Monday, April 23, 2012

සිහිනයක් නොවූ සයිබර් සිහින උළෙල 2012


 (පොටෝ එක වෙනි අයියගේ )

හැම ඉරිදා දවසක වගේම රෙප් මහත්තයත් පාන්දරම ගෙයින් එලියට බැස්සේ ක්ලාස් යන්න කියලා පොත් දෙක තුනකුත් අතට අරගන :පි වැඩි දුරක් එන්න උනේ නෑ. මෙන්න පාන්දර හයට විතර එනවා කෝල් එකක් නාකියාගෙන්. 

"මචං උඹ කොහෙද ඉන්නේ. මම නම් ඉන්නේ පිට කොටුවේ"

"මචං මම තවම කළුතර තව පැයකින් ඔතන"


ඉරිදා දවස හින්ද වැඩි ට්‍රැෆික් එකකුත් නැති හින්දම කොල්ල හයයි හතලිස් පහ වෙනකොට වැල්ලවත්තේ. පයින්ම ඇද්ද කුරේ ග්‍රවුන්ඩ් එකට,


මෙන්න ඉන්නවා ඒ වෙනකොටත් නාකියා යැංකි කොලුවා පිටසක්වලයා එක්ක සෙට් එකක්ම. පාන්දරම නම් ලකුණු කරන්න ඇවිල්ලා...


ටික වෙලාවක් යනකොට දේවා, වෙනි අයියා, අභීත අයියා  එහෙමත් ආවා. ඒත් සංවිධායක මණ්ඩලේ රාජ්ලා කට්ටිය නෑ.


තිබ්බ අසනීප තත්වය නිසා ඕනයා රෝහල් ගත කරලා කියන ආරංචිය ආවේ ඔය අතරේ. එතන හිටපු යැංකි කොලුවවත් ඇදගන අභීත අයියා ඒ වෙලාවේම ගියා ඕනයා බලන්න.


සංවිදායක මණ්ඩලේ කස්ටිය සයිබර් සැණකෙළියේ නිල ප්‍රවාහන සහකරු වෙච්ච සද කිදුරාගේ කාර් එකේ නැගලා දෙයියන්ගේ පිහිටෙන් නවයට විතර ආවා පිට්ටනියට. ඒක කාර් එකක්ද ලොරියක්ද කියල සැකයකුත් ආව ඒ වෙලාවේ නම්. 

    
(අපරාදේ මේක පිට්ටනිය මැදට උස්සන් එන්න වෙච්ච මහන්සිය. පොටෝ එක දේවගේ )


මිට කලින් දවසක කොට්ට පොර ගහන්න හදල තිබ්බ අට්ටාලෙකුත් කට්ටිය සෙට් වෙලා ගෙනාවා පිට්ටනිය මැදට. කොට්ට පොර තරගේත් නොමිලේම තියන්න හිතාගන. ටික වෙලාවක් යනකොට ඒකෙ අයිතිකාරයෝ ටික ඇවිත් අට්ටාලේ එහෙම්මම කැබ් එකක පටවගන ගිය හින්දම කොට්ට පොර තරගේත් ඇන හිටියා. 


කට්ටිය රෙජිස්ටර් කරලා ජාතික කොඩිය උස්සලා. ජාතික ගිය ගයලා රණවිරුවෝ සිහි කරලා පටන් ගත්තා තරග ටික. සජීවී විකාශය බස් රේඩියෝවෙන්


අවුරුදු උත්සවේ තරග වලට අමතරව ගෑනු ළමයි බෙදා ගැනීමේ තරග, මතට තිත තැබීම වගේ තරගත් ගොඩාක් තිබුනා කියලත් ආරංචියි.


මෙච්චර කාලයක් සයිබර් අවකාශේ ආරුඩ නම් වලින් විතරක් දැනගන හිටපු, හැංගිලා හිටපු අයගේ මුණු ටික බලා ගන්න හම්බ උනා වගේම අදුනන්නේ නැතිව හිටපු යාලුවොත් ගොඩාක් අදුන ගන්න ලැබුනා. ඒ ගැන නම් තියෙන්නේ පුදුම සතුටක්.


