලොක්කට කෝල් කරලා කරන්න ඕන දේ අහගෙන නවයට විතර එලියට බැස්සා. සතියේ දවස් වලත් ලංකාවේ රුම්ස්‌ වලට තියෙන ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඒ වෙනකොටත් ත්‍රිවිල් මෝටර් සයිකල් දෙක තුනක්ම මිදුලේ නවත්තලා තිබුනා. ඒ අතරේ රෙස්ට් ඒකෙ අන්කල් අපේ බෑග් ටික තියලා යන්න කියලා කාමරයක් පෙන්නුවා. ඒකෙ බෑග් තියලා අපි එලියට එනකොට හෙල්මට් එකකින් මුහුණ වහගෙන පොත් මිටියක් තුරුල් කරගත්ත ක්ලාස් යන්න ආව පොඩි කෙල්ලෙක් කොල්ලෙකුත් එක්ක අපි නැවතිලා හිටපු කාමරෙටම ඇතුල් වෙලා දොර වහ ගත්තා. 


ඒ සති දෙකම ගෙවිලා ගියේ පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය. නාරම්මල, හෙට්ටිපොල, පඬුවස් නුවර, හලාවත ,වෙන්නප්පුව, කුලියාපිටිය වටේම තියෙන ගම් නගර  හැම එකකම සංචාරය කරමින්. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැත්තේ වැඩේට කැප වෙලාම බැහැලා හිටපු හින්දා. පොඩ්ඩක් හරි බලන්න කියලා ගියේ පඬුවස් නුවර පාරේ යන ගමන් අතුරු පාරකට දාලා බලපු නටබුන් ටික විතරයි. අන්තිම දවසේ පුත්තලම පැත්තේ හිටපු කැලුම් අයියලත් අපි නැවතිලා හිටපු රෙස්ට් හවුස් එකටම ආවා. 

ඊලග  ඒරියා එකට යන්න බලාගෙන ඉන්න අතරේ කම්පනියේ නුවන් ලොක්කාගෙන් කෝල් එකක්. 

"ඔයාල එක්කෙනෙක් ගෙන්වත් දවසට ෆෝම් 20 ක ඇවරේජ් එකක් නෑ. ඒ නිසා අපි දෙන්න පොරොන්දු වෙච්ච බේස් එලවන්ස් එක බලාපොරොත්තු වෙන්න එපා. "

කාල  වරෙන් කිව්වලු රෙප් කෙනෙක්ගේ බේසික් සැලරි එක විතරක් අරගෙන පොල් ගාන්නද? නුවන් ගේ කෝල් එකෙන් අප්සට් වෙච්ච මම එහා රුම් ඒකෙ නැවතිලා හිටපු කැලුම් අයියාව හොයා ගෙන ගියා.

"නුවන් නේද කතා කලේ" කැලුම් අයියා ඇහුවේ හිනා වේවි

අපි  රිසර්ච් එකට බැහැලා වැඩ කලාට මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම ගියේ කැලුම් අයියත් එක්ක ටිකක් කතා කලාට පස්සේ.

 " මල්ලි මම මේකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා, ඔය කියපු බේස් එලවන්ස් එකක්වත් මටත් තාම හම්බ වෙලා නෑ"

"ඉතින්  මෙතනට වෙලා ඉන්නේ බම්බු ගහන්නද?"

"ඇයි බං වෙන මොන කම්පනියේද මෙහෙම වියදම් කරලා අපිට ලංකාව වටේ ඇවිදලා ෆන් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නේ. "

"එතකොට  රිසර්ච් එක" 

කැලුමා හිනා උනා

 "ඔය කියන විදියට රිසර්ච් එක කරන්න ගියොත් දවසට ෆෝරම් 40 ක් ෆිල් කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත්. උන් වියදම් කරන ඒවාට හරියන්න ඔය කඩ ටිකකට ගිහින් සිල් එක ගහගෙන වරෙන්. උන් ඉල්ලන්නේ නම්බර්ස් මිසක් කොලිටි රිසර්ච් රිපෝට් එකක් නෙවෙයිනේ. ඉතින් උන් ඉල්ලන නම්බර්ස් උන්ට දීලා අපේ ෆන් එක අපි ගමු බං"

