පස් අදින සෙට් එක

Tuesday, May 14, 2013

දරුවෝ ......




(චායාරූපය ගුගල් දෙයියන්ගෙන් ඉල්ලාගත් එකක් පමණක් බව සලකන්න )


"මගේ ලොකු පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එයා එහේ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක්. ඒ හොස්පිට්ල් එකේම ඉන්න ඩොක්ට කෙනෙක්ව මැරී කරලා දැන් එහේ තමයි පදිංචිය. බාල පුතා ඉංජිනියර් කෙනෙක් නේ. එයා ...... කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්."

සෝමපාලගේ එකම විනෝදාංශය උනේ වැඩිහිටි නිවාසේ  තමන්ගේ කාමරේ ඉස්සරහ බැංකුවක වාඩිවෙලා තමන්ගේ දරුවන්ගේ විස්තර අනිත් අය එක්ක කියා කියා සතුටු වෙන එක. ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට රස්සාව කරපු සෝමපාලගේ ලොකුම හීනය වෙලා තිබුනේ තමන්ගේ ළමයි තුන් දෙනාව උස් මහත් කරලා හොදට උගන්නලා ලොකු තැනකට ගේන එක. 

ලොකු පුතයි බාල පුතයි දෙන්නම සෝමපාලගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කලාට මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි.

දරුවෝ දෙන්නම රස්සාවට ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ සෝමපාලයි දරුවන්ගේ අම්ම පියසීලියි විතරයි. කාලෙක ඉදං ලෙඩ ගානේ හිටපු පියසිලිත් දරුවන්ගේ ඈත් වීමත් එක්කම වැඩිකල් ජිවත් උනේ නැහැ. අම්මගේ මළගමවත් මද්දු පුතාට දන්වලා යවන්නවත් සෝමපාල වැඩිය උවමනාවක් කලේ නැහැ. අයියයි මල්ලියි දෙන්නම පැත්තකට වෙලා ඉද්දි මරණේ වැඩ කටයුතු ඔක්කොම කලේ කොහොම හරි ආරංචිය දැනගෙන ගෙදර ආව මද්දු පුතා රමේෂ්. ඒ දවස් ටිකටත් සෝමපාල රමේෂ් එක්ක වචන දහයක් කතා කලේ නැහැ.

කාලය ගත උනේ විදුලි වේගයෙන්. පොඩි පුතා සෝමපාලව කොළඹ තමන්ගේ ගෙදර එක්ක ගෙන ගියේ තාත්තට තනියෙන් ගමේ ගෙදර ඉන්න බැහැ කියලා. පලවෙනි සති දෙකේ සොමපාලට ලැබුණු සැලකිල්ලෙ හැටියට තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම තාත්ත කියලයි සොමපාලට හිතුනේ.

"තාත්තේ දැන් මහ ගෙදර කවුරුවත්ම නැති එකේ ඕක නිකං පාලුවට ඇරලා වැඩක් නැහැ නේ."

"ඒක නම් එහෙම තමයි ඉතිං. මම හිතාගෙන ඉන්නේ ඒක ඔය දෙන්නට බෙදලා දෙන්න"

"තාත්තට හැමදාම අපේ ගෙදර ඉන්න පුළුවන් නේ. අයියත් ලංකාවේ ඉන්න අදහසක් නැති නිසා ඔය මහ ගෙදරයි ඉඩමයි මගේ නමට ලියල දාන්න. මගේ අදහසක් තියෙනවා ඔතන හොද හෝටලයක් පටන් ගන්න."

"ඒක අපේ පරම්පරාවෙන් හම්බ වෙච්ච මහ ගෙදර.  උඹල දෙන්නට තමයි කවදාහරි ඒක අයිති වෙන්නේ"

කොහොමින් හරි සතියක් ඇතුලත මහ ගෙදර ඉඩම පොඩි පුතාගේ නමට ලියලා දෙන්න සොමපාල කැමති උනේ හැමදාමත් පොඩි පුතා තමන්ට ආදරෙන් සලකයි කියන විශ්වාසයෙන්. මල්ලිගේ නමට ඉඩම ලියපු බව දැනගත්ත ගමන්ම තාත්ත හොයාගෙන ආව ලොකු පුතා මුණට හිනා වෙලා හිටියත් කතා කලෙ හිත හොදකින් නෙවෙයි කියලා සෝමපාලට තේරුණා. 

