Tuesday, April 17, 2012

කුණ්ඩලිණි සොයා ගියෙමි 03 කොටස

කලින් ලිපි කියෙව්වේ නැත්තම් කියවලාම එන්න.


01 කොටසට


02 කොටසට


අද එතැන් සිට.....


කලින් ලිපි වලදී කිව්වා වගේ අපි හැම කෙනෙකුගේම ශරීරය ඇතුලේ අසීමිත හැකියාවක් හැංගිලා තියෙනවා. ඒත් අපි ඒ ගැන නොදැන ඉන්න තාක් කල් කොයි තරම් ධර්ම ග්‍රන්ථ කියෙව්වත් දෙවියන්ට බුදුන්ට කොයි තරම් පුද පුජා කලත් ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි මේ තාක් කාලයක් විශ්වාස කරලා තියෙන්නේ අපි නොදන්නා දෙයක් ගැන. දෙවියන් කියල කියන්නේ ඇත්තටම අපි නොදන්නා දෙයක්. ඒක තමයි ඇත්ත......


(මම මෙතැනදී දෙවියන් දැකීම යනුවෙන් අදහස් කලේ එක එක ආගම් වල විවිද නම් වලින් හදුන්වන නිවන මෝක්ෂය ස්වර්ගය සාමය දෙවියන් වැනි මිනිසාට විමුක්තිය ලබා ගත හැකි විවිධ මාර්ග සියල්ලටම බව සලකන්න)


අපි අතර හිටපු අතලොස්සක් වෙච්ච මේ දෙවියන් දැකපු අයට අපි පුජනිය තත්වයක් ලබා දීලා ඔවුන්ට වන්දනාමාන කළා. ගරු කළා. අද හැම ආගමක්ම ඔවුන්ට වන්දනා කිරීමෙන් නැවතිලා. නමුත් වන්දනාවෙන් පමණක් කිසිදාක දෙවියන් දකින්න බැහැ. මේ දෙවියන් දකින ශක්තිය හදුනා ගත් නිසාම ඔවුන්ගේත් ඔවුන් වටා සිටි සියලු දෙනාගේත් ජිවිත මහා පරිවර්තනයකට ලක් වුනා...


ගසකට වන්දනා කිරීමෙන් බීජයක් කෙසේ නම් ගසක් වන්නද? බිත්තරයක් කුරුල්ලෙකුට කොතරම් වන්දනා මාන කලත් කෙසේ නම් කුරුල්ලෙක් බවට පත් වන්නද? කෙසේ අත්තටු සලා අහසේ පියාබන්නද? බීජයකට ගසක් බවට පත් වෙන්න උවමනාවක් තිබේ නම් අනිවාර්යයෙන්ම බීජය බීජයක් ලෙසින් මිය යන්නම ඕනේ. බිත්තරයකට කුරුල්ලෙක් බවට පත වෙන්න උවමනා නම් අනිවාර්යයෙන්ම බිත්තරය කටුව බිද ගෙන එලියට එන්නම වෙනවා. එතකොට බිත්තරය බිත්තරයක් විදියට මිය ගිහින් අවසානයි....


ඒ වගේම තමයි ඔබට දෙවියන් දකින්න උවමනා නම්, ඔබ තුල තියෙන මේ මහා ශක්තිය අවදි කරන්න උවමනාවක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබට සිද්ද වෙනවා ඔබව අත අරින්න. කුරුල්ලෙක් වෙන්න ඕන නිසා බිත්තරයට තමන් අත අරින්න උනා වගේ. ගසක් වෙන්න ඕන හින්දා බිජයකට තමන් අත අරින්න උනා වගේ....


පලවෙනි වතාවට බීජයෙන් එලියට එන කුරුළු පැටියට කිසිම හැගීමක් නැහැ තමන්ට අහසේ පියාසර කරන්න පුළුවන් කියන එක ගැන. ඔහුට ඒ පිලිබදව හිතන්නත් බෑ. උන්ගේ මව උගෙන් දැඩිව ඉල්ලා සිටියත් උන්ට ආත්ම විශ්වාසය හිගයි. උන් ගැහෙනවා. අතු අග ඉදිමින් දිරිය සොයනවා.. ජිවිතේ කවමදාකවත් පියාසර නොකරපු කෙනෙක් කොහොමද හිතන්නේ තමන්ටත් පියාසර කරමින්මේ වගේ දුර ගමන් වල යෙදෙන්න පුළුවන් කියලා......


