Thursday, November 14, 2013

චෝගම් ෆන්




එහා කඩේ අයියා :

අපේ මහින්ද මහත්තයාගේ මොලේ තමයි මල්ලි 
මොලේ. බලන්නකෝ මේ වැඩෙන් අපේ රටට ලැබෙන කිර්තිය. මේ 
පැත්තට වරායක් ගුවන් තොටුපලක් හම්බ උනා. ඒ මදිවට තව 
කොච්චර සංවර්ධනයක් වෙලා තියෙනවද? පිටරට කොම්පැනිකාරයෝ 
ඇවිත් මෙහේ කර්මාන්ත ශාලා එහෙම පටන් ගත්තම අපේ කොල්ලන්ට
කෙල්ලන්ට කි දෙනෙකුට රස්සා හම්බ වෙනවද මල්ලි 

බෝඩිමේ අක්කා: 

ඔය එනවා කියන උන් එනකම් තමයි ඉන්නේ මමත් දෙකක් කතා කරන්න. බලන්න රට ළුණු කිලෝ එක 220 යි. අල 220 ගම්මිරිස් 600. ඒ මදිවට වෙරළේ හැමදාම බෑන් චුන් ගහලා ආතල් දෙනවා. මොන සල්ලියක්ද මේ යක්කු මේ නාස්ති කරන්නේ .........

අහල පහල කොල්ලෝ: 

පිට රට රාජ්‍ය නායකයන්ටයි කොල්ලන්ටයි බල්ලන්ටයි මෙහේ ඇවිල්ලා #@$ක් ගහලා ආතල් එකක් අරගෙන යන්න දෙනවා නම් අපට මෙහෙම ආතල් එකක් දුන්නම මොකෝ. මේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට මෙහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං 

බුකියේ උන් : 

හෙන ගහපං මහ රජාට

වැඩ කරන උන් :

අතට කියක් හරි හොයාගන්න පුළුවන් මෙහෙමවත් වැඩක් සෙට් උනොත් විතරයි. අනික අපේ පලාතට මේකෙන් හම්බවෙච්ච දේවල්. අනේ අපේ මහින්ද මහත්තයව සියලු දෙවියෝ බුදුන් රැක දෙන්න ඕනේ. 

මං :


සුං පෙත්ත කැරකෙනවා 


වෙරළේ ආතල් දෙනවා 



ටි.වී එකේ සුරංගනා 



කතා කියනවා .....


ආශ්චර්ය ළඟ එනවා 



බඩු මිල ඉහලට යනවා 



චෝගම් ෆන් ගන්න දිහා 



බලා ඉන්නවා ...




Wednesday, October 9, 2013

මට හිතෙන එව්වා මෙව්වා ටිකක්

අනාගත අගනුවර පදිංචියට ආවට පස්සේ මේක දිහා ඇහැක් ඇරලා බලන්න බැරි උනේ වැඩිපුරම කම්මැලි කමට. හිතට එන දේවල් ඒ වෙලාවේම බුකි බිත්තියේ දාන කොට බ්ලොගක් තියෙන බව අමතක වෙලා යනවා. ජොබයි බෝඩිමයි අතර ගෙවෙන ජිවිතේ අතරතුර පළාතේ  හැම තැනම කිලෝ මීටර්නැතුව ඇවිද්දත් අතේ කැමරාවක් නැති නිසා පින්තුරයක්වත් ගන්න බැරි උනා. මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මේ ටිකේ මිනිස්සුන්ගේ දැක්ක දේවල් ගැන කියන්න.

මම මේ ටිකේ වැඩ කරන්නේ ළමයින් එක්ක වැඩ කරන්නේ තංගල්ල හම්බන්තොට ප්‍රදේශ වල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක හිංදා ඒ පළාත් වල මිනිස්සු එක්ක ගොඩාක් ගැවසෙන්න සිද්ද වෙනවා. ගොඩක් වෙලාවට ඒ ගොඩාක් මිනිස්සු අඩු ආදායම් ලාභී කියන ලේබලය ගහලා තියෙන අය. අපේ ආයතනය මගින් සිද්ද වෙන්නේ ඒ ජනතාවගේ දරුවන්ගේ ජිවන තත්වය උසස් කිරීමට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආධාර කිරීම වගේ වැඩසටහන්.

නිකන් හම්බ වෙනවා නම් දෙමල පත්තරේ උනත් භාර ගන්න ජනතාව, අපේ ආයතනය හරහා ඒ අයගේ දරුවන්ට ලැබෙන ආධාර මුදලත් ඔවුන්ගේ අයිතිවාසිකමක් විදියට හිතන්න පුරුදු වෙලා.  අපිව මුණ ගැහෙන්න එන්නෙම නැති බැරි කම කියාගෙන. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කෙනෙකුට පිනට යමක් දෙනවා කියන්නේ ඒ මනුස්සයා අනුන්ගෙන්ම යැපෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. ඒ මනුස්සයා කවදාවත්ම හිතන්නේ නෑ තමන් මහන්සි වෙලා කියක් හරි උපයා ගන්න. කෙනෙකුට සල්ලි දෙනවට වඩා ඔහුට යම් කිසි වෘත්තිය පුහුණුවක් ලබා දෙන එක මගින් රටට බරක් නැති පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන්.

අපි දරුවන්ට ඉගන ගන්න ලබාදෙන ආධාර ඒ දරුවාගේ තාත්තගේ මත්වතුර පිපාසය නිවන්න යොදාගන්න හැටි මම ඕන තරං දැකලා තියෙනවා. සල්ලි කෙලින්ම දරුවාගේ බැංකු ගිණුමේ තැන්පත් කරන්න වැඩ පිළිවලක් යෝජනා කලාම දෙමාපියෝ එන්නේ රෙද්ද උස්සගෙන. ඒ අයගේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න හදනකොට විරුද්ද වෙන්නේ ඒ දරුවන්ගේම දෙමව්පියෝ. අපේ ආයතනය යම් කිසි දරුවෙක් උදෙසා වියදම් කරන්නේ ඒ දරුවා ඉගනගෙන තමන්ගේ අනාගතය සාර්ථක කර ගනියි කියන බලාපොරොත්තුවෙන්. ළමයා වෙනුවෙන් ලබා දෙන මුදල නිස්කාරනේ එදිනෙදා කටයුතු වලට වියදම් කරනවා දකින කොට ඇත්තටම හිතට ඇති වෙන්නේ දුකක්. මේ ඉන්න යැපුම් මානසිකත්වයෙන් මිනිස්සු ගලවන්න ලේසි නෑ. 

අද අපේ ව්‍යාපෘතියට සම්බන්ධ එක්තරා පවුලක උත්සවයකට අපේ කාර්ය මණ්ඩලයට යාමට සිද්ද උනා. අතේ සතේ නැතුව නැති බැරි කමම කියාගෙන අපේ ලඟට වෙනදට එන ඒ පවුලේ පුද්ගලයන් මේ උත්සවය සඳහා වියදම් කරලා තිබුනේ හිතාගන්නවත් බැරි විදියට. ඩි ජේ, අරක්කු, බයිට්, කෑම බිම, සඳහා ඒ අය සමහර විට වියදම් කලේ කාට හරි ණය වෙලා වෙන්නත් පුළුවන්. ණය වෙලා රටේ ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න, ආතල් දෙනවට වඩා ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඒ සල්ලි වියදම් කළා නම් අඩු තරමේ අනාගතයේ ඒ දරුවෙක් වත් යැපුම් මානසිකත්වයෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් වෙයි.

ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය සංවිධාන බහුතරයක් තියෙන ප්‍රදේශයක් වශයෙන් කලින් තිබුනාට වඩා මේ ප්‍රදේශ වල ජනතාවගේ ජිවන තත්වය නම් ඉහල මට්ටමක මේ වන විට තියෙනවා කියලා කියන්න පුළුවන්. සමහර විට ඒ රජයෙන් මේ ප්‍රදේශයේ කරගෙන යන සීග්‍ර සංවර්ධන කටයුතු එක්ක වෙන්න ඇති. විපක්ෂයෙන් බුකියෙන් බ්ලොග් වලින් කවුරු මොනවා කිව්වත් හම්බන්තොට ප්‍රදේශය අද වෙනකොට සෑහෙන වෙනස් වෙලා ඉවරයි. නැව් එන්නේ නෑ කියපු වරායේ නැව් කිහිපයක් නවත්වලා තියෙන ආකාරය බොහෝ විට පාරේ ඉදන් දක්නට පුළුවන්. සංවර්ධනය කියන එක එක පාරටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්කම සිද්ධ වෙන්න ඕන දෙයක්. 

හැමදේම වෙනස් වෙන ලෝකේ මේ ප්‍රදේශ නම් වෙනස් වෙන්නේ හිතා ගන්නත් බැරි තරං වේගයෙන්. ඒ වගේම වේගයෙන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගති ගුණ හැම දේම වෙනස් වෙනවා. හැමදෙයක්ම විකිනෙන්නේ සල්ලි වලට. ජාතිය ආගම මනුස්සකම් හැමදේම විකිණිලා ඉවරයි. දැන්
තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.......

Sunday, July 28, 2013

ඔබටත් ජනප්‍රිය බ්ලොග් තරුවක් විමට අවශ්‍යද?

දන්නෙම නැතුව බොග කොටන්න පටං අරන් අවුරුදු  දෙකකුත් ඉවර වෙලාය. හිතට දුක අවරුදු දෙකක් බොග දමලාත් තවමත් පෝස්ට් සියක් දමා ගන්නට බැරි උන එක ගැනය. පහුගිය ලියපු එව්වා බලාගෙන යනකොට වැඩිපුරම ලියලා තියෙන්නේත් බයිලා නිසා ඒක නම් එච්චර අවුලක් නැත. ඒ ලියු බයිලා පෝස්ට් අතරිනුත්  බ්ලොග් ලෝකයට පැමිණෙන  හුදී ජන හිත සුව පිණිස  කෙටූ පෝස්ටුව සහ සිංහල බ්ලොග් අවකාශය එදා සිට අද දක්වා  පැමිණි ගමන් මග පිලිබදව ලියු ලිපි වලට අදටත් දවසකට දෙතුන් දෙනෙක් පැමිණෙනු දැකීමද සතුටකි. අප බ්ලොග් ලියන්නේ ආත්ම තෘප්තියක් පිණිස මිස මුදල් හෝ යම් කිසි වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. සිංහල බ්ලොග් කෙරුවාවෙන් උපයනවා නම් උපයන්නේ හිට්ස් කමෙන්ට්ස් වැනිදේ සහ ආත්ම තෘප්තිය පමණකි.

