පස් අදින සෙට් එක

Sunday, September 28, 2014

අප්පච්චි,

ඔයා
අපේ අතරින් සදහටම සමු අරං දැන් අවුරුදු 16 කුත් ඉවරයි කියන්න ගොඩක් දේ තිබුනත් කියාගන්න බෑ මේ දිග සංසාරේ ආයෙමත් දවසක කවමදාක හරි අපි මුණ ගැසේවි.
සසර වසන තුරු ඔයාට මේ වගේ අකල් මරණයකට මුහුණ නොදී සසර කෙලවර අමාමහ නිවන් සුව පතන ගමන් රසික අයියා ඔයා ගැන බුකියේ වෝල් එකේ දාල තිබ්බ අතීත ආවර්ජන සටහනත් එකතු කරන්නම් මෙතනටම .......




අමරදාස හෙට්ටිආරච්චි නොහොත් අප්පච්චි. ඒ අපේ මාමා. මාමා උනාට අපි හැමෝම ආදරේට කතා කරේ අප්පච්චි කියලා. ඒ, මාමා අපිට එච්චරම සමීප නිසා, හිතවත් නිසා, ආදරේ නිසා. මාමා කවදත් අපිත් එක්ක මයි හිටියේ. දඟවැඩ කරලා වඩිහිටියන්ව ශේප් කර ගන්න ඕන උනාම අපි යන්නේ මාමා ගාවට. මාමා අපිත් එක්ක හිටිය අන්තිම සති කීපය මට අද වගේ මතකයි. 


1998 සැප්තැම්බර් මාසය. සැප්තැම්බර් මාසේ මුල මාමා ජීප් එකක් ගත්තා. ඒක තිබුනේ උඩුමලගල තිස්ස අයියලාගේ ගෙදර. ඒ දවස් වල මාමා ලර්නර්ස් යනවා. ඩ්‍රයිවින් පුරුදු වෙන්න. මම ඕ ලෙවල් කරලා ගෙදර හිටියේ. ඒක හින්දා මම නිතරම මාමාලගේ ගෙදර යනවා. දවසක් මාමා මාත් එක්ක උඩුමලගල තිස්ස අයියලාගේ ගෙදර ගියා. ඒ ගියේ ජීප් එක පුරුදු වෙන්න. මම මාමත් එක්ක මාමගේ මෝටර් සයිකල් එකේ සැහෙන වතාවක් උඩුමලගල ගිහින් තියෙනවා. ඒ මාමත් එක්ක එහෙ යන අන්තිම වතාව කියලා අපි කවුරුවත් දැන ගෙන හිටියේනැ.
අපි එදා උඩුමලගල ඉදන් වඳුරඹ වෙනකන් ජීප් එකේ ගියා. මටත් පුරුදු වෙන්න කියලා මාමා පෙරැත්ත කරත් මට උවමනාවක් තිබුනේ නැ. මාමා ජීප් එක පැලවත්තේ ගෙනාවම මට පුරුදු වෙන්න පුලුවන්නේ කියලා මම කිවුවා. අපි එදා ගිහින් එන ගමන් ගොඩක් දේවල් ප්ලෑන් කරා. මාමා සැප්තැම්බර් අග සතියේ වගේ ට්‍රයල් යන්න හිටියේ. ට්‍රයල් යන සතියට පස්සේ සතියේ පවුලේ කොල්ලො ටිකත් එක්ක කතරගම යන්න තමයි මාමා හිතාගෙන හිටියේ. 