ඉඩම ලියාගත්ත දවසේ ඉදං පොඩි පුතා රස්සාවට අමතරව හැමතිස්සෙම හිටියේ අලුත් ගෙස්ට් හවුස් එකේ වැඩ වල. ලේලියි දරුවොයි ජිවත් උනේ එයාලගෙම ලෝකෙක නිසා තිබ්බ සැලකිලි ටික ටික අඩු වෙලා යන්න ගත්තේ වේගයෙන්. ලොකු පුතා ලංකාව අත ඇරලම යන්න ගියේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදින්චියටමයි.  සොමපාලට සිද්ද උනේ බාල පුතාගේ ගෙදර හිර උන හිරකාරයෙක් ගේ තත්වයට පත් වෙන්න.

"ගෙදර කවුරුවත් නැතුව තාත්තට පාලුයි නේද"

"ඒවා නම් එහෙම තමයි. මොනවා කරන්නද පුතේ "

"ගෙස්ට් හවුස් එකේ වැඩ හින්දා මමත් මේ දවස් වල ගෙදර නැහැ නේ. මම තාත්තට හොද තැනක් බලලා තියෙන්නේ. තාත්තට පුළුවන් එහේ ගිහිල්ල නවතින්න. එහේ හරිම හොදයි. ගොඩක් අය ඉන්න නිසා තාත්තට පාලුවකුත් දැනෙන එකක් නැහැ. අනික අපටත් පුළුවන් නේ ඇවිත් තාත්තව බලල යන්න "

 ඊලග දවසේ ඉදන්ම සෝමපාලට වැඩිහිටි නිවාසයේ කාමරයක නවතින්න සිද්ද උනා. කාලය ගත වෙලා ගියා එදා කාර් එකේ ඇවිත් සෝමපාලව වැඩිහිටි නිවාසෙට භාර දීල ගිය පොඩි පුතා ආයේ දකින්නවත් හම්බ උනේ නැහැ. ආණ්ඩුවෙන් හම්බ වෙන පැන්ෂන් එක වැඩිහිටි නිවාසෙට දීලා. එතනින් ලැබෙන දෙයක් කාලා තමන්ගේ වයසේම අනිත් උදවියත් එක්ක ගෙවන ඒකාකාරී ජිවිතේට සෝමපාලටත් ටික ටික හුරු වෙන්න සිද්ද උනා.

........................................................................................................................ 

වැඩිහිටි නිවසෙට දානේ අරගෙන ආව පිරිස අතරේ සුපුරුදු මුණක් සෝමපාලගේ නෙත ගැටුනේ අහම්බෙන්. 

"තාත්තේ"

තමන්ගේ තාත්තව මෙතැනදී දකින්න කවදාවත් රමේෂ් බලාපොරොත්තු උනේ නැහැ.

"මගේ පුතේ"

"ඇයි තාත්තේ මෙතන මෙහෙම දුක් විදින්නේ. මම තාත්තව හොයන්න ගෙදරත් ගියා. මල්ලි ගෙදර විකුනලා දාලා රට ගිහිං කියලා ආරංචි උනා. මම හිතුවේ තාත්තවත් එක්කගෙන යන්න ඇති කියලා."

පොඩි පුතා තමන්ව මුලා කරලා ගියපු හැටි ගැන මතක් වෙනකොට සෝමපාලගේ ඇස් දෙකෙන් කදුළු බිංදු කඩාගෙන වැටුනා  

තාත්තව හැමදාමත් බලාගන්න මට පුළුවන්. අයියටයි මල්ලිටයි තරම් සල්ලි දැන උගත්කම නැති උනාට තාත්තව මට ගොඩාක් වටිනවා. තාත්තා අපිත් එක්ක යන්න ලැස්ති වෙන්න."  