අද මේ පෝස්ටුව ලිය වෙන්නේ ගෙවුණු අවුරුදු දෙක තුල බ්ලොග් අවකාශයේ අහන්න දකින්න ලැබුණු එව්වාගෙන් ලබාගත් අත්දැකීමෙනි. ඒ සිංහල බ්ලොග් අවකාශයේ සිටිනා විට උපයන එකම ආදායම වන හිට්ස් කමෙන්ට්ස් වැඩි කරගන්නා හැටි නොහොත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් කරුවකු/ බ්ලොග් කාරිනියක විමට උපයෝගී කරගත හැකි මාර්ග  කිහිපයක් ගැනය. 


(මෙම උපදෙස් සිංහල බ්ලොග් අවකාශය සදහා පමණක් වලංගු වන උපදෙස් පමණක් බව කරුණාවෙන් සලකන්න )



තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම සිංහල බ්ලොග් අවකාශයට දිනපතා බොහෝ දෙනා පැමිණේ. එම ප්‍රමාණය දිනපතාම ඉහල යනවා මිස අඩුවක් වන්නේ නැත. අපට ඒ අය ප්‍රධාන වශයෙන් පහත පරිදි හදුනා ගත හැක.


01. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවා කමෙන්ට්ස් දමන අය.


02. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත් අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවන කමෙන්ට්ස් නොදමන අය.  


03.බ්ලොගර් /ගුගල් ප්‍රොෆයිල් එකක් හිමි නමුත් දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන නොයන මුත් බ්ලොග් කියවන වැටෙන පෝස්ට් සදහා තම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දමන අය.


04.බ්ලොග් ලියන කියවන නමුත් තම අනන්‍යතාවය සඟවා කමෙන්ට්ස් දමන අය (ඇනෝ)


05.බ්ලොග් කියවීම පමණක් කරන අය.


06. වෙනත් 


ඉහත සදහන් කල කුමන අය තම බ්ලොග් අඩවියට පැමිණියද තමන්ගේ බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරේ ඉහල යනු ඇත. නමුත් නම කියූ පමණින් බ්ලොග් අවකාශයම දන්නා හදුනන  ජනප්‍රිය බ්ලොග් කරුවකු විමට එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල යුතු බොහෝ දේ තිබේ. 

01. ඔබ බ්ලොග් අඩවියක් ආරම්භ කිරිමට අදහස් කරන්නේද?


එසේ නම්  ඔබ මුලින්ම අන්වර්ථ නාමයකින් හෝ තමන් අනාගතයේදී බ්ලොග් ලොවට පිවිසිමට අදහස් කරන නමින් ප්‍රොෆයිල් එකක් හදා ගත යුතුය.  


(එකකට වඩා ඇති නම් එයද වාසිදායකය. නමුත් වැඩේ අල කර නොගැනිමට තමන් වග බලාගත යුතුය)


දැන් ඔබට එසේ සාදා ගත් ප්‍රො‍ෆයිල් එක භාවිතා කර අන් අයගේ බ්ලොග් ‍ෆලෝ කිරීම කමෙන්ට්ස් දැමීම දැන් ඔබට ආරම්භ කල හැකිය. 


ඔබට උවමනා ආකාරයට ඔබේ අදහස් කමෙන්ට්ස් මගින් ඉදිරිපත් කරන්න. මත ගැටුම් ඇති කර ගන්න. එවන් අවස්ථා වලදී ඔබට ඔබ සතුව ඇති අනෙකුත් ප්‍රොෆයිල් ද භාවිතා කර ඔබගේ මතය අන් අය වෙත රැගෙන යාමට හැකියාව ඇත.


උදාහරණයක් ලෙස,

ඔබේ නම සුනිමල් නම් ඔබ යම් බ්ලොගයක 

"සුනිමල් වන මට ඔලුවක් නැත" 


යනුවෙන් කමෙන්ටුවක් දැමුවා යයි සිතන්න. ඔබට ඔලුවක් තිබෙන බව ඔබට ප්‍රතිවිරුද්ද අදහස් කරන අය පවසනු ඇත. නොසැලෙන්න. ඔබේ අනිත් ප්‍රොෆයිල් වල සහයද ලබා ගන්න. ඒවායින් ලොග් වී ඔබට ඔලුවක් නැති බවට තර්ක කරන්න. අසභ්‍ය වදන් භාවිතා කර හෝ ඔබට හිමි සෑම ප්‍රො‍ෆයිල් එකකින්ම ලොග් වී ඔබට ඔලුවක් නැති බව අන් අයට පැහැදිලි කර දෙන්න. සුනිමල් යන නම අන් සියලු දෙනාගේ මතකයේ කාලාන්තරයක් රැදෙනු ඇත ^_^ 


නිතරම තමන්ට අන් අයගෙන් තර්ජන ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම තුලින්ද ඔබට අන් අයගේ අවධානය දිනාගැනීමේ හැකියාව ඇත. උවමනා නම් ඒ සදහා ඔබටම  හිමි වෙනත් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් භාවිතා කිරීමේ හැකියාව ඇත. (නමුත් වැඩේ අල කර නොගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවය.) ඒ ප්‍රොෆයිල් එක භාවිතයෙන් වෙනත් බ්ලොග් අඩවියක් ආරම්භ කර ඔබ ඔබටම පහර ගසන්න.


උදාහරණයක් ලෙස ඔබට ජනප්‍රිය කරගත යුතුව ඇති ප්‍රොෆයිලය  සුනිමල් නම් ඔබගේ අනිත් ප්‍රොෆයිලය සිරිසේන නම් 


සිරිසේන ප්‍රොෆයිලයෙන් මඩ බ්ලොග් අඩවියක් ආරම්භ කර සුනිමල්ට ඇති වනතුරු පහර ගසන්න. ඕනෑම තර්ජනයක් කරන්න. සිනි ඇති තැනට කුහුඹුවන් පැමිණෙන්නා සේ වලියක් ඇති තැනට අනිවාර්යයෙන්ම බ්ලොග් කරුවන් පැමිණෙන ආකාරය ඔබට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් නොනවතින්න. ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙන් සුනිමල්ගේ ගිනුමින් ලොග් වී සිරිසේනගෙන් ඔබට තර්ජන ඇති බව ලෝකයට පවසන්න. බ්ලොග් ලොවින්ම අනුකම්පාව ඔබට ලැබෙන අතර වලිය ඇවිලවිමට සහ සමාදාන කිරීමට කමෙන්ටු සිය ගණනින් වැටෙනු ඇත. ඒ අතර ඇනෝ පහසුකම භාවිතයෙන් ඔබටම තව තවත් ගින්න ඇවිලවීමේ හැකියාවද ඇති නිසා  කාලාන්තරයක් යනතුරු ඔබට හිට්ස් කමෙන්ට්ස් වලින් අඩුපාඩුවක් නොවනු ඇත. 


‍මේ ආකාරයෙන්ම ෆේස්බුක් ගිණුම් කිහිපයක් භාවිතා කිරීම තුලින් ඔබට අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ බ්ලොග් කාරිනියක් නම් ඒ ආකර්ෂණය දෙගුණ තෙගුණ වනු ඇත.

යම් කිසිවකු ඔබට බැන්නා හෝ නොබැන්නා තර්ජනය කළා හෝ නොකලා හෝ ඔබට තර්ජන ඇති බව අන් අයට පවසන්න. තවත් එම තර්ජන ඔප්පු කර පෙන්විමටද අවශ්‍ය නම් ඔබට හිමි ‍ෆේස් බුක් ‍ෆේක් ගිණුම් තුලින් ඔබේ ගිණුමට හොද හැටි බනින්න. තර්ජනය කරන්න. එහි ස්ක්‍රීන් ෂොට් ගෙන අසභ්‍ය වදන් එඩිට් කර හැකිතාක් අහල පහල සිටිනා මිතුරු මිතුරියන් වෙත ටැග් කරන්න. අනිවාර්යයෙන් ඔබට ඔවුන්ගේ අනුකම්පාව හිමිවනු ඇත. ඔවුන් ඔබ ගැන කතා කරන හැම වාරයකදීම ඔබේ  ජනප්‍රියත්වය ඉහල යනු ඇත.

කාලයක් තිස්සේ බ්ලොග් වලට කමෙන්ට් කිරීම තුලින් බ්ලොග් ලෝකය හදුනා ගෙන පසු කාලීනව බ්ලොග් ලෝකයට පැමිණි බොහෝ දෙනා සිටියි. ඒ අතරින් අපේ ආදරණිය ඔබා මාමා අමතක කල නොහැකිම චරිතයකි. ඒ ආකාරයෙන් බ්ලොග් ලොවට පැමිනි පහු ගිය දවස් වල අවුරුදු දෙක පහු කරපු අපේ ලට පට Praසන්ன ගෙ ලොවෙත් නැති බ්ලොගය ඔහු කමෙන්ට්ස් වලින් ලබාගත්  ජනප්‍රියත්වයයි. 


