Tuesday, May 21, 2013

මුහුණු පොතේ ෆේක් මිතුරෝ

 මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් පවත්වා ගෙන යන ගිණුම් එහෙමත් නැත්තම් ෆේක් එකවුන්ට්ස් ගැන සමාජයේ තියෙන්නේ විවිධාකාර මත. එක එක්කෙනා මේ වගේ ෆේක් ගිණුම් නිර්මාණය කරන්නේ තම තමන්ට තියෙන විවිධාකාර අරමුණු ඉෂ්ට කරගන්න. ඒ අතරේ තමන්ගේ පාළුව කාන්සිය නැති කරගන්න වගේම විවිධ සමාජ විෂමාචාර කටයුතු වලට එන උදවියත් ඕන තරම්. ඒ අයට සමාජයේ තමන්ට තියෙන ප්‍රතිරූපයට කැළලක් ඇති කර නොගෙන තමන්ගේ අරමුණු  ඉෂ්ට කර ගන්න තියෙන පහසු මගක් බවට මුහුණු පොත එහෙමත් නැත්තම් ෆේස් බුක් ගුගල් ටුවිටර් වැනි සමාජ ජාලයන් මේ වෙන කොට පත් වෙලා ඉවරයි.

ඒත් දැන් මේ කතා කරන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් ගිණුම් පවත්වා ගෙන යන මිතුරන් පිරිසක් එකතු වෙලා කරන්න යන වැඩක් ගැන.  ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆේස් බුක් හා ජංගම දුරකථන වලින්ම පමණක් සංවිධානය කෙරුණු මහා අයිස් ක්‍රීම් දන්සල ..


මේ සදහා හැකියාවක් තියෙනවා නම් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.



මුදල් වලින් ආධාරයක් කරනවා නම්,

නම:- W.N.S.S. Fernando

ගිණුම් අංකය:- 10-2642-180-980

බැංකුව:- සම්පත් බැංකුව

ශාඛාව:- පානදුර

කියන එකට හරි 0777615332 නම්බරේට ez කෑෂ් කරන්න හරි 

පුළුවන්.


වැඩි විස්තර සඳහා 078-3862214 ගිණි කුකුළා සම්බන්ද 

කරගන්න


ඔබ ජිවත් වෙන්නේ කුරුනෑගල අවට ප්‍රදේශයක නම් එදාට 

අනිවාර්යෙන්ම සාරගම වැව ලගට ඇවිත් අයිස් කෑමෙන් හරි අපේ 

කොල්ලෝ කෙල්ලෝ සෙට්  එකට සහයෝගයක් දෙන්න පුළුවන්. 

ඔබ කුරුනෑගල ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි නම් මෙන්න එතනට

එන මැප් එක 



කුරුනෑගල පුත්තලම් පාරේ සාරගම වැව ලග.

ඔයාලා එන්නේ බස් එකේ නම් කුරුනෑගල ටවුන් එකේ ඉදන් 

වාරියපොල, හංහමුණ, කටුපොත, කනෝටුව, කීණගස්පිටිය, 

තිත්තවැල්ල හරහා ගෝනගම.......... ඔය ඕනෙ බස් එකක එන්න 

පුලුවන්.


එහෙම නම් මෙතුවක් කාලයක් මුහුණු පොතෙන් අන්වර්ථ නාම වලින් 

හදුනාගෙන හිටපු ලෙන්ගතු යාළුවො ටිකක් හැබැහින් දැකගන්න. කතා 

කරන්න සතුටු වෙන්න. වෙසක් මාසේ 25 වෙනිදා (පුන් පෝයදාට 

පසු දින) උදෑසන 10 සිට කුරුණෑගල එන්න.




මුහුණු පොතේ ෆේක් මිතුරන් මිතුරුකම පිළිබඳව නිර්මාණය වූනු වීඩියෝවක් පහල ලින්කුවෙන් ගිහින්  බලන්න පුළුවන්.


යාළුවො අපි යාළුවො 

අවවාදයයි.

මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්‍රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත 

Tuesday, May 14, 2013

දරුවෝ ......