"මේ හම්බ වෙන සොච්චමෙන් මොනවද කැලුම් අයියේ කරන්න පුළුවන්"

එහෙම  ඇහුවේ මා එක්ක හිටපු ප්‍රසන්නයා,

ඇයි බං ඒකට තමයි පෙට්‍රල් බිල්, බයික් රෙපයාර් බිල් වගේ ඒවා තියෙන්නේ. මෙහෙම රෙස්ට් හවුස් වල නවතින්නේ නැතුව බිලක්‌ ගන්න ට්‍රයි එකක් දීපං. උන්ට වැඩක් නෑ නෙ අපි කොහේ හිටියත්, උන්ට ඕන නම්බර්ස් විතරයි..

"ඊළගට අපිට යන්න තියෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ඒරියා තුනට. උඹලා කොහේද යන්නේ."

මට එක පාරටම මතකෙට ආවේ දඹුල්ල පන්සල කිට්ටුව හේනක් වගා කරන අපේ මාම කෙනෙක්ව. 

"අපි යනවා මාතලේ." මම කිව්වා 

 එහෙනං උඹ හෙට ඉදන් මේ ප්‍රදීප්‍ එක්ක වැඩ කරපන්. මම ප්‍රසන්න එක්ක යන්නම්.

කැලුම් අයියලාගේ ඒරියා එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තිබුන නිසා එයාලා පාන්දරම පිටවෙලා ගියේ ඒක ඉවර කරලා හවසට කෑගල්ලේ යනවා කියලා. මමයි ප්‍රදීපුයි දඹුල්ලේ යන්න පිටත් උනා.

නාරම්මල හරහා කුරුණෑගලට ආවාම තමයි මතක් උනේ අදටත් ෆෝම් හතළිහක් කොහෙන් හරි ෆිල් කරගන්න ඕන කියලා. කුරුණෑගල ඉදන් දිගටම පාර අයිනේ තිබුන ෂොප් වලින් සීල් ගහගෙන ඉබ්බාගමුව ටවුම පහු කරනකොට ෆෝම් හතළිහක් පුරවලා. ගලේවෙලට එනකොට බයික් එකේ පැට්‍රල් ඉවරයි. ගිය සති දෙකේ බිල් වල ක්ලෙම් එක වැටිලද කියලා බලන්න බැංකුවට ගියාම තමයි දෙයියෝ සිහි උනේ. සති දෙකේ සල්ලි තවම එකවුන්ට් එකට වැටිලා නෑ.

කම්පනියේ ඉන්න හැම එකාටම පින් දීගෙන එතනම ඉදලා ගත්තා ෆයිනෑන්ස් එකේ ප්‍රසන්නයාට කෝල් එකක්.

" උඹේ සල්ලි හෝල්ඩ් කරලා"

"මොකක්"

" එරන්දට කෝල් එකක් දීලා බලන්න"

ප්‍රසන්න ෆෝන් එක තිබ්බා. එහෙමම එරන්දට කෝල් කළා

" එරන්ද මහත්තයෝ මොකක්ද මගේ එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම කරපු වරද?"

"ගිය සදුදා කොහොමද කිලෝ මීටර් හාරසිය ගානක් ගියේ. කිලෝමීටර් හාරසිය ගානක් එක දවසට බයික් එකේ. වෙන්න බෑ"

"එහෙනං එරන්ද මහත්තයෝ ඔබ තුමාම බයික් එකක් අරන් මතුගම ඉදන් බලංගොඩට ගිහින් ආයේ ඔෆිස් ඇවිත් කුලියාපිටියට ඇවිල්ලා බලන්නකෝ කිලෝ මීටර් කියක් තියෙනවද කියලා"

කියපු  මම එහෙමම ෆෝන් එක තිබ්බා. වෙච්ච කේස් එක දන්න නිසා ඔය අතරේ ප්‍රදීප් කිර්ති ලොක්කටත් කතා කරලා. ටිකකින් කිර්ති ලොක්කාගෙන් මට කෝල් එකක්