කමෙන්ට්ස් මගින් හෝ බ්ලොග් වලි මගින් බ්ලොග් ලියන කියවන පිරිස අතර නමක් සාදා ගැනීමට හැකිය. නමුත් ජනප්‍රිය බ්ලොග් කරුවකු කාරිනියක වීමට එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ සදහා කල හැකි හොදම දෙය වන්නේ ඔබටම කියා සෙට් එකක් සාදා ගැනීමයි. සෙට් සංකල්පය යනු බ්ලොග් ලොවට අද ඊයේ පැමිණි දෙයක් නොවේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වූ දින සිට පොර, කබ්බෝ දක්වාම පැවති එතනින් නතර නොවී අනාගතයටත් පවතින්නකි. එම නිසා දැනට පවතින සෙට් එකකට හෝ තමාගේම සෙට් එකක් නිර්මාණය කර ගැනීම මගින් තම සෙට් එකේ පිරිස හෝ බ්ලොග් අඩවියට කමෙන්ට් දමනු ඇත.
බ්ලොග් සුහද හමු වලට, සයිබර් සැණකෙළියට සහභාගී වීම, විනෝද ගමන් යාම, විවිද ඉවෙන්ට් වලට සහභාගී වීම තුලින් බ්ලොග් ලොවේ දිදුලන තරුවක් වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ලියන ලිපියේ වර්ගය අනුව ලැබෙන කමෙන්ටු හිට්ස් ප්‍රමාණය අඩු වැඩි වනු ඇත. වර්තමාන සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම හිට්ස් ලැබෙන ලිපි පහත මාතෘකා යටතේ ලියවුනු ඒවා බව බ්ලොග් අවකාශයේ සැරිසැරීමේදී දැකිය හැක.


01. බ්ලොග් අඩවි පිලිබදව සහ බ්ලොග් කරුවන් සම්බන්ධ මඩ


02. 18 + ලේබලය යටතේ ලියවුනු ලිංගිකත්වය සම්බන්ධ කවි කතා ලිපි 

03. ආදරය/ ගොසිප්/ ප්‍රවෘත්ති 

04.තාක්ෂණික  හා වෙනත් 

මේ අයුරින් වැඩි ජනප්‍රියතාවක් ඇති වර්ගයක පෝස්ට් පල කිරීම තුලින්ද බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරය කරකවෙනු ඇත. මුහුණට මොන මොනවා කිව්වත් බහුතරයක් දෙනා අන් කෙනෙකුගේ බ්ලොග් අඩවියක කමෙන්ටු දමන්නේ ඔහුගේ හෝ ඇයගේ බ්ලොග් අඩවියේ අනෙකා කමෙන්ටුවක් දමන්නේ නම් පමණකි. ඔබ ඔබේ බ්ලොග් අඩවියට කමෙන්ටු බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් අනෙකාගේ බ්ලොගය කියවුවද නැතද අනිවාර්යයෙන් කමෙන්ටුවක් දැමිය යුතුය. නැතහොත් අනෙකා ඔබගේ බ්ලොගය කියවුවද සද්ද නැතුවම යනු ඇත. බ්ලොග් අවකාශයේ කමෙන්ටු ලැබෙන්නේ දමන තරමටය. ඔබ අන් අයට සලකන තරමටම අන් අයද ඔබට සලකනු ඇත. මන්ද ලාංකීය බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවන බහුතරයක් දෙනාට බ්ලොග් අඩවියක් හිමිව ඇත. 


දැමිමට කමෙන්ටුවක් සිතට නො එන්නෙම නම් අපගේ අඩවි රජාගේ වැකිය වැනි //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැනි ඔබගේම වැකියක් නිර්මාණය කර ගන්න. බ්ලොග් අඩවිය කියෙව්වද නැති වුවද ඔබ බ්ලොග් අඩවියට පැමිණි ඇති බව තහවුරු වන බැවින් කමෙන්ටුවේ ණය ගෙවිමට හෝ ඔවුන්ද ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනු ඇත 

(උදාහරණයක් ලෙස 
 //සුභ වේවා රාජ සම්පත් ලැබේවා //  වැකිය ගත්තේ රජා බ්ලොග් නොකියවා කමෙන්ට් කරනවා කිමට නොව සැවොම දන්නා වාක්‍යක් නිසා බව කරුණාවෙන් සලකන්න) 


බ්ලොග් අඩවිය ජනප්‍රිය කර ගැනීම සදහා තවත් ක්‍රමෝපායන් බොහොමයක් තිබේ. නමුත් තමන්ගේ සිතුවිලි මතින් තමන්ගේම අදහසක් නිර්මාණයක් ඉදිරිපත් කර ලබන සුළු හිට්ස් ප්‍රමාණය කමෙන්ට්ස් ප්‍රමාණය වංචාවෙන් ලබාගන්නා දහසින් බැදී කමෙන්ටු වලට වඩා සිය දහස් වරක් වටි.

ජනප්‍රියත්වය සදහා මොනවා කලත් තමන්ගේ ක්‍රියා කලාපය පිලිබදව තමන්ට වඩා දන්නා කෙනෙක් නැත. තමන් පිළිබද හොද හෝ නරක ප්‍රතිරූපයක් සමාජය තුල කෘතිමව නිර්මාණය කල හැකි වුවත් ඒ සියල්ලම තාවකාලික වේ. එසේ කෘතිමව නිර්මාණය කරගත් ජනප්‍රියත්වයන් එක්වරම පිම්බි විත් කෙටි කාලීනව විනාශ වී යන ආකාරය පසුගිය දිනවල දකින්නට ලැබිණි. බ්ලොග් අවකාශයට පමණක් නොව සමස්ත සමාජයටම එය එසේමය. කෘතිමව නිර්මාණය කරගන්නා ජනප්‍රියත්වය කෙටි කලකින්ම අප්‍රිය වී ඔබ නැත්තටම නැති වීමටද හැකියාව ඇත.    



Wednesday, July 17, 2013

සතර පෙර නිමිති

දුටුවෙමි හිමියනේ...





පාට කල දෙතොල සහ 
ඩයි කෙරුණු කෙහෙ රැල්ල 
වියපත් වූ ශරීරය වැසූනු මේකප් තලිය 
සගවයිද මහලු බව කෙලෙසකින් ඒ ලෙසට 


ගිලන් වී එක්තැන්ව තමන් වැදු මහලු මව 
සිටින තුර අසරණව ඒ කිසිත් නොසලකා
නිවන් යන්නට කලින්, අසල්වැසි හැමෝටම 
ලෝකයට පෙනෙන්නට පිං කරන දරු කැලක්.

මහලු වී ගිලන් වී කිසිවකුත් නොසලකා 
විදවමින් ජීවිතය නිමා කල මෑණියන්
යකඩ කටවල් වලින් ඇසෙන ඇගේ ගුණ කථන
නිවස වට කර ඇදුනු ශෝක පණිවිඩ ගොන්න 
ජිවතුන් අතර සිටි කාලයේ දී නොතිබූ
අලුත් වටිනාකමක් අද ඇය ගේ කුණු කයට...... 

හත් දවස තුන් මාසේ දාන බණ පිංකමට 
ඇගේ දු පුතුන්ගේ වරුණාව කියන රඟ 
විසි කරන සල්ලි මිටි වලින් පිට වෙන සුවද 
ඉගි කරයි පිං කමේ තරම මුළු ලෝකයට 

ලොකුම ලොකු පන්සලට 
ලොකුම ලොකු දානයක්...... 

ගමේ පොඩි පන්සලේ වැඩ සිටියි තෙරණුවන් 
කැප වෙමින් සසුන වෙත
 සුරකිමින් ධම් විනය 
ලෝකයෙන් වසන් වී දවල් දානෙත් නැතුව ...
...............








Sunday, July 14, 2013

හිතවත් උදේනි අයියා වෙත ලියමි ..




ඊයේ වනතුරුම සිටියේ මේ ගැන වචනයක්වත් කියන්නේ ලියන්නේ නැහැ කියලා හිතාගෙනය. මේ ටික මෙහෙම හරි ලියන්න හිතුනේ ඊයේ ඉරිදා ලංකාදීප පත්තරේ උඹ ගැන තිබුණු පිටු බාගේ ආටිකල් එක කියෙව්වාට පස්සේය. එදා ඉදලාම දේසපාලනය කියන මාතෘකාව  ඇලජික් ය. මොන දේශපාලනය කලත් උඹ අපේ ගමේ මිනිහාය. මේ ටික ලියන්නේ උදේනි අතුකෝරල කියන ප්‍රාදේශීය සභා සභාපති තුමා  නෙවෙයිය. පොඩි කාලේ ඉදලාම දන්නා කියන උදේනි අයියා වෙනුවෙන්මය.



මොකා දේශපාලනය කලත් ඒ කරන්නේ අත ලෙවකන්නට නොවන බව ගොඩක් දෙනෙක් නොදන්නවා  හිටියාට හැමෝම දන්නවය. උඹ හිටපු පුටුවේ සිට ඉහලට ඉන්න හැම එකාම මුලින්ම කරන්නේ තමන්ට හම්බ කර ගන්නා එකය. රටේ ජනතාව හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෑය. මේ ලියන මම උනත් නිකන් හම්බ වෙන සල්ලියක් තිබේ නම් නොගෙන ඉන්නේ නැතිය. අනිවා ගන්නවාමය. සල්ලි දැක්කාම පැනලා ගන්න එක මනුස්ස ස්වාභාවයය.

පත්තරේ තිබුන හැටියට උඹට ඔය අල්ලස දුන්නාය කියන කෙනාද ප්‍රාදේශීය සභාපති වරයෙක්ය. උඹට බය නැතුව ලක්ෂ විස්සක් ජරාව දෙන්නට කැමති  වෙන්නට නම් අදාළ පස් කොන්තරාත්තුවෙන් ඔහුට හිමි  ලාභයද සුළු පටු එකක් විය නොහැක්කේමය. පත්තරේ ඔහුම කියන පරිදි ඔහු ඔබට පලවෙනි ලක්ෂ පහ ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමට හොරෙන් ය. නීතියට අනුව අල්ලස් දීම මෙන්ම ගැනීමද වරදක් බව ඒ මොහොතේ දී ඔහුට මතක තිබී නැතිය. දැන් උසාවියේදී උඹ ඔය කාරණය ඔප්පු කරන්න ගියොත් නම් උඹ කලිනුත් අල්ලස් ගත්තා කියා නිකම්ම ඔප්පු වෙනවාය. ඒ නිසා ඉක්මනට ගෙදර එන්න ඕන නම් උඹට ඒවා අමතක කරන්නට වෙනවාය. ජනතාවට සේවය කරන්න ඔහුටත් අවංක උවමනාවක් තිබුනේ නම් අහක තියෙන පස් කොන්තරාත්තු පස්සේ යන්න ඔනෑ නැතිය. සභාපති වරයාට ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැට ගසා ගත හැකිය.
   