සයිබරේ කට්ටිය එකතුවෙලා මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න ඕන කියන අදහස ඉදිරිපත් කරපු අභීත අයියටත්, දෙවැනි වරටත් මේක සාර්ථකව සංවිධානය කරන්න දැනට මාස ගානක් තිස්සේ දිවා රෑ වෙහෙසුන සංවිධායක මණ්ඩලේ රාජ් ඇතුළු පිරිසට, අනුග්‍රාහක භවතුන්ට වගේම සිහින උළෙල යථාර්ථයක්  කර ගන්න සුළුවෙන් හරි සහයෝගයක් දුන්න හැම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි......


දැනට රෝගාතුරව සිටින ඕනයාටත් චිරාන් මල්ලිටත් ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන්ම ආයෙත් දවසක මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න කට්ටියම සෙට් වෙමු කියාගන අපි නැවතුනා එහෙනම්....




(ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ පරාජය වූ අපේ කණ්ඩායමේ කඹ ඇදිල්ල)
පහන්ගේ පොටෝ එක

කොහේ ගහනවද මන්දා :P

මේකේ මොකට දානවද තව පින්තුර. දැන් බුකියේ ඇති නොවැ පිරෙන්නම.


Tuesday, April 17, 2012

කුණ්ඩලිණි සොයා ගියෙමි 03 කොටස

කලින් ලිපි කියෙව්වේ නැත්තම් කියවලාම එන්න.


01 කොටසට


02 කොටසට


අද එතැන් සිට.....


කලින් ලිපි වලදී කිව්වා වගේ අපි හැම කෙනෙකුගේම ශරීරය ඇතුලේ අසීමිත හැකියාවක් හැංගිලා තියෙනවා. ඒත් අපි ඒ ගැන නොදැන ඉන්න තාක් කල් කොයි තරම් ධර්ම ග්‍රන්ථ කියෙව්වත් දෙවියන්ට බුදුන්ට කොයි තරම් පුද පුජා කලත් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි මේ තාක් කාලයක් විශ්වාස කරලා තියෙන්නේ අපි නොදන්නා දෙයක් ගැන. දෙවියන් කියල කියන්නේ ඇත්තටම අපි නොදන්නා දෙයක්. ඒක තමයි ඇත්ත......


(මම මෙතැනදී දෙවියන් දැකීම යනුවෙන් අදහස් කලේ එක එක ආගම් වල විවිද නම් වලින් හදුන්වන නිවන මෝක්ෂය ස්වර්ගය සාමය දෙවියන් වැනි මිනිසාට විමුක්තිය ලබා ගත හැකි විවිධ මාර්ග සියල්ලටම බව සලකන්න)


අපි අතර හිටපු අතලොස්සක් වෙච්ච මේ දෙවියන් දැකපු අයට අපි පුජනිය තත්වයක් ලබා දීලා ඔවුන්ට වන්දනාමාන කළා. ගරු කළා. අද හැම ආගමක්ම ඔවුන්ට වන්දනා කිරීමෙන් නැවතිලා. නමුත් වන්දනාවෙන් පමණක් කිසිදාක දෙවියන් දකින්න බැහැ. මේ දෙවියන් දකින ශක්තිය හදුනා ගත් නිසාම ඔවුන්ගේත් ඔවුන් වටා සිටි සියලු දෙනාගේත් ජිවිත මහා පරිවර්තනයකට ලක් වුනා...


ගසකට වන්දනා කිරීමෙන් බීජයක් කෙසේ නම් ගසක් වන්නද? බිත්තරයක් කුරුල්ලෙකුට කොතරම් වන්දනා මාන කලත් කෙසේ නම් කුරුල්ලෙක් බවට පත් වන්නද? කෙසේ අත්තටු සලා අහසේ පියාබන්නද? බීජයකට ගසක් බවට පත් වෙන්න උවමනාවක් තිබේ නම් අනිවාර්යයෙන්ම බීජය බීජයක් ලෙසින් මිය යන්නම ඕනේ. බිත්තරයකට කුරුල්ලෙක් බවට පත වෙන්න උවමනා නම් අනිවාර්යයෙන්ම බිත්තරය කටුව බිද ගෙන එලියට එන්නම වෙනවා. එතකොට බිත්තරය බිත්තරයක් විදියට මිය ගිහින් අවසානයි....