(චායාරූපය ගුගල් දෙයියන්ගෙන් ඉල්ලාගත් එකක් පමණක් බව සලකන්න )


"මගේ ලොකු පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එයා එහේ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක්. ඒ හොස්පිට්ල් එකේම ඉන්න ඩොක්ට කෙනෙක්ව මැරී කරලා දැන් එහේ තමයි පදිංචිය. බාල පුතා ඉංජිනියර් කෙනෙක් නේ. එයා ...... කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්."

සෝමපාලගේ එකම විනෝදාංශය උනේ වැඩිහිටි නිවාසේ  තමන්ගේ කාමරේ ඉස්සරහ බැංකුවක වාඩිවෙලා තමන්ගේ දරුවන්ගේ විස්තර අනිත් අය එක්ක කියා කියා සතුටු වෙන එක. ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට රස්සාව කරපු සෝමපාලගේ ලොකුම හීනය වෙලා තිබුනේ තමන්ගේ ළමයි තුන් දෙනාව උස් මහත් කරලා හොදට උගන්නලා ලොකු තැනකට ගේන එක. 

ලොකු පුතයි බාල පුතයි දෙන්නම සෝමපාලගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කලාට මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි.

දරුවෝ දෙන්නම රස්සාවට ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ සෝමපාලයි දරුවන්ගේ අම්ම පියසීලියි විතරයි. කාලෙක ඉදං ලෙඩ ගානේ හිටපු පියසිලිත් දරුවන්ගේ ඈත් වීමත් එක්කම වැඩිකල් ජිවත් උනේ නැහැ. අම්මගේ මළගමවත් මද්දු පුතාට දන්වලා යවන්නවත් සෝමපාල වැඩිය උවමනාවක් කලේ නැහැ. අයියයි මල්ලියි දෙන්නම පැත්තකට වෙලා ඉද්දි මරණේ වැඩ කටයුතු ඔක්කොම කලේ කොහොම හරි ආරංචිය දැනගෙන ගෙදර ආව මද්දු පුතා රමේෂ්. ඒ දවස් ටිකටත් සෝමපාල රමේෂ් එක්ක වචන දහයක් කතා කලේ නැහැ.

කාලය ගත උනේ විදුලි වේගයෙන්. පොඩි පුතා සෝමපාලව කොළඹ තමන්ගේ ගෙදර එක්ක ගෙන ගියේ තාත්තට තනියෙන් ගමේ ගෙදර ඉන්න බැහැ කියලා. පලවෙනි සති දෙකේ සොමපාලට ලැබුණු සැලකිල්ලෙ හැටියට තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම තාත්ත කියලයි සොමපාලට හිතුනේ.

"තාත්තේ දැන් මහ ගෙදර කවුරුවත්ම නැති එකේ ඕක නිකං පාලුවට ඇරලා වැඩක් නැහැ නේ."

"ඒක නම් එහෙම තමයි ඉතිං. මම හිතාගෙන ඉන්නේ ඒක ඔය දෙන්නට බෙදලා දෙන්න"

"තාත්තට හැමදාම අපේ ගෙදර ඉන්න පුළුවන් නේ. අයියත් ලංකාවේ ඉන්න අදහසක් නැති නිසා ඔය මහ ගෙදරයි ඉඩමයි මගේ නමට ලියල දාන්න. මගේ අදහසක් තියෙනවා ඔතන හොද හෝටලයක් පටන් ගන්න."

"ඒක අපේ පරම්පරාවෙන් හම්බ වෙච්ච මහ ගෙදර.  උඹල දෙන්නට තමයි කවදාහරි ඒක අයිති වෙන්නේ"

කොහොමින් හරි සතියක් ඇතුලත මහ ගෙදර ඉඩම පොඩි පුතාගේ නමට ලියලා දෙන්න සොමපාල කැමති උනේ හැමදාමත් පොඩි පුතා තමන්ට ආදරෙන් සලකයි කියන විශ්වාසයෙන්. මල්ලිගේ නමට ඉඩම ලියපු බව දැනගත්ත ගමන්ම තාත්ත හොයාගෙන ආව ලොකු පුතා මුණට හිනා වෙලා හිටියත් කතා කලෙ හිත හොදකින් නෙවෙයි කියලා සෝමපාලට තේරුණා. 