මොකා මොනවා කලත් නිතිය ඉදිරියේ ඔප්පු වෙනතුරු ඔහු හොද මනුස්ස්සයෙක්ය. මොන සෙල්ලම දැම්මත් ඇතිදා ලග ඉන්නා උන් නැතිදා හොයා ගන්නවත් නැතිය. දැන් උඹට ඒ ටික නම් හොදටම තේරෙනවා ඇතිය. උඹව අල්ලාගෙන ගියපු දා වැඩිපුරම සතුටු වුනේ රතිඥ්ඥා පත්තු කලෙත් ලක්ෂ ගණන් වියදම් කොට පාටි දැම්මෙත් උඹේ ලගින්ම සිට එකට කෑ උඹේම හිත මිතුරන් මිස අපි නොවේ ය. මිතුරා කවුද සතුරා කවුද යන්න උඹට මේ සැරේ නම් හොදටම අවබෝද වන්නට ඇතිය. 

මොන දේශපාලනය උනත් උඹ හොද අනාගතයක් තිබුණු කොල්ලෙක්ය. දැන් දැන් ලැබෙන ආරංචි අනුව පළාත් සභා නාම යෝජනා ලබා ගැනීමේ තරගයක්ද මේක අස්සේ තියෙනවාලු ය. ඒවායේ ඇත්ත නැත්ත මොනවා උනත් දැන් වෙන්න ඕන දේ වෙලා අහවරය. දෙතුන් දෙනෙක් මැරුවත් මාස දෙක තුනෙන් එලියට  රටක ජරාව  කෑ වරදට සදහටම හිරේ ගිය දේශපාලකයින් ගැන අපි නම් අසා නැත. උඹත් ඒ විදියට ඉක්මනටම එලියට එනවා ඇතිය. ඒ ඇවිල්ලාවත් ආයෙත් ඔතනට නොයන විදියට වැඩ කරනවා නම් එච්චරය. 

තව උඹ ගැන ලියනවා නම් ලියන්නට බොහෝ දේවල් ඇත්තේය. මේ ටික මෙහෙම හරි උඹ වෙනුවෙන් ලියන්නට හිතුනේ මොන තැන සිටියත් අනිත් උන් මෙන් නොසිට දැක්ක තැනකදී මල්ලි කියා කතා කරන්නට තරම් වත් නිහතමානි වූ ගමේ කොල්ලා නිසාය. ඇතිදා සීනි නැතිදා ගෝනි යන ලෝක ධර්මතාවය උඹට මට වෙනස් කල නොහැක්කේය. ඒ නිසා ඉක්මනට නිදහස් වී ගෙදර එන්න හැකි වෙන්න කියා පතමින් මම නවතිමි. උඹට තෙරුවන් සරණයි....



Wednesday, June 12, 2013

නිකිණි වැස්ස

උදේ පාන්දරම මහා වැස්සේ කළුතර ටවුන් එක පැත්තට ආවේ පොඩි ඉන්ටර්විව් එකකට. කොහොමින් හරි දෙතුන් දෙනෙක්ගෙන්ම පාර අහගෙන අදාළ තැනට යනකොට හිටියේ අදාළ කොම්පැනියේ ක්ලාක් මහතැන් කෙනෙක් විතරමයි.

"අද හදිසි වැඩක් කියලා බොස් හෙඩ් ඔෆිස් ගියා. අද එන කට්ටියට දෙකෙන් පස්සේ එන්න කියලා කිව්වා" 

කාල වරෙන්කෝ දැන් වෙලාව 10 යි. මොනවා කරන්නද? කාලෙකින් කළුතර නගර සිරි නරබන්නත් බැරි උන එකේ හිමින් සැරේ ටවුම පැත්තට ආවා.  

කොහොමින් හරි නතර උනේ කාලෙකට කලින් සුමනා අක්කලා රගපෑව සිංහල චිත්තරපටි, ඇමරිකාවේ, සම්බාව්‍ය චිත්තරපටි පෙන්නන්නම  වෙන් වෙලා තිබුණු ෆිල්ම් හෝල් දෙක ඉස්සරහ. අම්මට සිරි මේ කොහෙද මේ ? 

ඉස්සර තිබ්බ නම් දෙකත් මාරු වෙලා. වායු සමනය කරන ලද, D.T.S සවුන්ඩ්ස්, සුවපහසු ආසන ... හෝල් එක ඉස්සරහා බෝඩ් එකේ කතාන්තර ගොඩයි.  ඒ හෝල් දෙකටම වෙලා තියෙන සැබෑ වෙනස දැක්කම ඇතුලට නොයා ඉන්න හිතුනෙම නෑ. අනික දවල් දෙක වෙනකම් කරන්නත් දෙයක් තියෙන්න එපැයි. කාලෙකට කලින් මේවයේ පෙන්නපු සම්භාව්‍ය එව්වා බලන්න මකුණෝ පිරුණු ආසන වල වාඩි වෙලා වින්ද දුක මතක් කරකරම හෝල් එක ඇතුලට ගියා. 
ටිකට් දෙන්නත් ඉස්සර හිටපු කොල්ලව එළවලා ලස්සන ගැහැණු ළමයෙක් දාලා.

" මොනවද නංගි අද පෙන්නන්නේ "

" උඩ නිකිණි වැස්ස යට පීටර් වන්"

"උඩ එකට දෙන්න" 

"ඕ. ඩී. සී.  70 යි."

රුපියල් 70 ට බෝඩ් එකේ විස්තරේ අනුව සුපිරි ඒ සී හෝල් එකක ෆිල්ම් එකක් බලන්න හම්බ වෙච්ච චිත්තප්‍රීතියෙන්ම මම උඩට නැග්ගා නිකිණි වැස්ස බලන්න. හෝල් එක ඇතුලේ සු ගාලා දෙතුන් දෙනෙක් හිටියා. වායු සමනය කරන ලද කියලා බෝඩ් වල තිබුනට මුළු හෝල් එකටම එක ෆෑන් එකක් වැඩ කරනවා පේන්න තිබුනා. ඇතුල් වෙනකොටත් ස්ක්‍රීන් එකේ භාචි සුසාන් උගේ අවසාන මොහොත ගැන කියලා බෙරිහන් දෙනවා. එකත් ෆිල්ම් එකේම කෑල්ලක් කියලා හිතා ගෙන හිටියත් ටික වෙලාවකින් බෙල් දෙකක් වැදිලා ලයිට් නිවලා චිත්‍රපටිය පටන් ගත්තා. 




කතාව පටන් ගන්නේම මිනියක් එම්බාම් කරන දර්ශනයකින්. පස්සේ තේරෙන විදියට ඒ මැරිලා තියෙන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි  මල් ශාලාවේ අයිතිකාරයා. මිනිය එම්බාම් කරන්නේ එයාගෙ එකම දියණිය. තාත්තාගෙන් පස්සේ මල් ශාලාව කරගෙන යන්නේ මේ දුව තමයි . මෙයා තවම අවිවාහක තරුණියක්. මේ තරුණියගේ බලාපොරොත්තුව තමන් කරගෙන යන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරන එක. ඒ සදහා එයාට තියෙන සැලැස්ම ආදාහනාගාරයක් තමන්ගේ ගම ප්‍රදේශයේ ඉදි කරලා නගරයේ මල් ශාලා වලට යන අවමංගල උත්සව කටයුතුත් තමන්ගේ මල් ශාලාව වෙත ලබා ගන්න එක.

මේ සිහිනය ඉටු කරගන්න යන ගමනේදී ඇයට බොහෝ දෙනා හමු වෙනවා. උදව් වලට වඩා ලැබෙන්නේ තර්ජන ගර්ජන. මුදල් අල්ලස් ලිංගික අල්ලස් ඉල්ලීම්. මිනි එම්බාම් කරන මේ ගැහැණිය උදේට දකින එකත් මුසල කමක් කියලා හිතන ගම්මු ගැන නොසිතාම මැය තමන්ගේ අරමුණ කරා යන්න මහන්සි වෙනවා. මේ ගමනේ අවසානයේදී ඇයට සිදු වෙන්නේ තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න. නමුත් මරණයෙන් පසුව හෝ ඇගේ සිහිනය ඉටු වෙනවා. එහි වාසිය ලැබෙන්නේ මරණයෙන් පසුව මල් ශාලාවේ හිමිකාරිත්වය ලැබෙන අගේ ගෝලයාට සහ ඔහුගේ සගයාට. 

චිත්‍රපටයේ කැමරා භාවිතය ගැන කතා කරනවා නම් ග්‍රාමීය ප්‍රදේශයක් තුල රූපගත කල නිසාදෝ මා සිතන පරිදි කැමරාවේ දුහුවිලි බැදීම නිසා එහි බොහෝ දර්ශන කහ පැහැයක් ගෙන තිබුනා. නමුත් මල් ශාලා හිමිකාරිනියගේ මරණින් අනතුරුව වැටෙන වැස්සෙන් පසු පෙන්වන අවසාන දර්ශනයේ ඇයගේ ගොලයාත් ඔහුගේ සගයාත් ඒ කහ පැහැයෙන් තොරව ඉතා පැහැදිලිව දැකිය හැකි වන්නේ ඇති වූ වර්ෂාවට කැමරාවේ බැදී තිබු දුහුවිල්ල හේදී ගිය නිසා බව උපකල්පනය කරන්න පුළුවන්.

චිත්‍රපටයේ සංගීතයක් නම් තිබුනාද යන්න පිලිබදව නම් කිසිම මතකයක් නැතත් සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස නදීක ගුරුගේ යන නම නාමාවලියේ දක්නට පුළුවන්.  

අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය තුලින් සමාජයට යම් පණිවිඩයක් දීමට උත්සාහ කරන බව ලාවට මෙන් හැගුනත් ඒ පණිවිඩය මොකක්ද කියලා මට නම් තවම තේරුනේ නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න වෙනවා.

කෙසේ වුවත් මෙම සිනමා පටය තුල මල් ශාලාවේ ගෝලයා සහ ඔහුගේ පෙම්වතිය අල සිටුවන දර්ශන දෙකත්  නැති වුනා නම් අධික නිදිමතක් දැනීම සාමාන්‍ය දෙයක් වීමට බොහෝ සේ ඉඩ තිබුණු බව චිත්‍රපටය නැරබු තුන් හතර දෙනාගේම මුහුණු වලින් පෙනුන බවද කිව යුතුමයි.  