ඔබ තුල වැතිර නිදන ශක්තිය අවදි කර ගන්න ඔබට අවශ්‍ය නම් ඔබ හොදින්ම දන ගන්න ඕන ඔබ කරන්න හදන්නේ නිදාගන ඉන්න සර්පයෙක් අවදි කරන්න හදනවා කියන එක. ඇත්තටම ඒක ඊට වඩා අඩු භයානක එකක් නෙවෙයි. ඇත්තටම නිදන සර්පයෙක් අවදි කරන එක එතරම් භයානක නැහැ. ඒ 97 % ක් ම සර්පයන් විෂ නෑ. අපිට 97  % සර්පයන් එක්කම බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. විෂ සහිත සර්පයන් එක්ක සෙල්ලම් කරන එකත්මෙච්චර භයානක නෑ. මොකද උන් ගෙන් ඔබට වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි ඔබට ඔබගේ ශරීරය අහිමි වෙන එක. නමුත් මේ කතාකරන කුණ්ඩලිනි ශක්තිය සමග සෙල්ලම් කරන එක ඊට වඩා ඉතාම භයානකයි.


කොටින්ම කියනවා නම් මේකත් එක්තරා ආකාරයක මරණයක්. ඔබ ඇතුලාන්තයේ තියෙන ශක්තිය අවධි කල ගමන්ම ඔබ හැටියට ඔබ සම්පුර්ණයෙන්ම මිය ගිහින් සහමුලින්ම අලුත් පුද්ගලයෙක් උපත ලබනවා. මෙන්න මේ කියන මරණයට තියෙන බිය හින්දම තමයි මිනිසුන් හැමදාමත් දෙවියන්ගෙන් ඈත් උනේ. 


දෙවියන් වෙත යන ගමන ඇත්තටම අනාරක්ෂිත ගමනක්. මේ මාර්ගයේ විශාල අනතුරු තියෙනවා. ඔබ මුහුණ දෙන ලොකුම අනතුර තමයි ඊයේ වෙනකම් හිටපු ඔබ තව දුරටත් නොපැවතීම. ශක්තිය අවදි කලොත් එය ඔබව සම්පුර්ණ පරිවර්තනයකට භාජනය කරනවා. ඔබ තුල නව මධ්‍යස්ථාන අවදි වේවි. නව අත්දැකීම් ලැබේවි. හැම දෙයක්ම අලුත් වේවි. ඔබ අලුත් දෙයකට සුදානම් නම් පරණ දෙයින් සමුගන්න ධෛර්ය ඒකරාශී කර ගන්න ඕනේ....


ජිවන ශක්තිය අවදි කරන්න යන ගමනේදී ඔබට සිදු වෙනවා ඔබ සතු සියල්ලම ඔට්ටුවට දමන්න. කිසිම දෙයක් අතේ ඉතිරි කර ගන්නේ නැතුවම. මේක පුංචි පහේ සුදුවක්‌ වෙන්නයි යන්නේ. තමන් සතු සියල්ලම ඔට්ටුවට දමන්නා දිනන්නෙත් තනිවමයි. ඉතාම කුඩා දෙයක් වත් අතේ ඉතුරු කර ගත්තොත් නම් ඔබ පරදිනවාමයි 


බීජයක් මැරෙනවා නම් මැරෙන්න ඕනේ සම්පුර්ණ බීජය හැටියටමයි. එය තමන්ව රැක ගන්නවා නම් එහෙම කරන්න වෙන්නේ සම්පුර්ණ බීජය හැටියටමයි. බාගෙට මිය යාමක් කියල දෙයක් නෑ. ශක්තිය අවදි කිරීමේදී ඔබ ඉතාම කුඩා දෙයක් හෝ අතේ තබා ගත්තොතින් ඔබේ මුළු ශ්‍රමයම අපතේ යාවි. 