කාලෙකට කලින් තමන් අත ඇරලා දාපු තමන්ගේ දරුවා ආයෙත්  තමන්ව හොයාගෙන ඇවිත් ආයෙත් එයා ලගට එන්න කියලා කතා කරනවා

"පුතා මගේ රත්තරං පුතා. උඹට මම මෙච්චර කාලයක් කරපු හැම දේකටම මට සමා වෙයන් මගේ පුතා" 

 සෝමපාලගේ හිතේ ඇති උන වේදනාව ඇස් දෙකෙන් කදුළු කැට වෙලා කඩාගෙන වැටුනේ කිසිම දෙකක් කියාගන්න බැරුව...........   





35 comments:

  1. කියල වැඩක් නැහැ.ඒ තාත්තට විතරක් නෙමේ,මේ තාත්තටත් ඇඩුන බං.ලෙසටම ලියල.

    ReplyDelete
    Replies
    1. මහ රෑ නිදි මරගාතේ කොටපු නිසා වෙන්න ඇති. :D තැන්කු ඈ ;)

      Delete
  2. රෙපා එළ මචං...මේක හිතළුවක් නෙමෙයි...මේ තමයි අද ලංකාවෙ සමහර තාත්තල මුහුණ දෙන කටුක යථාර්ථය...

    ReplyDelete
    Replies
    1. මටත් මේක ලියන්න හිතුනේ වැඩිහිටි නිවාසෙක ඉදගෙන තමන්ගේ දරුවන්ගේ ලොකු කම වර්ණනා කර කර ඉන්න තාත්තා කෙනෙක් දැකලා තමයි බං ...

      Delete
  3. සල්ලි බලය තියෙන ලොකු ලොකු තැන්වලට කසාද බැඳල ගිය අයට වැඩිය දුප්පත් තැනකිං බැඳගත්ත කෙනෙක් තමයි අන්තිමට දෙමව්පියො ගැන හොයල බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගත කරන ජිවන රටාවේ හැටියට ඒ අයටත් දෙමාපියන් ගැන බලන්න වෙලාවකුත් නැහැ නේද?

      Delete
  4. ඔව්වට දෙමාපියන්ගේ සිතුම් පැතුම් හිටං බලපානව බං....

    ReplyDelete
  5. සල්ලි ලංවෙනකොට අම්ම තාත්ත අමතකවෙනවා තිරිසනුන්ට.....

    ReplyDelete
    Replies
    1. එහෙමමත් කියන්න එපා බං...

      Delete
  6. විටෙක මෙහෙම දේවල් වෙන්න අම්මල තාත්තලත් වැරදියි කියලයි මගේනම් අදහස රෙපා......අම්මල තාත්තල පංචි කාලෙ ළමයින්ට එයාලගෙ සීයලට ආච්චිලට අම්මල තාත්තල සලකන හැටි පෙන්නන්න දැනෙන්න තියන්න ඕනි.
    මේ අම්ම මේ තාත්ත මේ අම්මගෙ අම්ම තාත්ත මේ තාත්තගෙ අම්ම තාත්ත අපි මේ විදියට සලකන්නෙ ඔයාලත් මෙ විදිය වෙන්න ඕනි නොකිය කියල දෙන්න ඕනි. එහෙම නො‍වී ඇත්තටම බොරැවට ළමයින්ට බැනලත් වැඩක් නෑ මම නම් වැරද්ද භාගෙට භාගයක් ළමයින් සහ මාපියන්ට දමන්නේ.

    මගේ අම්ම එයාගෙ අම්මට සලකපු විදියට මට කවදාවත් බෑ අපේ අම්මට නොසලකා ඉන්න.ආච්චිට අම්ම විතරක් නෙමෙයි සලකන්න මටත් පුරුදු කලා.පරිස්සමින් නාවන්න. කවන්න පොවන්න මලක් වගේ බලාගන්න.දරැවන්ට යුතුකම් වගකීම් මාපියන් හරිහැටි කියල දීල මේ දේවල් වෙලා නම් කරුමක්කාර දරැවෝ කියන්න තමා වෙන්නෙ....