ඊලග සතියේ අපි හිතපු විදියට දේවල් උනේ නෑ. මාමා අසනීප උනා. වෑත්තෑවේ අපි හිටපු ගෙදරට මාමාව එක්කන් අවා ත්‍රීවීල් එකකින්. මාමගේ යුරින් රිපෝට් එක ගේන්න මතුගම මේඩ් ලැබ් එකට ගියේ මම. ඒක දෙනගමන් ලැබ් එකෙන් මට කිවුවා රිපෝට් එක හොඳ නෑ ලෙඩා ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියලා.
මායි අම්මයි තාත්තයි මාමාව එදා නාගොඩ මහ රෝහලට ඇතුලත් කරන්න ගියා. මල්ලිල දෙන්නා පොඩි හින්දා ඒ දෙන්නා එක්ක නැන්දව අපේ ගෙදර දාල ගියා. ඊට පහු වෙනිදා මට ඉස්කෝල පටන් ගන්න නිසා කොළඹ යන්න උනා. මට නම් ඉස්කෝලෙ යන උවමනාවක් තිබුනේ නෑ. මාමා කිවුවා යන්න යන්න මුලින්ම ඒ ලෙවල් ක්ලාස් පටන් ගන්න සතියනේ කියලා. මම කොළඹ ගියා. සති අන්තයේ එනකොට මාමව ඩිස්චාර්ජ් කරලා.
ඒත් ඊලග සතියෙත් මාමාව ආයෙත් අසනීප වෙලා. මීගහතැන්න ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් තිබුනා. කොළඹ එක්ක එන්න කියලා අපි කොච්චර කිවුවත් මාමා කැමති උනේ නෑ. සති අන්තයේදි අයෙත් මිගහතැන්න හොස්පිටල් එකේ ඇඩ්මිඩ් කරලා තිබුනා. සෙනසුරාදා හවසත් මම කතා කරා මතකයි. එතකොටත් කිවෙවේ හෙට උදේ ඩිස්චාර්ජ් කරනවා කියලා. අපි කිවුවා ඒකට කමක් නෑ කොළඹ ඇවිත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු කියලා. මාමා ඒකට අන්තිමට කැමති උනා. ඒත් ඒ මුකුත් කරන්න වෙලාවක් උනේ නෑ.
1998 සැප්තැම්බර් 27 මහ මූසල ඉරිදා දවසක් උනා අපි හැමෝටම. මම උදේ පන්ති ඉවර වෙලා එන ගමන් නුගේගොඩින් පැලවත්තේ ගෙදරට කෝල එකක් ගත්තා මාමව ගෙදර එක්කන් ආවද කියලා දැන ගන්න. ඒ දවස් වල දැන් වගේ මොබයිල් ෆෝන්ස් නෑ. මම කෝල් ගන්නේ නුගේගොඩ ස්ටේෂන් එක ගාව තියෙන කාසි දාන ෆෝන් එකෙන්. කරුමෙට එදා එතන සෙනග, ඒත් මම මගේ වරය වෙනකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා.
කෝල් එකට ආන්ස්වර් කලේ ආච්චි අම්මා, මාමට කොහොමද එක්කන් අවද ඇහුවම ආච්චි අම්මා මුකුත් කියන්නේ නැතුව දිගටම අඬනවා. මොකද මොකද කියලා මම දිගටම අහනකොට මාමා නැති උනා පුතේ කියලා කිවුවා. මගේ අතින් රිසීවර් එක වැටුනා මතකයි. ඊට පස්සේ අයෙත් මට මතක තියෙන්නේ මම කිරුලපනේ පුංචි අම්මලාගේ ගෙදරට යනකොට පුංචි අම්මත් අඬ අඬ ඉන්නවා. එදා අපේ පවුල් වල කොල්ලෝ හැමෝම කොළඹ. මම මගේ ස්කුල් බෑග් එකට රෙදි ටිකක් පුරවගෙන පුංචි අම්මත් එක්ක ලුම්බිනියට ගියා. උදිත අයියයි චානක අයියයි එදා කම්පියුටර් ක්ලාස් ඇවිත්.
මම පන්තියට ගියා එයලා දෙන්නව එක්කන් එන්න. හදිසියක් ඉක්මනට එන්න කිවුවම උදිත අයියා කලබල වෙලා ඇයි මල්ලි ඇයි කියලා ඇහුවා. මම ඇයි කියලා කියා ගන්න බැරුව සෑහෙන වෙලාවක් හිටියා. ඒත් මාමා නැති උනා කියලා මට කියන්නම උනා. උදිත අයියට ඒක දරාගන්න ගොඩක් අමාරු උනා. ඩෙස්ක් එකක් බදාගෙන අඬන්න ගත්තා, අපි දෙන්නා එවේලෙම පැලවත්තේ යන්න පිටත් උනා. බස් එකේදි දෙන්නත් එක්ක කතා කරේම නැති තරම්. අඬ අඬා දෙපැත්තකට වෙලා හිටියා. ඒත් මතුගම කිට්ටු වෙලා අපි පැලවත්තේ ගියාම කොහොමහරි දරා ගෙන ඉමු, කියලා කතා උනා. අපිත් එතන ගිහින් අඬන්න ගත්තොත් ගෙදර අයගේ දුක තවත් වැඩිවෙන නිසා.
මුල් දවස් ටිකේ දුක දරාගෙන හිටියට මට අන්තිම දවසේ ඒක කරන්න බැරි උනා.
මාම මරණය ගැන මාත් එක්ක ගොඩාක් කතා කරලා තිබුනා. එයාට උවමනා වුනේ එයගේ ඇස් දෙක දන්දීලා, එයාගෙ බොඩි එක මෙඩිකල් කොලේජ් එකට දෙන්න. ඒත් එක කරන්න අපිට බැරි උනා. අපි කවදාවත් හිතුවේ නෑ එයා අපිව එච්චර ඉක්මනට දාලා යයි කියලා. මල ගෙයක් කියලා අඳුන ගන්න එක පාලම් කොඩියක් විතරක් පාර හරහා දැම්මා. වෙන මොනවත් සැරසිලි නෑ. ඒ මාමාගේ කැමැත්ත.
මාමා හරිම හොද කෙනෙක්. එයා ලෙඩ වෙන්න හේතුවත් ඒකයි. එයා මැනුම් වැඩ වලට ගියාම කිසි කෙනෙක් ගෙන් වතුර පොදක් වත් ගන්නේ නෑ. උසාවියෙන් ගෙවන ගාස්තුව විතරමයි එයා ගත්තේ. මැනුම් වලට ගියාම එක කට්ටියකගෙන් වතුර ටිකක් හරි බිවුවම අනිත් අයට අප්සට් යයි කියලා තමයි එය එහෙම කරේ.