ඉඩම ලියාගත්ත දවසේ ඉදං පොඩි පුතා රස්සාවට අමතරව හැමතිස්සෙම හිටියේ අලුත් ගෙස්ට් හවුස් එකේ වැඩ වල. ලේලියි දරුවොයි ජිවත් උනේ එයාලගෙම ලෝකෙක නිසා තිබ්බ සැලකිලි ටික ටික අඩු වෙලා යන්න ගත්තේ වේගයෙන්. ලොකු පුතා ලංකාව අත ඇරලම යන්න ගියේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදින්චියටමයි.  සොමපාලට සිද්ද උනේ බාල පුතාගේ ගෙදර හිර උන හිරකාරයෙක් ගේ තත්වයට පත් වෙන්න.

"ගෙදර කවුරුවත් නැතුව තාත්තට පාලුයි නේද"

"ඒවා නම් එහෙම තමයි. මොනවා කරන්නද පුතේ "

"ගෙස්ට් හවුස් එකේ වැඩ හින්දා මමත් මේ දවස් වල ගෙදර නැහැ නේ. මම තාත්තට හොද තැනක් බලලා තියෙන්නේ. තාත්තට පුළුවන් එහේ ගිහිල්ල නවතින්න. එහේ හරිම හොදයි. ගොඩක් අය ඉන්න නිසා තාත්තට පාලුවකුත් දැනෙන එකක් නැහැ. අනික අපටත් පුළුවන් නේ ඇවිත් තාත්තව බලල යන්න "

 ඊලග දවසේ ඉදන්ම සෝමපාලට වැඩිහිටි නිවාසයේ කාමරයක නවතින්න සිද්ද උනා. කාලය ගත වෙලා ගියා එදා කාර් එකේ ඇවිත් සෝමපාලව වැඩිහිටි නිවාසෙට භාර දීල ගිය පොඩි පුතා ආයේ දකින්නවත් හම්බ උනේ නැහැ. ආණ්ඩුවෙන් හම්බ වෙන පැන්ෂන් එක වැඩිහිටි නිවාසෙට දීලා. එතනින් ලැබෙන දෙයක් කාලා තමන්ගේ වයසේම අනිත් උදවියත් එක්ක ගෙවන ඒකාකාරී ජිවිතේට සෝමපාලටත් ටික ටික හුරු වෙන්න සිද්ද උනා.

........................................................................................................................ 

වැඩිහිටි නිවසෙට දානේ අරගෙන ආව පිරිස අතරේ සුපුරුදු මුණක් සෝමපාලගේ නෙත ගැටුනේ අහම්බෙන්. 

"තාත්තේ"

තමන්ගේ තාත්තව මෙතැනදී දකින්න කවදාවත් රමේෂ් බලාපොරොත්තු උනේ නැහැ.

"මගේ පුතේ"

"ඇයි තාත්තේ මෙතන මෙහෙම දුක් විදින්නේ. මම තාත්තව හොයන්න ගෙදරත් ගියා. මල්ලි ගෙදර විකුනලා දාලා රට ගිහිං කියලා ආරංචි උනා. මම හිතුවේ තාත්තවත් එක්කගෙන යන්න ඇති කියලා."

පොඩි පුතා තමන්ව මුලා කරලා ගියපු හැටි ගැන මතක් වෙනකොට සෝමපාලගේ ඇස් දෙකෙන් කදුළු බිංදු කඩාගෙන වැටුනා  

තාත්තව හැමදාමත් බලාගන්න මට පුළුවන්. අයියටයි මල්ලිටයි තරම් සල්ලි දැන උගත්කම නැති උනාට තාත්තව මට ගොඩාක් වටිනවා. තාත්තා අපිත් එක්ක යන්න ලැස්ති වෙන්න."  

කාලෙකට කලින් තමන් අත ඇරලා දාපු තමන්ගේ දරුවා ආයෙත්  තමන්ව හොයාගෙන ඇවිත් ආයෙත් එයා ලගට එන්න කියලා කතා කරනවා

"පුතා මගේ රත්තරං පුතා. උඹට මම මෙච්චර කාලයක් කරපු හැම දේකටම මට සමා වෙයන් මගේ පුතා" 

 සෝමපාලගේ හිතේ ඇති උන වේදනාව ඇස් දෙකෙන් කදුළු කැට වෙලා කඩාගෙන වැටුනේ කිසිම දෙකක් කියාගන්න බැරුව...........   