ඒ වගේම තමයි ඔබට දෙවියන් දකින්න උවමනා නම්, ඔබ තුල තියෙන මේ මහා ශක්තිය අවදි කරන්න උවමනාවක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබට සිද්ද වෙනවා ඔබව අත අරින්න. කුරුල්ලෙක් වෙන්න ඕන නිසා බිත්තරයට තමන් අත අරින්න උනා වගේ. ගසක් වෙන්න ඕන හින්දා බිජයකට තමන් අත අරින්න උනා වගේ....


පලවෙනි වතාවට බීජයෙන් එලියට එන කුරුළු පැටියට කිසිම හැගීමක් නැහැ තමන්ට අහසේ පියාසර කරන්න පුළුවන් කියන එක ගැන. ඔහුට ඒ පිලිබදව හිතන්නත් බෑ. උන්ගේ මව උගෙන් දැඩිව ඉල්ලා සිටියත් උන්ට ආත්ම විශ්වාසය හිගයි. උන් ගැහෙනවා. අතු අග ඉදිමින් දිරිය සොයනවා.. ජිවිතේ කවමදාකවත් පියාසර නොකරපු කෙනෙක් කොහොමද හිතන්නේ තමන්ටත් පියාසර කරමින්මේ වගේ දුර ගමන් වල යෙදෙන්න පුළුවන් කියලා......


ඔබ තුල වැතිර නිදන ශක්තිය අවදි කර ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ හොදින්ම දන ගන්න ඕන ඔබ කරන්න හදන්නේ නිදාගන ඉන්න සර්පයෙක් අවදි කරන්න හදනවා කියන එක. ඇත්තටම ඒක ඊට වඩා අඩු භයානක එකක් නෙවෙයි. ඇත්තටම නිදන සර්පයෙක් අවදි කරන එක එතරම් භයානක නැහැ. ඒ 97 % ක් ම සර්පයන් විෂ නෑ. අපිට 97  % සර්පයන් එක්කම බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. විෂ සහිත සර්පයන් එක්ක සෙල්ලම් කරන එකත්මෙච්චර භයානක නෑ. මොකද උන් ගෙන් ඔබට වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි ඔබට ඔබගේ ශරීරය අහිමි වෙන එක. නමුත් මේ කතාකරන කුණ්ඩලිනි ශක්තිය සමග සෙල්ලම් කරන එක ඊට වඩා ඉතාම භයානකයි.


කොටින්ම කියනවා නම් මේකත් එක්තරා ආකාරයක මරණයක්. ඔබ ඇතුලාන්තයේ තියෙන ශක්තිය අවධි කල ගමන්ම ඔබ හැටියට ඔබ සම්පුර්ණයෙන්ම මිය ගිහින් සහමුලින්ම අලුත් පුද්ගලයෙක් උපත ලබනවා. මෙන්න මේ කියන මරණයට තියෙන බිය හින්දම තමයි මිනිසුන් හැමදාමත් දෙවියන්ගෙන් ඈත් උනේ. 


දෙවියන් වෙත යන ගමන ඇත්තටම අනාරක්ෂිත ගමනක්. මේ මාර්ගයේ විශාල අනතුරු තියෙනවා. ඔබ මුහුණ දෙන ලොකුම අනතුර තමයි ඊයේ වෙනකම් හිටපු ඔබ තව දුරටත් නොපැවතීම. ශක්තිය අවදි කලොත් එය ඔබව සම්පුර්ණ පරිවර්තනයකට භාජනය කරනවා. ඔබ තුල නව මධ්‍යස්ථාන අවදි වේවි. නව අත්දැකීම් ලැබේවි. හැම දෙයක්ම අලුත් වේවි. ඔබ අලුත් දෙයකට සුදානම් නම් පරණ දෙයින් සමුගන්න ධෛර්ය ඒකරාශී කර ගන්න ඕනේ....