පුංචි කතාවකින්ම මේ පොස්ට් එක ඉවර කරන්න හිතුවා...


ඇමරිකාවේ එක පලාතක රන් ආකාර මතුවෙන්න පටන් ගත්තා. බොහෝ අය එහි ඉඩම් මිලදී ගත්තා. එක්තරා කෝටිපති ව්‍යාපාරිකකුත් තමන්ගේ හැම දේපලක්ම විකුනලා මේ පළාතේ කන්දක් මිලදී අරගන නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් මෙහි  රත්රන් කැනීම ආරම්භ කළා. ඔහු සහ ඔහුගේ පිරිස බොහොම වෙහෙස මහන්සියෙන් වැඩකලා. ඒත් රත්‍රන් ගැන කිසිම හෝඩුවාවක් ඔවුන්ට ලැබුනේ නෑ....


ඔහු බියට පත් වුනා. මොකද ඔහුගේ හැම දේපලක්ම ඔහු මේ සදහා යොදවලයි තිබුනේ.


මේ තත්වය යටතේ ඔහු තමන් සතු සියලු උපකරණ සමග එම කදු ගැටය විකිනීමට දැන්වීම් පල කළා. ඔහු සැක පහල කළා. " දැන් මෙතන රත්‍රන් නැති බව හැමෝම දැනගන ඉවරයි. දැන් ඕක ගන්න එන්නේ කවුද? නිකම්ම කෝටි ගානක් වය කරලා ඉඩම් කැබැල්ලක් මිලදී ගන්න කවුරුවත්ම එන එකක් නෑ කියලා"


ඇත්තෙන්ම මිලදී ගන්නෙක් ඉදිරිපත් උනා. මේ කෝටිපති ව්‍යාපාරිකයාට හිතුනා ඔහුට අනතුරු අගවන්න. ඒත් ඔහුට ඒ වෙලාවේ ඒ තරම් ශක්තියක් තිබුනේ නැහැ. ගනු දෙනුව අවසන් උනාට පස්සේ ඔහු මිලදී ගත් පුද්ගලයාට මෙහෙම කිව්වා.


"ඇත්තෙන්ම ඔබ පිස්සෙක් වගෙයි පේන්නේ. ඔබට පෙන්නේ නැද්ද මම මේ ඉඩම විකුනන්නේ මාව විනාශ කලාට පස්සේ බව"


නමුත් මිලදී ගන්නා එයට එකග උනේ නෑ. ඔහු මෙසේ කිව්වා.


" ඔබට කියන්න බෑ ජීවිතය කොහොම වෙයිද කියලා. ඔබ හාරන විට රත්‍රන් නැතුව ඇති. ඔබට කියන්න පුලුවන්ද ඔබ හාරපු නැති කොටසේ රත්‍රන් නැහැ කියලා"


කෝටිපති ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නා ඒක නම් මට කියන්න බෑ කියලා...


ඇත්තටම ඒ පුදුම සහගත දේ සිදු උනා. පළමු අයිතිකාරයා කැනීම් නවත්තලා අඩියකට යටින් රන් ඉල්ලම තිබුනා. මේ බව දැනගත් ඔහුගේ අසරණ කම දෙගුණ තෙගුණ උනා. ඔහු අලුත් කෙනා සොයා ගොස් ඔහුගේ වාසනාව ගැන සුභ පැතුවා..


බොහෝ දෙනෙක් දෙවියන් සොයා ගියා. නමුත් ඒ අය මුළු දුරම ගියේ නෑ. නැතිනම් ඔවුන් තමන්ව සම්පුර්ණයෙන් නැති කලේ නෑ. බොහෝ අවස්ථාවල ඔවුන්ට දෙවියන් මග ඇරුනේ අගලක දෙකක සුළු දුරකින්.......


කුණ්ඩලිනි සොයා යන තවත් කොටසකින් ලගදීම හමු වෙමු.......



17 comments:

  1. ඇත්තටම වටින ලිපිමාලාවක්.......