Wednesday, May 1, 2013

සයිබර් පුවත්

පපර පපර පං පං පපර පපර පං පපර පං පං පං

ටක් ටික් ටික් ටික්

ආයුබෝවන් මේ සයිබර් මඩ වාහිනී සේවයයි. මෙන්න ප්‍රවෘත්ති,

පුවත් සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ ....

මී මුර ප්‍රදේශයෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ අනර්ඝ කිතුල් රා දිවයින පුරා බෙදාහරින අබේපාල ඩිස්ට්‍රීබියුටර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
ඔබට රා බී වෙරි වීමට අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න. අබේපාල ඩිස්ට්‍රිබියුටර්ස් කොට්ටාව, පන්නිපිටිය.


  මුලින්ම පුවත් සිරස්තල,

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

සවිස්තරාත්මක පුවත්

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ගතියක් ඇති වන බව නවතම පර්යේෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ අනර්ඝ සොයා ගැනීම සිදු කර ඇත්තේ පසු ගිය දිනක පවතී සයිබර් සිහින බක් මහ උළෙලට සහභාගී වූ බ්ලොග් කරුවන් පිරිසක් විසින්. බක් මහ උළෙල අවසන් වී සතියකටත් අධික කාලයක් ගත වී ඇති නමුත් කිසිදා මත් පැන් පානය නොකරන්නේ යයි පවසන ඔවුන් කිහිප දෙනෙකු තවමත් වෙරි මතින් පසු වීම මෙයට හොදම සාක්ෂියක්.



මිට අමතරව රෙඩ් බුල් පානය නිසා අධික ලෙස වෙරි වූ රං ගොජෙක් රුපියල් 240 කට වෙරි වීමට හැකියාව තිබියදීත් තම පරිබෝජනය උදෙසා රැගෙන ආ අරක්කු බෝතල් බෝතල් සදහා වියදම් වූ මුදල් පිලිබදව දුක කියමින් සයිබරය පුරා ඇවිදින බව සයිබර් පුවත් සේවයට වාර්තා වෙනවා. එම රජාගේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයකු සයිබර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ එසේ ඇති වූ දුක නිවා ගැනීම සදහා ඒ අරක්කු බෝතල් කිහිපය ප්‍රමාණවත් වූ බවයි .


අරක්කු වලට  වූ  මුදල් පිලිබදව සොවින් තැවෙන රජා 

තම  ආයතන මගින්   ඉදිරි කාලයේදී විකාශය කිරීමට බලාපොරොත්තු වන සියලුම රියලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලය ලෙස සයිබර් සිහින බක් මහ උළෙලේ ජන ගී තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල වැපා, ඕනයා ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරගයක් ඇති වී තිබෙනවා. සයිබර් පුවත් සේවය එම විද්‍යුත් නාලිකා නියෝජිතයන් ගෙන් කල විමසීමකදී ඔවුන් සදහන් කලේ තම අරමුණ එදා සයිබර් සිහින උළෙලේදී තරගකරුවන්ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් දැක්වූ අදහස් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව එවන් දැනුමක් ඇති සම්පත්ධාරීන් ගේ සේවය ලබා ගැනීම තුලින් තම වැඩසටන් වල ගුණාත්මක භාවය වර්ධනය කරගැනීම බවයි.

දැන් කෙටි විරාමයක්..

ඔබගේ අනාගතය කෙසේද ?