ජිවන ශක්තිය අවදි කරන්න යන ගමනේදී ඔබට සිදු වෙනවා ඔබ සතු සියල්ලම ඔට්ටුවට දමන්න. කිසිම දෙයක් අතේ ඉතිරි කර ගන්නේ නැතුවම. මේක පුංචි පහේ සුදුවක්‌ වෙන්නයි යන්නේ. තමන් සතු සියල්ලම ඔට්ටුවට දමන්නා දිනන්නෙත් තනිවමයි. ඉතාම කුඩා දෙයක් වත් අතේ ඉතුරු කර ගත්තොත් නම් ඔබ පරදිනවාමයි 


බීජයක් මැරෙනවා නම් මැරෙන්න ඕනේ සම්පුර්ණ බීජය හැටියටමයි. එය තමන්ව රැක ගන්නවා නම් එහෙම කරන්න වෙන්නේ සම්පුර්ණ බීජය හැටියටමයි. බාගෙට මිය යාමක් කියල දෙයක් නෑ. ශක්තිය අවදි කිරීමේදී ඔබ ඉතාම කුඩා දෙයක් හෝ අතේ තබා ගත්තොතින් ඔබේ මුළු ශ්‍රමයම අපතේ යාවි. 


පුංචි කතාවකින්ම මේ පොස්ට් එක ඉවර කරන්න හිතුවා...


ඇමරිකාවේ එක පලාතක රන් ආකාර මතුවෙන්න පටන් ගත්තා. බොහෝ අය එහි ඉඩම් මිලදී ගත්තා. එක්තරා කෝටිපති ව්‍යාපාරිකකුත් තමන්ගේ හැම දේපලක්ම විකුනලා මේ පළාතේ කන්දක් මිලදී අරගන නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් මෙහි  රත්රන් කැනීම ආරම්භ කළා. ඔහු සහ ඔහුගේ පිරිස බොහොම වෙහෙස මහන්සියෙන් වැඩකලා. ඒත් රත්‍රන් ගැන කිසිම හෝඩුවාවක් ඔවුන්ට ලැබුනේ නෑ....


ඔහු බියට පත් වුනා. මොකද ඔහුගේ හැම දේපලක්ම ඔහු මේ සදහා යොදවලයි තිබුනේ.


මේ තත්වය යටතේ ඔහු තමන් සතු සියලු උපකරණ සමග එම කදු ගැටය විකිනීමට දැන්වීම් පල කළා. ඔහු සැක පහල කළා. " දැන් මෙතන රත්‍රන් නැති බව හැමෝම දැනගන ඉවරයි. දැන් ඕක ගන්න එන්නේ කවුද? නිකම්ම කෝටි ගානක් වය කරලා ඉඩම් කැබැල්ලක් මිලදී ගන්න කවුරුවත්ම එන එකක් නෑ කියලා"


ඇත්තෙන්ම මිලදී ගන්නෙක් ඉදිරිපත් උනා. මේ කෝටිපති ව්‍යාපාරිකයාට හිතුනා ඔහුට අනතුරු අගවන්න. ඒත් ඔහුට ඒ වෙලාවේ ඒ තරම් ශක්තියක් තිබුනේ නැහැ. ගනු දෙනුව අවසන් උනාට පස්සේ ඔහු මිලදී ගත් පුද්ගලයාට මෙහෙම කිව්වා.


"ඇත්තෙන්ම ඔබ පිස්සෙක් වගෙයි පේන්නේ. ඔබට පෙන්නේ නැද්ද මම මේ ඉඩම විකුනන්නේ මාව විනාශ කලාට පස්සේ බව"


නමුත් මිලදී ගන්නා එයට එකග උනේ නෑ. ඔහු මෙසේ කිව්වා.