    ReplyDelete
  2. රෙප් මහත්තයා..මේ මාතෘකාව මම සොයමින් හිටපු මාතෘකාවක්..මීට කාලෙකට ඉස්සර මේ පිලිබඳව ලියවුණු පොතක් කියෙව්වා..හැබැයි ඒ පොතේ කාරණා ටිකක් පරස්පර විරෝධියි..ඇත්තටම මේ ලිපිය වටින ලිපියක්..තව ලියමුකෝ එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ජනා, ඒක වෙන්න පුළුවන්. එක් එක් ගුරු කුල වලින් එක එක ආකාරයට මේක ඉදිරිපත් කරලා තියෙන්න පුළුවන්. මොකද මේ ශක්තිය පුබුදනවා කියන කාරණයට මෙන්න මෙහෙමයි කියලා ක්‍රමයක් නෑ. එක් එක් ගුරුකුලයන් වල උගන්වන මේ විවිධ ක්‍රම නිර්මාණය වෙලා තියෙන්නේ එක් එක් අයට ආධ්‍යාත්මික ලෝකයේදී දැනෙන අත්දැකීම් ආශ්‍රයෙන්. එකිනෙකාට ලැබෙන අත්දැකීම් විවිධාකාර වෙන්න පුළුවන්.

      Delete
  3. නිකන් පිස්සු වගේ බං :-)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඊලග ඒවා කියවන්න හිතන්න වත් එපා පිස්සු ඩබල් වෙයි

      Delete
  4. සිරා...

    මචං ප්‍රැක්ටිකලි කරන විදිහ දාපං බං..

    ReplyDelete
    Replies
    1. කරන විදිය දාන්න නම් පුළුවන්. ඒත් උඹ ඒක බලලා ඕවා කරලා අහක යන සර්පයෝ නැගිට්ටවන්න කියා දුන්න කියලා මට එහෙම මොකවත් කියනවා එහෙම නෙවෙයි :පි

      Delete
  5. සංකීර්ණ ලිපි මාලවක් වගෙයි පෙන්නේ.ටිකක් තේරෙන බසින් කියනවා නම් වටිනවා.කෙසේ වුනත් ලිපි මාලාව පුරාම රැදෙන්න බලා සිටිනවා

    ReplyDelete
    Replies
    1. තව ටිකක් සරලව ලියන්න උත්සාහ කරන්නම්. වැඩිපුර උදාහරණ වලින්ම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ තව දුරටත් තේරුම ගන්න පහසු වෙන්න තමයි.

      Delete
  6. මේ අදහස් මේ විදියටම තියෙනව ජෝ. සෙනෙවිරත්න මහත්මයාගෙ පරිවර්තන පොත් වල. "සූත්‍ර නවය" කෘතිය බලන්න. ඒ වගේම තවත් පරිවර්තන කෘති රාශියක මේ දේවල් කියවන්න පුඵවන්.

    ඒ වගේම මේ අකුරු වල සාරය ලබාගත් එම පොත් පත් වල නම් සහ පරිවර්තකයින්ගේ නම් සඳහන් කිරීමට කාරුණික වන්න. වෙන අය විසින් පරිවර්තනය කල පොත් පත් වල කරුණු අපේ අදහස් වගේ බ්ලොග් තුළ පල කිරීමට වඩා එය සදාචාරාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ ඔබගේ කීම මම පිලි ගන්නවා. මෙතන ජෝ සෙනවිරත්න මහතාගේ කෘති වල කරුණු වලට අමතරව ඔහු සමග පුද්ගලිකව සාකච්චා කරලා ලබා ගත්ත කරුනුත් ඇතුලත් වෙනවා. ඒ හින්දම තමයි මේ ලිපි මාලාවේ පලවෙනි කොටසේදීම එතුමාට ස්තුතිය පල කරලා තියෙන්නේ. ඒ වගේම මේ වටිනා ශක්තිය හදුනාගෙන විද්‍යාත්මක පදනමකින් ලෝකයට දායාද කල පත්න්ජලි ඉසිවරයා ගැනත් මෑත කාලීනව මේ දර්ශනය ලෝකයට ඉදිරිපත් කරපු භාව ගුරුවරයා වන ඕෂෝ පිලිබදවත් සදහන් කරලා තියෙන්නේ. මුල් ලිපියේ ඔවුන් පිලිබදව සදහන් කරපු නිසා තමයි සෑම ලිපියකම ඒ පිලිබදව සදහනක් නොකළේ. මොකද මේක එක දිගට ගලාගෙන යන ලිපි මාලාවක්. එක ලිපියක් පමණක් කියවලා අදහස් දක්වනවාට වඩා මුල සිටම මේ ලිපි පෙළ කියවලා අදහසක් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි අදහසට...