සිකුරා නලලේද? සුදු කොඩි පේනවාද?
කේන්ද්‍රය පරික්ෂා කර ගැනීමට යාමට වෙලාවක් නැද්ද?
ස්කයිප් මගින් අන්තර්ජාලයෙන් 
ජෝතිෂ්‍ය ශාස්ත්රානුකුලව නිවැරදි පලාපල විස්තරයක් ලබා ගැනීමට ඔබටත් අවශ්‍යද?
එසේ නම් අදම මැසේජ් කරන්න 
මාර කුමාර ජෝතිෂ්‍යය සේවය 
ෆේස් බුකිය 
සිරි ලංකාව 

මාරයා - කේන්දරේ බැලුවොත් බැලුවාමයි 

දැන් නැවතත් ප්‍රවෘත්ති 

සයිබර් සිහින සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා දැනටමත්  සයිබර් මෙහෙයුම් කිහිපයක්ම ආරම්භ වී තිබෙනවා. කොස් කොලාලංකාරය වැනි ජනප්‍රිය  පද්‍ය රචනා නිර්මාණය කල රුහුණු පුරයෙන් බිහිවූ සයිබරයේ ජනප්‍රිය කවියෙකු සහ නොහික්මුණු ඇසක් හිමි අයකු මේ සදහා මුලික වී ක්‍රියා කරන බවයි  සයිබර් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මේ පිලිබදව සයිබර් පුවත් සේවය කල විමසීමකදී නොහික්මුණු ඇය ඇස විසින් ප්‍රකාශ කර සිටියේ නම කියවන විට දිව ටැපලෙන බ්ලොග්කාරියන් විසින් තම උත්සාහයට කොතරම් තර්ජන ගර්ජන ඉදිරිපත් කලත් බ්ලොගර් ගූගල් ටුවිටර් සමාජ ජාල වලට අමතරව සයිබරයේ සෑම අහු මුල්ලකම ඔවුන් සොයා තම මෙහෙයුම් දියත් කරන බවයි. 

මෑතක් වන තුරු උගේ ඉසව්වක ෆැන්ටසි පුරවරයක ජිවත් වෙමින් ජනයාට රංගනයන් ඉදිරිපත් කල රුහුණු පුර කවියා අද වන විට තම ෆේස් බුක් ගිණුමද අක්‍රිය කොට දමා රෙඩ් බුල් ආයතනයේ රියදුරු රැකියාවක් හෝ සොයා පයින්ම ඇවිදින බව සයිබර් ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරනවා.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් එකක් භාවිතා කරන ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට අවංක පැට්ටා සහ සමාගම කටයුතු සුදානම් කර තිබෙනවා. එම සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශක ඇල්වින් මදුවන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය සයිබර් වාසි ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීම පිලිබදව දැනුවත් කිරීම සදහා තම සමාගම විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරාම ක්‍රියාත්මක කරන බවයි. මේ පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ටොප් ලැට්  එකක සහ ලැප් ටොප් එකක වෙනස පැහැදිලි කරන අවංක පැට්ටා මහතා.


සිංහල බ්ලොග් අවකාශය තුල  පවතින රූමත්  බ්ලොග් කාරිනියන්ගේ අඩු පාඩුව දුරු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය 2013 සයිබර් සිහින කුමරා පණුවා මහතා  ගේ සංකල්පයක්. සයිබර් පුවත් සේවය සමග කල සාකච්චාවකදී ඒ මහතා පවසා සිටියේ සිංහල බ්ලොග් අවකාශයට පිවිසීමට බලාපොරොත්තු වන රූමත් ගැහැණු  ළමුන් සදහා ඕනෑම උදව්වක් කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත් වන බවත් ඒ සදහා ඕනෑම තරාතිරමක රූමත් ගැහැණු ළමයෙකුට ඉදිරිපත් විය හැකි බවත්ය. ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේ උදව් කිරීම සදහා තමන් සතු ඩේටා කොපමණ වැය උවත් කොපමණ දින ගණනක් ගත වුවද තමා එය ගණන් නොගන්නා බවයි. මේ පිළිබද අදහස් දක්වන පනුවා මහතා. 

පුවත් අවසන් කිරීමට පෙර සාරාංශය 

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

ඒ සමගින් අද දිනට නියමිත සයිබර් පුවත් ප්‍රකාශය මෙතකින් අවසන් වෙනවා. තවත් මඩින් පිරි පුවත් රැසක් සමගින් ඔබ හමු වන තුරු ඔබ සැමට සුභ රාත්‍රියක්, සුභ දවසක් ;)

(ලින්ක් ලබා දී ඇති වීඩියෝ වල අයිතිය තරින්ද දිලිප් සොහොයුරා සතුය.)