" ඔබට කියන්න බෑ ජීවිතය කොහොම වෙයිද කියලා. ඔබ හාරන විට රත්‍රන් නැතුව ඇති. ඔබට කියන්න පුලුවන්ද ඔබ හාරපු නැති කොටසේ රත්‍රන් නැහැ කියලා"


කෝටිපති ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නා ඒක නම් මට කියන්න බෑ කියලා...


ඇත්තටම ඒ පුදුම සහගත දේ සිදු උනා. පළමු අයිතිකාරයා කැනීම් නවත්තලා අඩියකට යටින් රන් ඉල්ලම තිබුනා. මේ බව දැනගත් ඔහුගේ අසරණ කම දෙගුණ තෙගුණ උනා. ඔහු අලුත් කෙනා සොයා ගොස් ඔහුගේ වාසනාව ගැන සුභ පැතුවා..


බොහෝ දෙනෙක් දෙවියන් සොයා ගියා. නමුත් ඒ අය මුළු දුරම ගියේ නෑ. නැතිනම් ඔවුන් තමන්ව සම්පුර්ණයෙන් නැති කලේ නෑ. බොහෝ අවස්ථාවල ඔවුන්ට දෙවියන් මග ඇරුනේ අගලක දෙකක සුළු දුරකින්.......


කුණ්ඩලිනි සොයා යන තවත් කොටසකින් ලගදීම හමු වෙමු.......



Saturday, April 14, 2012

කුණ්ඩලිනී සොයා ගියෙමි 2 කොටස

පලවෙනි කොටස කියෙව්වේ නැති අයට මෙතනින් ගිහිං කියවන්න පුළුවන්.


මේ ලිපිය කියවන්න කලින් මට ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටින්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාල මෙච්චර කාලයක්‌ ඔයාලගේ ඔලුවේ පුරවගන ඉන්න එක එක ආගම් දර්ශන සංස්කෘතීන් පිලිබදව ඔයාලගේ ඔළුවල තියෙන අදහස් හැම දෙයක්ම හිතින් අයින් කරලා මේ ලිපි පෙළ කියවන්න කියන කාරණය. ඔය කියන ආගම් සංස්කෘතීන් පිළිබද එක එක අදහස් ඔයාල ඉපදුන දවසේ ඉදලම ඔයාලගේ මනසට කාවදුන ඒවා. ඒ හින්ද මම මෙතැනදී මෙහෙම කරන්න කියලා කිව්ව පලියට එහෙම කරන්න අමාරුයි කියන එක මම දන්නවා. ඒත් මේ මම කියන්න යන කාරනා නිවැරදිව තේරුම ගන්න ඕනෑකමක් ඔයාල කාට හරි තියෙනවා නම් මේ ලිපි පෙළ කියවලා ඉවර වෙනකම් වත් ඔයාල ලෝකේ දිහා බලන්න දාගන ඉන්න පාට පාට කන්නාඩි ඔක්කොම ගලවලා පැත්තකින් තියන්නම වෙනවා. නිදහස් සිතකින් මේක කියවන්න
................................................................................................................................................................................................................

මනුෂ්‍යයා කියලා කියන්නේ ගවේශනාත්මක සත්වයෙක්. මේ කියන මනුෂ්‍යයා විසින් සිදු කරලා තියෙන විවිධ නව සොයා ගැනීම් හැම එකක්ම ඔහු කරලා තියෙන්නේ අන්න ඒ ඔහු තුල ඇති කියන ගවේශනාත්මක  පිපාසය කියන කාරණය හින්දම තමයි. එක එක ආගම් වලින් එක එක විදියට හදුන්වන නිවන, ස්වර්ගය, මෝක්ෂය, දෙවියන්,  සාමය වගේ විවිධ නම් වලින් හදුන්වන දේවල් හැම එකක්ම මිනිසා කියන සත්වයාට ලැබිලා තියෙන්නෙත්  මෙන්න මේ ගවේෂණ තුලදීම තමයි. ඒ විවිධාකාර නම් වලින් හදුන්වන දර්ශනයන් හොයාගත්ත පුද්ගලයන් උත්තමයන් දෙවියන් බුදුන් යනුවෙන් හදුන්වලා ගවුරව පුද පුජා කරනවාට වඩා යමක් අපි මෙච්චර කාලෙකට කරලා තියෙනවද? ඔබ බොදුනුවෙක් නම් පන්සලට ගිහිං මලක් පහනක් පත්තු කරලා වන්දනා කරනවා ඇති. කිතුනුවෙකු නම් දෙවියන්ට යාඥා කරනවා ඇති. හින්දු නම් දෙවියන්ට පුද පුජා පවත්වනවා ඇති. ඒත් ඒ මොනම වෙලාවක වත් ඔබ කල්පනා කලාද දෙවියන්, ස්වර්ගය, නිර්වාණය, තියෙන්නේ කොතනද කියලා. නෑ නේද?....