      Delete
    2. ඔක්කොම ලිපි කියෙව්ව. ඕෂෝගෙ ජෝ සෙනෙවිරත්න මහතා සහ තවත් කිහිප දෙනෙක් පරිවර්තනය කරපු කෘති වගේම පරිවර්තනය නොවුණ ඉංග්‍රීසි කෘතිත් සිය ගණනක් මා ඇසුරු කරල තියෙන නිසා මේ ලියවෙන කරුණු ඕෂෝගේ බව මම දන්නව.
      ඒ වගේම යෝග සම්බන්ධයෙන් පසුගිය සියවසේදී ඕෂෝ වගේම තව කිහිප දෙනෙක්ම මිනිසුන් දැනුවත් කිරීමට වෙහෙ‍සුණා. ඒ වගේම යෝග වල ඉතිහාසය නොදන්න ඈතකට විහිදෙන්නක් වන අතර පතංජලී විසින් සිදුකොට ඇත්තේ ඒවා සූත්‍ර ගත කිරීමයි. එසේම පතංජලී යෝග ක්‍රම වල "කුණ්ඩලිනී ශක්තිය" අවදි කිරීම පිළිබඳව කතා කෙරෙන නමුත් යෝගා වල අරමුණ කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගැනීමට එහා ගිය දෙයක් වන අතර කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගැනීමකින් තොරවම ඉන් ඉහළ තත්වයන් වෙත අධ්‍යාත්මය ගෙන යාමේ තාක්ෂණයන් යෝගා තුල අඩංගුයි.
      ඕෂෝගේ නොවන කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගැනීම සම්බන්ධ පොත් පත් කිහිපයක් සිංහලට මීට දශක දෙකකට පමණ පෙර පරිවර්තනය වී තිබුණා මට මතකයි. ඒත් ඕෂෝගේ ප්‍රවිශ්ඨය දාර්ශනිකයි. ඒත් යෝගා සම්බන්ධ දැනුම එක් එක් ප්‍රවීනයන්ගේ ඉදිරිපත් කිරීම් අනුව යම් වෙනස් කම් තියෙන බව මම අත්දැකල තියෙනව. ඊට හේතුව යෝගා කියන්නෙ පෘථුල ක්ෂේත්‍රයක්. එකිනෙකාට වෙනස් ක්‍රම අත්දැකීම් හරහා අධ්‍යාත්මය විනිවිදීමේදී ඔවුන් වෙනස් විදියට දේශනා කරන නමුත් මූලික සාරය පතංජලීගේ සූත්‍ර වලට අනුගතයි.
      අවුලක් නෑ දිගටම ලියන්න. ඕෂෝගේ පොත් සැලකිය යුතු ප්‍රමාණයක් කියවල තියෙන නිසා සහ යෝගා ගැන වසර විස්සක පමණ කාලයක් කරන ලද පර්යේෂණාත්මක නිරීක්ෂණ අනුව මම ඕෂෝ සමග වගේම ඕෂෝට වඩා වෙනස් විදියට යෝගා විස්තර කරපු තවත් අවබෝධයට පත් කිහිප දෙනෙ‍ක්ගේ ඉගැන්වීම් ගරු කරනව.ඒත් මේ ලිපි පෙල කියවද්දිම මට පෙනී ගිය කරුණ මේ ඕෂෝගේ අදහස් බවයි. දර්ශනය බවයි. ඒ ගැන මතක් කිරීම ගැන සමාවෙන්න.