"එහෙම එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම දෙන්නේ නෑ. බය වෙන්න එපා. අද හවසට නැත්තම් හෙට උදේට සල්ලි ටික වැටෙයි"

"පැට්‍රල් ගහන්නවත් සල්ලි නෑ. ඒකයි සර් කතා කලේ "

"අදට මොකක් හරි කරගන්න. හෙට උදේට සල්ලි වැටෙයි බය වෙන්න එපා"

ප්‍රදීප් අතේ තිබ්බ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන මාමට කෝල් කළා. 

"දඹුල්ලට ඇවිල්ලා නුවර පාරේ පන්සල පහු කරලා ටික දුරක් ඇවිත් කෝල් එකක් දෙන්න"

කොහොම  හරි අපි දෙන්න මාමගේ හේන හොයාගෙන ගියා. එයා හිටියේ ලොකු ළුණු ගොඩක් තෝරණ ගමන්. 

කාලෙකට  ඉස්සර කැලේ ඇවිදිනකොට බැදපු තුවක්කුවක වෙඩිල්ලකට අහු වෙලා කකුලක් අයින් කරලා තිබුනත් බොරු කකුලක් දාගෙන එයා කරන වැඩ කකුල් දෙකම හොදට තියෙන කෙනෙක්වත් කරන්නේ නෑ. හේන් වගාවේ ඉදන් පොල්ගස් නැගීම දක්වා හැම වැඩක්ම තනි කකුලෙන් ඉන්න එයා කරනවා.

"ඕන දවසක් නවතින්න අපේ පන්සල තියෙනවා. මෙහෙන් නාගෙන පන්සලට යමු. මම කොහොමත් රෑට උයන්න පන්සලට යන්න ඕනේ"

කකුල  කපන්න ඉස්සර ඉදන්ම දඹුල්ල මහ පන්සලේම හිටපු මාමට ඒ අනතුර වෙච්ච වෙලාවේ හැම උදව්වක්ම කරලා තිබුනේ ලොකු හාමුදුරුවෝ. දැන් නම් ඉන්නේ මහ පන්සලට අයිති වෙන පන්සලක කියලයි දැනගන්න ලැබුනේ.

මාම  එක්ක එයා ඉන්න ගෙදරට ආව අපිට ඇදුම් මාරු කරගන්න කියලා වගා ළිදක ඉදලා මෝටර් එකකින් ඇදලා පැල වලට වතුර දාන ලොකු වතුර බටයක් කෙහෙල් ගහක පිත්තක් අස්සේ ගැහුවා. 

"ඔන්‍න‍ ඕන තරම් නාගන්න"  කියලා මෝටරේ ස්ටාර්ට් කළා

කාෂ්ටක දේශගුණයක අව්වට පිච්චි පිච්චි දුවිල්ල නාගෙන මෙච්චර දුර ආව අපට ඒ ලොකු වතුර බටෙන් ඇගට වැටෙන වතුර ගෙනාවේ අමුතුම සිසිලසක්.

එතනින්  නාගෙන මාම එක්ක පන්සලට ගියා. රෝද තුනක් තියෙන අතින් කරකවන වාහනයක් තමයි එයාගේ ගමන් බිමන් යන වාහනේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් වැඩි වයසක හාමුරුරු කෙනෙක් නෙවෙයි. වැඩිම උනොත් අවුරුදු 30 ක් ඇති. ධර්ම ශාලාව ඇතුලේ තියෙන කාමරයක් අපි දෙන්නට හම්බ උනා. රෑට කෑවට පස්සේ ආයේ හේනට යනවා කියලා මාම යන්න ගියා. අපි එදා රෑ නිදා ගත්තේ හෙට ඉදන් නම් හොද පිස්සුවක් කෙලිනවා කියන ලොකු බලාපොරොත්තුවකින්.....

.............................................................................................................


බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය 2012
මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
ස්තුතියි..!
 

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="300" width="230"></embed>