අපි කොයි තරමට පන්සල් පල්ලි කෝවිල් වන්දනාවේ ගියත්, දෙවියන් ගැන ස්වර්ගය ගැන නිර්වාණය ගැන කොතරම් කථා කලත් ඒ එකම එක දෙවිදුන් කෙනෙක් සමග වත් පුංචිම පුංචි සම්බන්දතාවයක්වත් පවත්වාගන යන්න ඔබට පුළුවන් වෙලා තියෙනවද? එහෙම කිසිම සම්බන්දතාවයක් නැතත් අපි එහෙම කරන්නේ මොකටද? මොහොතක් හිතන්න ඒක හරියට අන්ධයන් ආලෝකයේ සදාකාලිකත්වය ගැන, බිහිරන් සජීවී සංගීතමය ප්‍රස්තාර ගැන කථා කරනවා හිතනවා වගේ දෙයක් නෙවෙයිද?


මම දැන් කියනවා මේ මුළු මහත් පෘතුවිය පුරාම මනුෂ්‍යයා විසින් නිර්මාණය කරගන තියන පන්සල් පල්ලි කෝවිල් දේවාල වගේ සිද්දස්ඨාන වලින් අපිව මහා රැවටීමකට ලක් කරලා තියෙනවා කියලා. දැන් ඉතින් කට්ටියම එකතුවෙලා මට බනින්න කලින් මේ ටිකත් කියවන්න. තේරුම් ගන්න.

අපට උපරිමයෙන් දෙවියන් විශ්වාස කරන්න පුළුවන්. නමුත් අපට කවමදාකවත් ඔහුව දැක ගන්න නම් ලැබෙන්නේ නෑ. අපි එක්ක ඉන්න යම් කෙනෙක් දැඩි ලෙස අයද සිටිනවානම්, ඔහු බලගතු ලෙස දෙවියන්ගේ පැවැත්ම සනාථ කර සිටිනවා නම්, ඔහු දැඩි ලෙස එසේ විශ්වාස කරන විට දෙවියන් නොමති බවක් ඔප්පු කිරීමට අප හට නොහැකි වනවා නම් අපට හැගෙනවා අප පරාජය වූ බව. එවිට අප පටන් ගන්නවා දෙවියන් විශ්වාස කරන්න. ඔව් අපට දෙවියන් විශ්වාස කරන්න පුළුවන්. ඒත් දෙවියන් විශ්වාස කරනවා කියන්නේ අප දෙවියන් දන්නවා කියන එකවත් දෙවියන් දැක තිබෙනවා කියන කාරණය වත් නෙවෙයි. හුදු විශ්වාසයක්ම විතරයි....


හැමෝටම තේරෙන විදියට උදාහරණයක් මගින් තව දුරටත් මේ කාරණය පැහැදිලි කරනවා නම් අන්ධයෙකුට ආලෝකය කියන්නේ මොකක්ද කියන එක අපි කොහොම ඒත්තු ගන්වන්න උත්සාහ කලත් ඔහුට ආලෝකය කියන්නේ මොකක්ද කියන ඒක තේරුම ගන්න බෑ, ඔහු ජිවිතේ කිසිම දවසක ආලෝකය දැකලා නෑ. නමුත් ඔහු විශ්වාස කරනවා ඔහු පිලිගන්නවා ආලෝකය කියලා දෙයක් තිබෙන බවට....