    යන්න සතර අපායවල් උන්ට නැතිවෙනවා......එච්චරයි.......

    ReplyDelete
    Replies
    1. ඒ හැගීම කෙනෙකුගේ පුංචි කාලේ ඉදන්ම හදවතට දැනිලා තියෙන්න ඕනේ. ඒක දැනෙන්න දෙමාපියනුත් ජිවත් වෙන්න ඕනේ ඒ විදියට. අනික දැන් ළමයි ඉපදුන දවසේ ඉදන්ම හුරු කරන්නේ රේස් දුවන්න. දහම් පාසල් යනවා වෙනුවට යන්නේ ටියුෂන් ක්ලාස්. සමාජ සාරධර්ම පිලිබදව කිසිම දැනීමක් උන්ට නැහැ. ඉතිං ඒ අයත් තමන්ගේ දෙමාපියන්ට ජිවත් වෙලා ඉන්නකොට සලකන්නේ ඇපෙන් බේරෙන්න. සමාජේ අනිත් අය මොනවා කියයිද කියන බයට.
      කොහොම සැලකුවත් මරණයක් සිද්ද උනහම නම් මිනිය බදාගෙන අඩනවා ලෝකෙට පේන්න. හැමදේම උගන්නලා ආදර්ශයක් දීලා තියෙන්නේ දෙමාපියෝ හින්දා ලොකු වරදකුත් කියන්න බැහැ ඒ අයට.......

      Delete
    2. මං ගාව තිබ්බා “ මැටි කෝප්පේ” කියලා ලොකු අකුරු තියෙන පොතක්... ඒකේ පොඩි එකා කියනවා එක තැනක “ මම ආච්චි කෑව මැටි කෝප්පේ පරිස්සම් කරලා තිබ්බා අම්මා වයසට ගියාම අම්මට කන්න දෙන්න ” කියලා... සිත්තමිගේ කමෙන්ට් එකෙන් මට මතක් උනේ ඒක...

      Delete
  7. ළමයි දෙමව්පියන්ගෙන් වැඩ ගත්තට පස්සේ එයාලට සලකන හැටි දැක්කාම ඒ ළමයින්ද කියලත් හිතෙනවා. මේ පැත්තේ ඉන්නවා ඔය වගේ හිරකාරයෝ වගේ දෙමව්පියෝ. ලමයින්ගේ වහල්ලු වගේ තමා එයාලා ගෙවල්වල වැඩ කරන්නේ. වැඩියම කණගාටු හිතෙන්නේ එයාලම ආපහු තමන්ගේ රටට ගියාම ඒ ළමයින්ව වර්ණනා කරන එක.

    මේ කතාව ඔයා මෙහේ මැගසින් එකක පල කලේ නෑ නේද?:)

    ReplyDelete
    Replies
    1. තමන්ට මොන දේ කලත් දෙමාපියන්ට වටින්නේ ඒ අයගේ දරුවන්ව. දරුවෝ කරන වැරදි දෙමාපියෝ හිතේ තියාගෙන ඉන්නේ නැහැ නේ. මේ බ්ලොග් එකේ ඇර වෙන කිසිම තැනක මේක නම් දාල නැහැ ;)

      Delete
  8. ඔන්න ඕකයි තත්වේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. හදවතට දැනෙන සටහනක්.... ඒ වගේම තමයි පුංචි එවුන් ඩේ කෙයාවල තාන මාපියන්න මෙවැනි දේයක් වෙන්න තියන ඉඩකඩ වැඩියි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. දවසෙන් වැඩි කාලයක් දෙමාපියන්ගෙන් ඈත් වෙලා ඉන්න දරුවෙකුට පුංචි කාලේදී දෙමාපිය සෙනෙහස ලැබෙන්නේ නැහැ. ඉතිං දෙමාපියන්ට සලකන්න ඕන කියන හැගිමවත් එයාලට නැත්තේ පුංචි කාලේ හිතට දැනෙන දේවල් මත එයාලගේ අනාගතේ අත්තිවාරම වැටෙන නිසා වෙන්න ඇති....