අපේ සම්භාව්‍ය චිත්‍රපටි අපට අගේ නැති උනත් මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගෙන තියෙනවා. ඒ නිසා වත් ඉතිං ගිහිල්ලා බලලා මේකේ බජට් එක කවර් කර ගන්නවත් පුංචි සහයෝගයක් දෙන්න. ස්තුතියි 

Sunday, June 2, 2013

නොදන්නාකමට අහන පුංචි පුරස්න දෙකක්

මේ දවස් වල තියෙන හිතේ තියෙන කචල් බචල් ටික අමතක කරලා දාන්න කියලා හිතාගෙන බ්ලොග් එකක් පැත්තට බුකියට ගොඩ උනොත් හැම තැනම තියෙන්නේ  වලි වලි වලි. වලි කිව්වට ධර්ම යුද්ද වගේ. රටේ තිබ්බ යුද්දෙත් ඉවර වෙලා තියෙන නිසා වෙන කරන්න දෙයක් නැති කමටද කොහෙද රට ජාතිය ආගම රකින්න පෙරමුණ අරගෙන ඉන්න අය දාගන්න වලි දැක්කම ඉතිං විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. සමහර අය මතවාදී ගැටුම් පුද්ගලික කෝන්තර දක්වා වැඩි දියුණු කරගෙන. ඔය වේලාවට ස්ක්‍රීන් එකෙන් අත දාලා එහා පැත්තේ ඉන්න එකාව අල්ලගන්න පුළුවන් උනා නම් අනිනවා හෝම්බට හැටක් විතර. මම නම් ඉතිං ඔය කියන ජාතියේ ආගමක් ධර්මයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති හින්දමද කොහෙද ඔය ජාතිය ආගම රකින්න යන අයගේ ආගම ගැන තියෙන්නේ මාර පුරස්න තොගයක්. ඒ හැම එකකටම ඕන නැහැ. සමාවෙලා ඔබ තුමන්ලාට රට ජාතිය ආගම රකින්න යන්න තියෙන වේලාවෙන් චුටි කාලයක්  කැප කරලා මට තියෙන මේ පුරස්න දෙකට උත්තර දීලා අපි වගේ පන්සිල් පද ටිකවත් හරියට රකින්නේ නැති උන්ට ධර්ම මාර්ගයට එන්න පාර පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් පිං සිද්ද වෙනවා ....

01. මම දන්න කියන අහලා තියෙන විදියට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ තමන්ගේ ධර්මය ශ්‍රවනය කරන පිරිසට මේ සංසාර සාගරෙන් එගොඩ වෙන මාර්ගය පෙන්නලා දෙන්න. ඒ මාර්ගය අවබෝධ කරගන්න නම් සියලු ක්ලේශයන්ගෙන් බැදීම් වලින් අත්මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව සංසාරේට ඇද බැදලා තියාගන්න සියලු බැදීම් නැති කරන්න ඕනේ.   
එහෙමනං මට තියෙන මුල්ම පුරස්නේ 
මේක තමන්ගේ රට තමන්ගේ ජාතිය කියලා හිතේ බැදීම් තියාගෙන මේ සංසාර මාර්ගයෙන් එතෙර වෙන්න පුලුවන්ද?  

(එහෙම නිවන් අවබෝධ කරගන්න තමන්ගේ රට ජාතිය ගැන තියෙන බැදීම අවුලක් නැත්තං එහෙම බැදීමක් ඇතිව හිටපු කෙනෙක් ඊලග ආත්මේ වැරදිලාවත් ඔය කියන හම්බයෙක් ගේ දරුවෙක් වෙලා ඉපදුනොත් ඊට කලින් ආත්මේ රට ජාතිය රකින්න දගලපු දැගලිල්ල අපරාදෙනේ.  වරදවා වටහා ගන්න එපා මගේ ප්‍රශ්නේ තියෙන්නේ බැදීම් ගැන විතරයි හම්බයෝ ගැන නෙවෙයි... 
අතිතයේ හිටපු භික්ෂුන් වහන්සේලා ඉමහත් කැප කිරීම් කරලා මේ රට ජාතිය ආගම විනාශ වෙන්න ඉඩ නොදී මේ දක්වා රැකගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ රට කියන එක තිබුනොත් තමයි බුද්ධ ධර්මය කියන එක ලෝකයේ පවතින්නේ.)

02. බුද්ධ ධර්මය කියලා කියන්නේ කරුණාව මෛත්‍රිය පිලිබදව ඉහලින්ම කතා කරන ධර්මයක්. බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව පිලිබදව කියන්න වචන නැහැ. ඒත් අද එක එක්කෙනා වාද කර ගන්නවා කට්ටියක් කියනවා බුදු හාමුදුරුවෝ නිර්මාංශයි කියලා , තව කට්ටියක් කියනවා එහෙම නැහැ කියලා. ඒ මොක උනත් කමක් නැහැ කියමුකෝ. සංඝ බේදයක් ඇති කරන අදහසින් හරි දේවදත්ත හාමුදුරුවෝ සියලු භික්ෂුන් නිර්මාංශ විය යුතුයි රුක්ෂ මුලික විය යුතුයි වගේ ශික්‍ෂා පද ගේන කොටත් බුදුරජානන් වහන්සේ අනුදැන වදාළේ කැමති කෙනෙක් ඒවා පිළිපැද්දට වරදක් නැහැ කියලා විතරයි. මොකද බුදුරජාණන් වහන්සේ වගේම දේවදත්ත හාමුදුරුවෝත් එදා දැනගෙන හිටියා නීති දැම්මා කියලා  සත්ව ඝාතනය කියන එක නවත්තන එක ප්‍රායෝගික නැහැ කියන කාරණය. 

මට තියෙන දෙවැනි ප්‍රශ්නේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි ඒ වගේ මහා කරුණාවක් තියෙන බුදුරජාණන් වහන්සේවත් මස් මාංශ අනුභව කරන්න එපා කියලා කිසි කෙනෙකුට නීති පැනෙව්වේ නැති කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකින භික්ෂුන් වහන්සේ නමකට බුදුරජානන් වහන්සේගේ මහා කරුනවටත් වඩා කරුණාවක් පහල වෙලා හරක් මරණ එක නවත්වන නීතියක් රජයෙන් පැනෙව්වේ නැහැ කියන කාරණය මත තමන්ගේ ජිවිතය පරිත්‍යාග කිරීම බුදු දහමට කොයි තරම් එකගද කියන එක. 

(මෙහෙම එකක් මේකෙන් හරි අහලා පැහැදිලි කරගන්න හිතුනේ අපේ නායක අනුනායක කියන හාමුදුරුවරුත් මේ ගැන දරන්නේ එක එක ජාතියේ මත නිසා. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය තියෙන්නේ ශ්‍රී ලංකාවේ නම් මේ වගේ දේවල් ත්‍රිපිටක ධර්මයටම අනුව පැහැදිලි කරගන්න එක හොදයිනේ) 

ප්‍රශ්න දෙක ඉවරයි 

අහලා තියෙන විදියට මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ කිසිම කෙනෙක් බලෙන් නිවන් දක්කන්න උත්සාහ කරන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ට මාර්ගෝපදේශකයෙක්. එතුමන් වහන්සේ පෙන්නපු නියම මාර්ගයේ ගියොත් නිර්වානයට යන්න පුළුවන්. ධර්ම මාර්ගය තියාගෙන වෙන 
මාර්ග වල ගියොත්  කොහේ නවතියිද කියන්න බැහැ. ඒක හින්දා මම බලාපොරොත්තු වෙන්නේ තමන් පුද්ගලිකව දාගත්ත කන්නාඩි වලින් බලලා දෙන උත්තරයක් නෙවෙයි. සැබෑ බුද්ධ දේශනා පදනම් කරගෙන දෙන උත්තරයක්.  ඇනෝ ඇවිල්ලා බුද්ධ ධර්මය වෙනුවට එක එක සේනා වල මතවාද වපුරන්න උත්සාහ කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම තෙරුවන් සරණයි. 


Tuesday, May 21, 2013

මුහුණු පොතේ ෆේක් මිතුරෝ

 මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් පවත්වා ගෙන යන ගිණුම් එහෙමත් නැත්තම් ෆේක් එකවුන්ට්ස් ගැන සමාජයේ තියෙන්නේ විවිධාකාර මත. එක එක්කෙනා මේ වගේ ෆේක් ගිණුම් නිර්මාණය කරන්නේ තම තමන්ට තියෙන විවිධාකාර අරමුණු ඉෂ්ට කරගන්න. ඒ අතරේ තමන්ගේ පාළුව කාන්සිය නැති කරගන්න වගේම විවිධ සමාජ විෂමාචාර කටයුතු වලට එන උදවියත් ඕන තරම්. ඒ අයට සමාජයේ තමන්ට තියෙන ප්‍රතිරූපයට කැළලක් ඇති කර නොගෙන තමන්ගේ අරමුණු  ඉෂ්ට කර ගන්න තියෙන පහසු මගක් බවට මුහුණු පොත එහෙමත් නැත්තම් ෆේස් බුක් ගුගල් ටුවිටර් වැනි සමාජ ජාලයන් මේ වෙන කොට පත් වෙලා ඉවරයි.

ඒත් දැන් මේ කතා කරන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් ගිණුම් පවත්වා ගෙන යන මිතුරන් පිරිසක් එකතු වෙලා කරන්න යන වැඩක් ගැන.  ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆේස් බුක් හා ජංගම දුරකථන වලින්ම පමණක් සංවිධානය කෙරුණු මහා අයිස් ක්‍රීම් දන්සල ..


මේ සදහා හැකියාවක් තියෙනවා නම් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.



මුදල් වලින් ආධාරයක් කරනවා නම්,

නම:- W.N.S.S. Fernando

ගිණුම් අංකය:- 10-2642-180-980

බැංකුව:- සම්පත් බැංකුව

ශාඛාව:- පානදුර

කියන එකට හරි 0777615332 නම්බරේට ez කෑෂ් කරන්න හරි 

පුළුවන්.