      Delete
    3. ඔබ තුමාගේ අදහස් සියල්ලම මට ඉතාමත්ම වටිනවා. මොකද මම මම මුල් ලිපියෙන්ම පැහැදිලි කරලා තියෙනවා මේ ලිපි පෙළ අකාල සන්ද්‍යා නාට්‍යයෙනුත් ඊට අමතරව කුණ්ඩලිනි ගැන ලියපු දුමිගේ කට කහන කතාවලත් තිබ්බ කරුණු නිසාවෙන්ම ඇති වෙච්ච කුතුහලය නිසාවෙන්ම ඒ පිලිබදව සොයා බලා ලියුවක් බව. මට උවමනා කලේ යම් තරමකින්වත් මා දැනගත් කරුණු මිතුරන් සමග බෙදා ගන්න. මම විශ්වාස කරන්නේ අපි යමක් පිලිබදව දන්නවා නම් ඒක තව කෙනෙක් සමග බෙදා ගැනීම තුලින් අපේ දැනුම තව දුරටත් වර්ධනය වන බව. මෙතැනදී මගේ අරමුණ උනේත් මේ පිලිබදව හොදින්ම දන්නා ඔබ තුමන් වැනි අය අයගේ අදහස් ලබාගන මා තුල වගේම මේ ලිපි කියවන අනිත් අය තුලත් මේ සම්බන්දව ඇති දැනුම වර්ධනය කර ගැනීම. මුල්ම ලිපියේදී මේ සම්බන්දයෙන් දන්නා අය ඉන්නවනම් ඔවුන්ගේ දැනුම බෙදා ගන්න එන්න කියලත් ආරාදනා කලේ ඒ නිසාම තමයි.
      මේ ලිපි පෙලට ඔබ තුමන් වැනි අයගේ අදහස් ඉතාමත්ම වටිනවා. ඔබ තුමා සතු දැනුමත් අපිත් එක්ක බෙදා ගන්න දිගටම මේ ලිපි පෙළත් සමග එකතු වෙන්න කියලා ඔබතුමාට වගේම මේ සම්බන්දව දැනුවත් භාවයක් තියෙන සියලු දෙනාටම ආයෙත් සැරයක් ගෞව්රවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි

      Delete
  7. මේ ක්‍රමය ප්‍රයෝගිකව කරපු කවුරු හරි කෙනෙක් අද සමාජේ ඉන්නවද? ඒ කියන්නේ දෙවි කෙනෙක් එක්ක කතා කරපු දැකපු කෙනෙක්.

    ReplyDelete
  8. අද සමාජයේත් මෙහෙම අය ඉන්නවා. මම මගේ ජීවිතේදී ලංකාවේ ජිවත් වෙන ඒ වගේ එකම එක පුද්ගලයෙක් දැකලා තියෙනවා. ඒත් එතුමා කුණ්ඩලිණි ශක්තියද ඊට වඩා වැඩි ශක්තියක් අවදි කරගත්ත කෙනෙක්ද කියන්න දන්නේ නෑ. ඔහු මහා බලයක් තියෙන සාමිවරයෙක් වගේම දෙවියන් විකුණනන් කන වැඩ නොකරන වනගතව වාසය කරන උතුමෙක් කියන එක නම් ස්ථිරයි. එතුමා ගැන වැඩි විස්තර කියන්න දැනට මට අවසර නෑ..............

    ReplyDelete
  9. එතකොට කුණ්ඩලිණි සොයා යන ගමනේ අවසානේ මරණයද. ? ජීවත් වෙලා ඉඳිද්දී මේවගේ බලයක් ලබාගන්න පුළුවන් විදිහක් තියද.? එක ප්‍රයෝගිකව කරන විදිහ දන්නවද. ඒ ශක්තිය අවදි කරන විදිහ. මේක ඇත්තටම සංකීර්ණ, ගැඹුරු, මාතෘකාවක්. මම ගොඩක් කැමතියි. ඊළඟ කොටසත් ඉක්මනට දාන්න රේප් මහත්තයා.

    ReplyDelete