      Delete
  10. ඇයි තාත්තා රමේෂ් පුතාට වෙනස් විදියට සැලකුවේ?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ බං හේතුව

      //මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි.//

      Delete
  11. ඇත්තටම ඇස දෙකට කඳුළු ආවා. මම මේ තාත්තා වගේ හිතුවද ? දරුවෙක් විදියට හිතුවද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සුදික අයියලා ඉතිං දරුවෝ ඉන්න තාත්තලානේ. අපට වඩා හොදට මේක දැනෙනවා ඇති ;)

      Delete
  12. හිතට වැදෙන්නම ලියලා තියෙනවා, අපුරුයි.. සුබ පතනවා.. :)

    ReplyDelete
  13. කතාව ඇත්තම විදියට ලියල තියනවා.මම දන්නා පව්ලකත් ඔහොම සමාන දෙයක් උනා.එතනත් අයින් කල පුතා තමා අන්තිමට දෙමව්පියන්ට සැලකුවේ.වෙනස තමා ඒ අම්මට තාමත් ලොකු අර අමතක කල පුතාව.අයින් කල පුතා ඒවා ඇහුනේ නෑ වගේ අම්මට සලකනවා...

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා ඔය කථාව.

      Delete
  14. ඇත්ත කතාව බං! අපේ අය සල්ලි.. රස්සා හින්දා මනුස්සකම් විකුණලා දාලා!

    ReplyDelete
  15. බ්ලොග් කියවන්නෙම නැහැ කියල ඉදල අම්බලටම ගොඩ උනා. ඇත්ත තත්ත්වෙත් ඕක තමා අයියේ.. සල්ලි බලය එද්දී තමන්ගේ ඇතිතේ අමතකම වෙනවා, සමාජෙන්වත් හැදෙන්නේ නැහැනේ :(

    ReplyDelete
  16. ඕකේ එක තැනක වැරද්ද දෙමවුපියන්ගේ... සමහර දෙමවුපියෝ පවුලේ එක එක දරුවෙන්ට එක එක විදියට සලකන්නේ... සමහරු පුතාලට එක විදියක් දුවලට තව විදියක්.. සමහරු වැඩිමල් ළමයට එක විදියක් බාලයට තව විදියක්... තව සමහරු ඉගෙන ගන්න දක්ෂ ළමයට එක විදියක් අනිත් ළමයින්ට තව විදියක්... ඔන්න ඔහොම... ගොඩක් වෙලාවට අඩුවෙන්ම සැලකිලි ලබන ළමයා තමයි අත්තිමට දෙමවුපියෝ බලාගන්නේ... සමහර වෙලාවට එහෙම වෙන්නේ එයාලා පොඩි කාලේ ඉඳලම මේ අඩු සැලකිලි ලබලා ඒකේ දුක තේරුම් අරන් ඉන්න නිසා වෙන්න ඇති....

    ReplyDelete
  17. වාව් රෙපා අයියේ.!!.අද ගොඩක් වයසක දෙමාපියන්ගේ කතාව ඕක තමයි.. කවදා හරි අපිටත් ඔහොම වෙන්න තියන එක නවත්ත ගන්න එකට දැන්ම ඉඳන් වැඩ කරලා ප්ලෑන් කරන එක අපේ වගකීමක් මම හිතන්නේ.

    ReplyDelete
  18. පුද්ගලයා අනුවයි, ඒ කෙනාගේ සිතුම් පැතුම් අනුවයි, පුංචිකාලේ ඉදන්ම ඔලුවට වැටෙන දේවල් අනුවයි තමයි හැමදේම..

    ReplyDelete
  19. තමන්ගේ අම්මා තාත්තා ගැන ආදරයක් ඇති වෙන්නේ, තමන් දෙමව්පියන් වුන දවසට

    ReplyDelete