වැඩි විස්තර සඳහා 078-3862214 ගිණි කුකුළා සම්බන්ද 

කරගන්න


ඔබ ජිවත් වෙන්නේ කුරුනෑගල අවට ප්‍රදේශයක නම් එදාට 

අනිවාර්යෙන්ම සාරගම වැව ලගට ඇවිත් අයිස් කෑමෙන් හරි අපේ 

කොල්ලෝ කෙල්ලෝ සෙට්  එකට සහයෝගයක් දෙන්න පුළුවන්. 

ඔබ කුරුනෑගල ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි නම් මෙන්න එතනට

එන මැප් එක 



කුරුනෑගල පුත්තලම් පාරේ සාරගම වැව ලග.

ඔයාලා එන්නේ බස් එකේ නම් කුරුනෑගල ටවුන් එකේ ඉදන් 

වාරියපොල, හංහමුණ, කටුපොත, කනෝටුව, කීණගස්පිටිය, 

තිත්තවැල්ල හරහා ගෝනගම.......... ඔය ඕනෙ බස් එකක එන්න 

පුලුවන්.


එහෙම නම් මෙතුවක් කාලයක් මුහුණු පොතෙන් අන්වර්ථ නාම වලින් 

හදුනාගෙන හිටපු ලෙන්ගතු යාළුවො ටිකක් හැබැහින් දැකගන්න. කතා 

කරන්න සතුටු වෙන්න. වෙසක් මාසේ 25 වෙනිදා (පුන් පෝයදාට 

පසු දින) උදෑසන 10 සිට කුරුණෑගල එන්න.




මුහුණු පොතේ ෆේක් මිතුරන් මිතුරුකම පිළිබඳව නිර්මාණය වූනු වීඩියෝවක් පහල ලින්කුවෙන් ගිහින්  බලන්න පුළුවන්.


යාළුවො අපි යාළුවො 

අවවාදයයි.

මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්‍රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත 

Tuesday, May 14, 2013

දරුවෝ ......




(චායාරූපය ගුගල් දෙයියන්ගෙන් ඉල්ලාගත් එකක් පමණක් බව සලකන්න )


"මගේ ලොකු පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එයා එහේ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක්. ඒ හොස්පිට්ල් එකේම ඉන්න ඩොක්ට කෙනෙක්ව මැරී කරලා දැන් එහේ තමයි පදිංචිය. බාල පුතා ඉංජිනියර් කෙනෙක් නේ. එයා ...... කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්."

සෝමපාලගේ එකම විනෝදාංශය උනේ වැඩිහිටි නිවාසේ  තමන්ගේ කාමරේ ඉස්සරහ බැංකුවක වාඩිවෙලා තමන්ගේ දරුවන්ගේ විස්තර අනිත් අය එක්ක කියා කියා සතුටු වෙන එක. ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට රස්සාව කරපු සෝමපාලගේ ලොකුම හීනය වෙලා තිබුනේ තමන්ගේ ළමයි තුන් දෙනාව උස් මහත් කරලා හොදට උගන්නලා ලොකු තැනකට ගේන එක. 

ලොකු පුතයි බාල පුතයි දෙන්නම සෝමපාලගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කලාට මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි.

දරුවෝ දෙන්නම රස්සාවට ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ සෝමපාලයි දරුවන්ගේ අම්ම පියසීලියි විතරයි. කාලෙක ඉදං ලෙඩ ගානේ හිටපු පියසිලිත් දරුවන්ගේ ඈත් වීමත් එක්කම වැඩිකල් ජිවත් උනේ නැහැ. අම්මගේ මළගමවත් මද්දු පුතාට දන්වලා යවන්නවත් සෝමපාල වැඩිය උවමනාවක් කලේ නැහැ. අයියයි මල්ලියි දෙන්නම පැත්තකට වෙලා ඉද්දි මරණේ වැඩ කටයුතු ඔක්කොම කලේ කොහොම හරි ආරංචිය දැනගෙන ගෙදර ආව මද්දු පුතා රමේෂ්. ඒ දවස් ටිකටත් සෝමපාල රමේෂ් එක්ක වචන දහයක් කතා කලේ නැහැ.

කාලය ගත උනේ විදුලි වේගයෙන්. පොඩි පුතා සෝමපාලව කොළඹ තමන්ගේ ගෙදර එක්ක ගෙන ගියේ තාත්තට තනියෙන් ගමේ ගෙදර ඉන්න බැහැ කියලා. පලවෙනි සති දෙකේ සොමපාලට ලැබුණු සැලකිල්ලෙ හැටියට තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම තාත්ත කියලයි සොමපාලට හිතුනේ.

"තාත්තේ දැන් මහ ගෙදර කවුරුවත්ම නැති එකේ ඕක නිකං පාලුවට ඇරලා වැඩක් නැහැ නේ."

"ඒක නම් එහෙම තමයි ඉතිං. මම හිතාගෙන ඉන්නේ ඒක ඔය දෙන්නට බෙදලා දෙන්න"

"තාත්තට හැමදාම අපේ ගෙදර ඉන්න පුළුවන් නේ. අයියත් ලංකාවේ ඉන්න අදහසක් නැති නිසා ඔය මහ ගෙදරයි ඉඩමයි මගේ නමට ලියල දාන්න. මගේ අදහසක් තියෙනවා ඔතන හොද හෝටලයක් පටන් ගන්න."

"ඒක අපේ පරම්පරාවෙන් හම්බ වෙච්ච මහ ගෙදර.  උඹල දෙන්නට තමයි කවදාහරි ඒක අයිති වෙන්නේ"

කොහොමින් හරි සතියක් ඇතුලත මහ ගෙදර ඉඩම පොඩි පුතාගේ නමට ලියලා දෙන්න සොමපාල කැමති උනේ හැමදාමත් පොඩි පුතා තමන්ට ආදරෙන් සලකයි කියන විශ්වාසයෙන්. මල්ලිගේ නමට ඉඩම ලියපු බව දැනගත්ත ගමන්ම තාත්ත හොයාගෙන ආව ලොකු පුතා මුණට හිනා වෙලා හිටියත් කතා කලෙ හිත හොදකින් නෙවෙයි කියලා සෝමපාලට තේරුණා. 

ඉඩම ලියාගත්ත දවසේ ඉදං පොඩි පුතා රස්සාවට අමතරව හැමතිස්සෙම හිටියේ අලුත් ගෙස්ට් හවුස් එකේ වැඩ වල. ලේලියි දරුවොයි ජිවත් උනේ එයාලගෙම ලෝකෙක නිසා තිබ්බ සැලකිලි ටික ටික අඩු වෙලා යන්න ගත්තේ වේගයෙන්. ලොකු පුතා ලංකාව අත ඇරලම යන්න ගියේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදින්චියටමයි.  සොමපාලට සිද්ද උනේ බාල පුතාගේ ගෙදර හිර උන හිරකාරයෙක් ගේ තත්වයට පත් වෙන්න.

"ගෙදර කවුරුවත් නැතුව තාත්තට පාලුයි නේද"

"ඒවා නම් එහෙම තමයි. මොනවා කරන්නද පුතේ "

"ගෙස්ට් හවුස් එකේ වැඩ හින්දා මමත් මේ දවස් වල ගෙදර නැහැ නේ. මම තාත්තට හොද තැනක් බලලා තියෙන්නේ. තාත්තට පුළුවන් එහේ ගිහිල්ල නවතින්න. එහේ හරිම හොදයි. ගොඩක් අය ඉන්න නිසා තාත්තට පාලුවකුත් දැනෙන එකක් නැහැ. අනික අපටත් පුළුවන් නේ ඇවිත් තාත්තව බලල යන්න "

 ඊලග දවසේ ඉදන්ම සෝමපාලට වැඩිහිටි නිවාසයේ කාමරයක නවතින්න සිද්ද උනා. කාලය ගත වෙලා ගියා එදා කාර් එකේ ඇවිත් සෝමපාලව වැඩිහිටි නිවාසෙට භාර දීල ගිය පොඩි පුතා ආයේ දකින්නවත් හම්බ උනේ නැහැ. ආණ්ඩුවෙන් හම්බ වෙන පැන්ෂන් එක වැඩිහිටි නිවාසෙට දීලා. එතනින් ලැබෙන දෙයක් කාලා තමන්ගේ වයසේම අනිත් උදවියත් එක්ක ගෙවන ඒකාකාරී ජිවිතේට සෝමපාලටත් ටික ටික හුරු වෙන්න සිද්ද උනා.

........................................................................................................................ 

වැඩිහිටි නිවසෙට දානේ අරගෙන ආව පිරිස අතරේ සුපුරුදු මුණක් සෝමපාලගේ නෙත ගැටුනේ අහම්බෙන්. 

"තාත්තේ"

තමන්ගේ තාත්තව මෙතැනදී දකින්න කවදාවත් රමේෂ් බලාපොරොත්තු උනේ නැහැ.

"මගේ පුතේ"

"ඇයි තාත්තේ මෙතන මෙහෙම දුක් විදින්නේ. මම තාත්තව හොයන්න ගෙදරත් ගියා. මල්ලි ගෙදර විකුනලා දාලා රට ගිහිං කියලා ආරංචි උනා. මම හිතුවේ තාත්තවත් එක්කගෙන යන්න ඇති කියලා."

පොඩි පුතා තමන්ව මුලා කරලා ගියපු හැටි ගැන මතක් වෙනකොට සෝමපාලගේ ඇස් දෙකෙන් කදුළු බිංදු කඩාගෙන වැටුනා  

තාත්තව හැමදාමත් බලාගන්න මට පුළුවන්. අයියටයි මල්ලිටයි තරම් සල්ලි දැන උගත්කම නැති උනාට තාත්තව මට ගොඩාක් වටිනවා. තාත්තා අපිත් එක්ක යන්න ලැස්ති වෙන්න."  

කාලෙකට කලින් තමන් අත ඇරලා දාපු තමන්ගේ දරුවා ආයෙත්  තමන්ව හොයාගෙන ඇවිත් ආයෙත් එයා ලගට එන්න කියලා කතා කරනවා

"පුතා මගේ රත්තරං පුතා. උඹට මම මෙච්චර කාලයක් කරපු හැම දේකටම මට සමා වෙයන් මගේ පුතා" 

 සෝමපාලගේ හිතේ ඇති උන වේදනාව ඇස් දෙකෙන් කදුළු කැට වෙලා කඩාගෙන වැටුනේ කිසිම දෙකක් කියාගන්න බැරුව...........   