නිවන ස්වර්ගය මෝක්ෂය සාමය දෙවියන් ඒක ඒක ආගම් දර්ශන වල මොන මොන නම් වලින් හැදින්වුවත් අපි මේවා හොයාගන ආගමික සිද්දස්ථාන ගානේ රස්තියාදු උනාට අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි තවමත් වටහා ගෙන නැහැ මේ කියන දේවල් හැම දෙයක්ම තියෙන්නේ ඔය කිසිම ආගමික ස්ථානයක නොවෙන බව. ආගමික ස්ථාන කියල කියන්නේ සංකේතයක් විතරයි කියන කාරණය. මේ හැමදෙයක්ම සැගවිලා තියෙන්නේ අප තුලමයි කියන කාරණය........


අපි ඔය කියන දේවල් හොයාගන ලෝකේ වටේම වන්දනා ගමන් ගියත් වෙන මොන මොන දේවල් කලත් ඒවා කවමදාවත් අපට මුණ ගැහෙන්නේ නෑ. හේතුව අපි අපේ ශරීරය තුල අපට හොරෙන්  සැගවී තිබෙන අපට දෙවියන් මුණ ගස්වන ඒ මහා ශක්තිය හදුනා නොගත් නිසා.


දැන් ඔබට වැටහෙනවා ඇති මේ ලිපි පෙළ පටන් ගන්න කලින්ම දාගන ඉන්න පාට කන්නාඩි ගලවලා එන්න කියලා මම ඔයාලට කිව්වේ මොන හේතුවකටද කියලා......

නිසැකවම අප තුල මද්‍යස්ථානයක් තියෙනවා නිද්‍රෝපගතව. මේ මධ්‍යස්ථානයේ ශක්තිය දැනගත් ක්‍රිෂ්ණා ආරම්භ කළා ආනන්දයේ නර්තනය. ජේසුස් වහන්සේ කුරුසියේදී පැවසුවා “පියාණනි ඔවුනට සමාව දෙනු මැනවි. ඔවුන් කරන්නේ කුමක්දැයි කියා ඔවුන් නොදන්නා නිසා” කියා. මේ මධ්‍යස්ථානය හේතු කොට ගෙනම සිදුහත් තාපස තුමා බුදු කෙනෙකුන් බවට පත් වුනා. හිතන්න තව දුරටත්.......

මේ ගැන තව දුරටත් උදාහරණයක් මගීන් පැහැදිලි කරන්න මම කැමතියි. හිතන්න අන්දකාරයේ සවි කරලා තියෙන විදුලි බල්බයක් ගැන. එයට විදුලිය සපයන රැහන අපි කපා දැමුවොත් ආලෝකය සැපයීමත් නවතීවි. රැහන එසේම තිබුනත් බල්බය වෙතට විදුලිය නොලැබුනොත් බල්බය පෙර සේම අදුරේම තිබේවි. විදුලිය තමන් වෙතට නොලැබේ නම් අසරණ බල්බය කුමක් කරන්නද?.....

ඒ බල්බය වාගෙමයි අප තුල තිබෙන මධ්‍යස්තානයත්. අප තුල ඇති ජිවන ශක්තිය මේ මධ්‍යස්තානයට නොපැමිණීම හේතුවෙන්ම එය නිසලව අකර්මන්‍යව වැතිර සිටිනවා. ජිවන ශක්‌තිය යොදාගන එය පනගන්වුයේ නැතිනම් එයත් හරියටම අදුරේ තිබෙන බල්බය වාගෙමයි. කිසිම ඵලයක් නෑ, ආලෝකයක් නෑ........


හිතන්න ජීවිතය ගැන නැවතත්. බලන්න ජීවිතය දෙස අලුත් ඇසකින්.........
අපට හොර රහසේ අප තුලම සැගව සිටින දෙවියන් අපට මුණ ගස්වන ඒ මහා ශක්තිය ගැන කියවෙන තවත් ලිපියකින් ආයෙමත් ලගදීම මුණ ගැහෙමු..........   


3 කොටසට මෙතනින් යන්න පුළුවන්