මාමා අපේ හැමෝගෙම ජීවිත වල අයේ කවදාවත් පුරවන්න බැරි හිස් තැනක් ඇති කරලා නොහිතුව වෙලාවක අපි හැමෝවම දාල ගියා. මාමාව අපි කාටවත් කිසි දවසක අමතක වෙන්නේ නෑ. මාමාව නැති අඩුව මාමගේ පවුලට විතරක් නෙමෙයි, අපිටත්, ගමටත්, රටටත් හොදටම දැනෙනවා.
පුනර්භවය විශ්වාස කරන අපිට මාමා හොඳ තැනක ඉන්නවා කියල හොදටම විශ්වාසයි. නිවන් දකිනා තුරාවට අපි අතරම ඉපදේවා. ඉක්මනින්ම නිවන් සුව අත්කර ගනීවා කියලා අපි නිරතුරුව ප්‍රාර්ථනා කරනවා

7 comments:

  1. හරිම සංවේදි සටහනක්.
    සසර කෙලවර අමා මහා නිවනින් සැනසේවා !!!
    නුවන්

    ReplyDelete
  2. මාමා ගැන සංවේදි සටහනක්..

    ReplyDelete
  3. මාමලගෙ සුළැඟිල්ලට කිරි උරනවලු තමන්ගෙ සහෝදරයන්ගෙ දරුවො වෙනුවෙන් කියල කතාවක් තීනවනෙ. මේ මාම වෙනුවෙන් අපෙත් ඇස්වලට කඳුලු ඉනුව!.

    ReplyDelete
  4. බොහොම සංවේදී මතකයක්...98 කියන්නෙ මමත් සා/පෙ ලියපු අවුරුද්ද.....හොද මිනිස්සුන්ට වැඩි අයුෂ නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා...

    ReplyDelete
  5. මාමලා ඉතින් මාමලම තමයි, ඒත් හැමෝටම කවදා හරි ඒ ගමන යන්න වෙනවා, හුඟක් හොඳ ය ඉක්මනින්ම ඒ මාර්ගය තෝරා ගන්නවා. සංවේදී සටහනක්.

    ReplyDelete