Wednesday, May 1, 2013

සයිබර් පුවත්

පපර පපර පං පං පපර පපර පං පපර පං පං පං

ටක් ටික් ටික් ටික්

ආයුබෝවන් මේ සයිබර් මඩ වාහිනී සේවයයි. මෙන්න ප්‍රවෘත්ති,

පුවත් සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ ....

මී මුර ප්‍රදේශයෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ අනර්ඝ කිතුල් රා දිවයින පුරා බෙදාහරින අබේපාල ඩිස්ට්‍රීබියුටර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
ඔබට රා බී වෙරි වීමට අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න. අබේපාල ඩිස්ට්‍රිබියුටර්ස් කොට්ටාව, පන්නිපිටිය.


  මුලින්ම පුවත් සිරස්තල,

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

සවිස්තරාත්මක පුවත්

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ගතියක් ඇති වන බව නවතම පර්යේෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ අනර්ඝ සොයා ගැනීම සිදු කර ඇත්තේ පසු ගිය දිනක පවතී සයිබර් සිහින බක් මහ උළෙලට සහභාගී වූ බ්ලොග් කරුවන් පිරිසක් විසින්. බක් මහ උළෙල අවසන් වී සතියකටත් අධික කාලයක් ගත වී ඇති නමුත් කිසිදා මත් පැන් පානය නොකරන්නේ යයි පවසන ඔවුන් කිහිප දෙනෙකු තවමත් වෙරි මතින් පසු වීම මෙයට හොදම සාක්ෂියක්.



මිට අමතරව රෙඩ් බුල් පානය නිසා අධික ලෙස වෙරි වූ රං ගොජෙක් රුපියල් 240 කට වෙරි වීමට හැකියාව තිබියදීත් තම පරිබෝජනය උදෙසා රැගෙන ආ අරක්කු බෝතල් බෝතල් සදහා වියදම් වූ මුදල් පිලිබදව දුක කියමින් සයිබරය පුරා ඇවිදින බව සයිබර් පුවත් සේවයට වාර්තා වෙනවා. එම රජාගේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයකු සයිබර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ එසේ ඇති වූ දුක නිවා ගැනීම සදහා ඒ අරක්කු බෝතල් කිහිපය ප්‍රමාණවත් වූ බවයි .


අරක්කු වලට  වූ  මුදල් පිලිබදව සොවින් තැවෙන රජා 

තම  ආයතන මගින්   ඉදිරි කාලයේදී විකාශය කිරීමට බලාපොරොත්තු වන සියලුම රියලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලය ලෙස සයිබර් සිහින බක් මහ උළෙලේ ජන ගී තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල වැපා, ඕනයා ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරගයක් ඇති වී තිබෙනවා. සයිබර් පුවත් සේවය එම විද්‍යුත් නාලිකා නියෝජිතයන් ගෙන් කල විමසීමකදී ඔවුන් සදහන් කලේ තම අරමුණ එදා සයිබර් සිහින උළෙලේදී තරගකරුවන්ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් දැක්වූ අදහස් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව එවන් දැනුමක් ඇති සම්පත්ධාරීන් ගේ සේවය ලබා ගැනීම තුලින් තම වැඩසටන් වල ගුණාත්මක භාවය වර්ධනය කරගැනීම බවයි.

දැන් කෙටි විරාමයක්..

ඔබගේ අනාගතය කෙසේද ?

සිකුරා නලලේද? සුදු කොඩි පේනවාද?
කේන්ද්‍රය පරික්ෂා කර ගැනීමට යාමට වෙලාවක් නැද්ද?
ස්කයිප් මගින් අන්තර්ජාලයෙන් 
ජෝතිෂ්‍ය ශාස්ත්රානුකුලව නිවැරදි පලාපල විස්තරයක් ලබා ගැනීමට ඔබටත් අවශ්‍යද?
එසේ නම් අදම මැසේජ් කරන්න 
මාර කුමාර ජෝතිෂ්‍යය සේවය 
ෆේස් බුකිය 
සිරි ලංකාව 

මාරයා - කේන්දරේ බැලුවොත් බැලුවාමයි 

දැන් නැවතත් ප්‍රවෘත්ති 

සයිබර් සිහින සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා දැනටමත්  සයිබර් මෙහෙයුම් කිහිපයක්ම ආරම්භ වී තිබෙනවා. කොස් කොලාලංකාරය වැනි ජනප්‍රිය  පද්‍ය රචනා නිර්මාණය කල රුහුණු පුරයෙන් බිහිවූ සයිබරයේ ජනප්‍රිය කවියෙකු සහ නොහික්මුණු ඇසක් හිමි අයකු මේ සදහා මුලික වී ක්‍රියා කරන බවයි  සයිබර් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මේ පිලිබදව සයිබර් පුවත් සේවය කල විමසීමකදී නොහික්මුණු ඇය ඇස විසින් ප්‍රකාශ කර සිටියේ නම කියවන විට දිව ටැපලෙන බ්ලොග්කාරියන් විසින් තම උත්සාහයට කොතරම් තර්ජන ගර්ජන ඉදිරිපත් කලත් බ්ලොගර් ගූගල් ටුවිටර් සමාජ ජාල වලට අමතරව සයිබරයේ සෑම අහු මුල්ලකම ඔවුන් සොයා තම මෙහෙයුම් දියත් කරන බවයි. 

මෑතක් වන තුරු උගේ ඉසව්වක ෆැන්ටසි පුරවරයක ජිවත් වෙමින් ජනයාට රංගනයන් ඉදිරිපත් කල රුහුණු පුර කවියා අද වන විට තම ෆේස් බුක් ගිණුමද අක්‍රිය කොට දමා රෙඩ් බුල් ආයතනයේ රියදුරු රැකියාවක් හෝ සොයා පයින්ම ඇවිදින බව සයිබර් ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරනවා.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් එකක් භාවිතා කරන ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට අවංක පැට්ටා සහ සමාගම කටයුතු සුදානම් කර තිබෙනවා. එම සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශක ඇල්වින් මදුවන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය සයිබර් වාසි ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීම පිලිබදව දැනුවත් කිරීම සදහා තම සමාගම විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරාම ක්‍රියාත්මක කරන බවයි. මේ පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ටොප් ලැට්  එකක සහ ලැප් ටොප් එකක වෙනස පැහැදිලි කරන අවංක පැට්ටා මහතා.


සිංහල බ්ලොග් අවකාශය තුල  පවතින රූමත්  බ්ලොග් කාරිනියන්ගේ අඩු පාඩුව දුරු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය 2013 සයිබර් සිහින කුමරා පණුවා මහතා  ගේ සංකල්පයක්. සයිබර් පුවත් සේවය සමග කල සාකච්චාවකදී ඒ මහතා පවසා සිටියේ සිංහල බ්ලොග් අවකාශයට පිවිසීමට බලාපොරොත්තු වන රූමත් ගැහැණු  ළමුන් සදහා ඕනෑම උදව්වක් කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත් වන බවත් ඒ සදහා ඕනෑම තරාතිරමක රූමත් ගැහැණු ළමයෙකුට ඉදිරිපත් විය හැකි බවත්ය. ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේ උදව් කිරීම සදහා තමන් සතු ඩේටා කොපමණ වැය උවත් කොපමණ දින ගණනක් ගත වුවද තමා එය ගණන් නොගන්නා බවයි. මේ පිළිබද අදහස් දක්වන පනුවා මහතා. 

පුවත් අවසන් කිරීමට පෙර සාරාංශය 

රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්.

සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ.

තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්.

ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා

බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින්

ඒ සමගින් අද දිනට නියමිත සයිබර් පුවත් ප්‍රකාශය මෙතකින් අවසන් වෙනවා. තවත් මඩින් පිරි පුවත් රැසක් සමගින් ඔබ හමු වන තුරු ඔබ සැමට සුභ රාත්‍රියක්, සුභ දවසක් ;)

(ලින්ක් ලබා දී ඇති වීඩියෝ වල අයිතිය තරින්ද දිලිප් සොහොයුරා සතුය.)




Monday, April 22, 2013

ආදරණිය ඔබා මාමේ අපිට තවමත් ඔබව මතකයි ....



සතුටින් පිරුණු සුන්දර දවසක් අවසන් උනා. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම සයිබරයේ සිහින බක් මහා උළෙල සාර්ථක කර ගැනීම සදහා සහය දක්වපු සහභාගී උණු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. තව තවත් පින්තුර, කතා කරන ෆොටෝ, මඩ ගොඩාක් තව ඉස්සරහට එන්න තියෙන නිසා ඒ ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ.

මේ පෝස්ට් එක අපේ ආදරණිය හිතවතෙක් වෙලා හිටපු ගිය අවුරුද්දේ බක්මහ උළෙලේදී අපිත් එක්ක එකතු වෙලා සතුටු වෙලා ගිහින් හදිසියේම අපෙන් සදහටම සමුගත් අපේ සදාදරණිය ඔබා මාමා(සනත් විජේවර්ධන) සිහිපත් කරලා අන්තිම පේලියේ සෙට් එක සංවිධානය කරන ලේ දන් දීමේ පිං කම ගැන මතක් කරන්නයි.





ලේ දන් දීමේ පිංකම මේ මාසේ 28 වන ඉරිදා දවසේ උදේ 9 ඉදලා හවස 3 වෙනකං වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සම්පාදනය කරලයි තියෙන්නේ. එදාට එන්න පුළුවන් හැමෝම ඇවිත් අපේ ආදරණිය ඔබා මාමා වෙනුවෙන් ලේ බින්දුවක් දන් දීලා සහයෝගය දක්වන්න කියලා ඔයාල හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා .

ලේ දන් දීමේ කඳවුරේ ෆේස්බුක් ඉවෙන්ට් එකට මෙතනින් යන්න පුළුවන්

Friday, April 19, 2013

සයිබර් සිහින උළෙල - රට තොට කතා බහ


රටේ තොටේ විතරක් නෙවෙයි මේ දවස් වල පිට රටවල් වල වගේම වෙන වෙන ලෝක වලත් කතා වෙන්නේ එකම දෙයක් ගැන. ඒ තමයි සයිබරයේ මහා සැණකෙළිය. සයිබර් සිහින බක්මහ උළෙල.  රටේ තොටේ ඇවිදිනකොට අපේ පැපරාසි කණ්ඩායමට අහන්න දකින්න ලැබුණු සහ අපට ලැබුණු තොරතුරු කිහිපයක් තමයි මේ....




 (කොට්ටාව පිටකොටුව 138 බස් රථයක් තුල මැදි වියේ කාන්තාවන් දෙදෙනෙක් )

 "බලන්නකෝ සුජාතා, මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්ටර් නෙට් එකෙන් බ්ලොග් අවකාශයේ මිතුරෝද මොකක්ද එකක් අටවාගෙන අවුරුදු උත්සවයක් තියන්න හදනවලු නේ. අපේ කෙල්ලත් දැන් දවස් ගානක ඉදන් ඕක ගැනමයි කතාව"

"අනේද  කියන්නේ. අපේ ලොකු පුතත් උදේ ඉදන් මහ රෑ වෙනකම් කම්පියුටර් එක ඉස්සරහ වාදී වෙලා ඉඳගෙන ඔය බ්ලොග් එකක්ද මොකක්ද එකක් ලියන එකමයි වැඩේ. අවුරුදු උත්සවයක් ගැන කතා වෙනවා මටත් ඇහුනා "

"අනේ මම දන්නේ නැහැ. ඔය අවුරුදු උත්සව අරක මේක කියලා ගිහිල්ලා අපේ කෙල්ල විභාගේවත් හරියට කරගන්න එකක් නැති වෙයිද කියලා."

"එහෙම කියන්න එපා අනේ.  හැමදාම පාඩම් කරන එකේ ඒ ළමයින්ටත් කියලා සතුටක් තියෙන්න එපැයි. මම නම් අපේ පුතාට කිව්වා යන්න කියලා."

"හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි. එහෙනං අපේ කෙල්ලවත් එවන්නං. කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා එදාට හොද පිස්සුවක් නටයි එහෙනං"

............................................................................................................................

ඇඹිලිපිටිය ටවුම ආසන්නයේ නිවසක් - පොඩි කොලුවෙක් සහ මව 

කොලුවා : අනේ අම්මේ මට කොහොම හරි මේ අවුරුදු උත්සවේට යන්නම ඕනේ .

අම්මා: උඹව තැනකට යවන්න පුළුවන් එකෙක්ද බං. අනික තාත්තා කොහොමටත් කැමති නැහැ මේ විභාගේ කට ළඟ තියාගෙන උඹව ඔය තැන් තැන් වල  යවන්න.

කොලුවා: අනේ අම්මේ එහෙම කියන්න එපා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම ඉන්න යාළුවො ගොඩාක් එදාට එනවා. ආයේ කවදාවත් මෙහෙම චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ නේ.

අම්මා: අනේ උඹට ඉන්න ලෝකේ වටේ යාළුවො. අර කෙල්ලත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න තමයි මේ අවුරුදු උත්සවයක් කියලා කියාගෙන දගලන්නේ.

කොලුවා : ඇයි අම්මේ ඉන්ටර්නෙට් එකෙන් මට හම්බ උන යාළුවො. 

අම්මා : දැන් උඹ ඕකට යන්නේ අවුරුදු කුමාරයා වෙලා  අවුරුදු කුමාරි වෙන එකීව ගෙදර උස්සගෙන එන්නද?

කොලුවා: අනේ අම්මේ, මට අවුරුදු කුමාරයා වෙන්න ඕන නැහැ :/ අම්ම දන්නවනේ ඉතින් මගේ සිංදු.....

අම්මා: හරි හරි මම තාත්තට කියලා බලන්නම්. එතකං නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා.

කොලුවා: මගේ හොද අම්මා . උම්ම්ම්මා ...

අම්මා : ඇති ඇති නවත්තගන්නවා ඔය නාකි හුරතලේ

...........................................................................................................................

 අපාය - යම රජු හමු වීමට යමපල්ලෙක් පැමිණෙයි

යමයා : පස්වාන් දහසකට බුදුවන්න උතුමාණනි ලොකු ප්‍රශ්නයක්

රජු: මොකක්, කවුද යකෝ මේ අපායටත් ප්‍රශ්න දාන එකා  මොකක්ද දැන් ඔය ප්‍රශ්නේ 

යමයා: මේ 21 ඉරිදා යාම පල්ලන් හැම දෙනාම නිවාඩු ඉල්ලනවා ස්වාමිනි. 

රජු: ඒ මොන මගුලකටද යකෝ ඒ? මුන් වෘත්තීය සමිතියක්වත් අටවගෙනද ඒ පාර

යමයා: අවසර ස්වාමිනි. එහෙම දෙයක් නම් නෙවෙයි.

රජු: එහෙනම් මොන මගුලක්ද?

යමයා : අවසර රජතුමනි. මනු ලොව සිංහල බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එදාට අවුරුදු උත්සවයක් තියනවලු නේ. මේ කට්ටියම සෙට් වෙන්නේ ඒක බලන්න යන්න.

රජු: අම්මට සිරි. බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකේ අවුරුදු උත්සවේ නේද එදාට. මමත් එදාට ඒක බලන්න යන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් හැම එකාම නිවාඩු දාගෙන යන්න දගලනවා නම් එහෙම ගිහින් බැහැ නේ.

යමයා : ඒක නේන්නම් රජතුමනි. 

රජු: එදාට ඔය උත්සවේ හැම දෙයක්ම බස් රේඩියෝ එකෙන් ලයිව් දෙනවා කියලා ඔය යමයෝ එකෙක්වත් දන්නේ නැද්ද? එදාට හැමෝගෙම නිවාඩු කැන්සල්. එදා දවසෙම අපායේ හැම බෆල් එකකින් ස්පිකර් එකකින්ම බස් රේඩියෝ එක ඇහෙන විදියට තමුන් වැඩ සලස්වන්න ඕන තේරුනාද?

යමයා : එහෙමයි ස්වාමිනි

රජු: එදා දවසෙම අර හොටු අයිසාගේ ටකරන් වොයිස් එක අහන්න වෙන එකට වඩා වෙන දඩුවමක් තව තියෙනවද? 21 දවසෙම සියලු පවු කාරයන්ට වෙන දඩුවම් දෙන එක අත ඇරලා බස් රේඩියෝ අහන දඩුවම ක්‍රියාත්මක කරන්න මම නියෝග කරනවා.

යමයා: එහෙමයි ස්වාමිනි  


............................................................................................................................

දෙව් ලොව ශක්‍ර භවන - මාතලී සමග සක් දෙවිඳු 

සක් දෙවිදු : කෙසේද රථය සුදානම්ද මාතලී

මාතලී: රථය නම් සුදානම් ස්වාමිනි, ඒත්

සක් දෙවිඳු: ඇයි මොකක්ද ප්‍රශ්නේ මාතලී ?

මාතලී: දෙවගනන් සියලු දෙනාම අප සමග යාමට සුදානමින්. 

සක් දෙවිදු: ඔවුන් කොහේ යන්නද මාතලී 

මාතලී: වෙන කොහි යන්නද දෙවිඳුනි 21 බ්ලොග් අවකාශයේ මිතුරෝ අවුරුදු උත්සවේ නැරඹීමට යාම පිණිස මිස.

සක් දෙවිදු: පිස්සු නම් නටන්න හදන්න එපා මාතලී. ඔය දිව්‍යාංගනාවො ඔතනට ගෙනිහින් ඉන්න බ්ලොග්කාරයෝ ටික උන්ට ලයින් දාන්න පටන් ගත්තම මට වෙන්නේ මොකක්ද? අන්තිමට අවුරුදු උත්සවෙත් හබක්.

මාතලී: ඒකත් ඇත්ත තමයි ස්වාමිනි. දැන් අපි මොකද කරන්නේ.

සක් දෙවිදු: ඔන්න ඔහේ අපි දෙන්න වෙස් වලාගෙන ෂේප් එකේ ගිහිල්ලා අවුරුදු උත්සවේ බලාගෙන එමු. මෙයාලට ඕන නම් බස් රේඩියෝ එකෙන් අහන්නේ නැතැයි අවුරුදු උත්සවේ ගැන.

මාතලී: එහෙම නිකන්ම යන්න බැහැ ස්වාමිනි. මුලින්ම යන්න කලිනුත් අපට කරන්න දේවල් තියෙනවා.

සක් දෙවිඳු: අවුරුදු උත්සවයක් බලන්න යන්න කලින් මොනවද කරන්න තියෙන වැඩ?

මාතලී: මුලින්ම මෙන්න මේ ෆෝම් එක පුරවලා අපේ විස්තර දැනුම් දෙන්න ඕනේ. ඊළගට අපි යන වාහන වල විස්තර ටික cybernewyearfestival2011@gmail.com  කියන ඊ මේල් ලිපිනයට යවන්න ඕනේ. ඒක සංවිධායක මණ්ඩලේට ලොකු පහසුවක් එදාට.

සක් දෙවිඳු : වාහන වල විස්තර කෙසේ වෙතත් අර ෆෝම් එක නම් පුරවලා දාපන් මාතලී. නැත්තම් එදාට කාලත් හමාරයි 

මාතලී: එහෙමයි දෙවිදුනි. මේ ගැන වැඩි විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවියෙනුත් දැනගන්න පුළුවන් 
...........................................................................................................................

ලංකාවේ ලෝකේ පුරා විතරක් නෙවෙයි. දිවය ලෝකේ අපායේ වගේ වෙන වෙන ලෝක වලත් හැම තැනම මේ දවස් වල කතාව බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ අවුරුදු උත්සවේ පිළිබඳව. ඉතිං බ්ලොග් ලියන කියවන ඔයාල හැමෝටමත් 21 වෙනිදා මහරගම් තරුණ සේවා සභා පිටනියට ඇවිල්ලා අවුරුදු උත්සවේ අසිරිය විදගන්න එන කියලා ආරාධනා කරනවා. එහෙම නම් 21 සෙට් වෙමු. ජය වේවා