මේ බිම්මල් වගාව ගැන පෝස්ට් එක දාන්න හිතුනේ බුකියේ රස සරණිය ගෘප් එකට දැනට ටික දවසකට කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්................................................... අද වෙනකොට මේක සුපිරි ආහාරයක් තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි. ඒ තරම් මිලක් බිම් මල් වලට ලැබිලා තියෙන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් වෙළදපොලට සපයන්න නිෂ්පාදකයන්ට නොහැකි වීම නිසා මිස නිෂ්පාදනය සදහා ලොකු පිරිවැයක් දරන්න සිද්ද වෙන හේතුව නිසා නෙවෙයි.
මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක් උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් එහෙමත් නැත්තම් නයි හතු කියන වර්ගය හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා. විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.
ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ. ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා.
මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා.
රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා. මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්
මම මේ පෝස්ට් ඒකෙන් කතා කරන්න හිතුවේ ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරයට සම්බන්ද වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට හෝ නිවසේ පාවිච්චියට බිම් මල් වගා කරගෙන පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ස්වයං රැකියාවක් වශයෙන් බිම් මල් වගා කරන අය මේ තාක්ෂනය අනෙක් අය දැන ගන්නවාට කැමති නෑ. ඒකට හේතු ගොඩාක් තියෙනවා.
තව දෙයක් කියන්න ඕනේ. මේක කියවන කාට හරි කෙනෙකුට මේක ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන්න අදහසක් තියෙනවා නම් අලවිය ගැටළුවක් කියලා හිතෙනවා නම් සම්පුර්ණ අලවි සහය ලබා දෙන්න අපි සුදානම්. ඒ වගේම ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම, බිජ වර්ග, ආදී නිෂ්පාදනයට අවශ්‍ය සියලු සහය ලබා දෙන්නත් අපි සුදානම්,
නමුත් දැනට මේක කරන්න පුළුවන් නම් ගාල්ල කළුතර දිස්ත්‍රික්ක වල විතරයි ඉදිරියට අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් බලමු මේ කියන බිම් මල් නිෂ්පාදනය සිද්ද වෙන්නේ කොහොමද කියලා.
මුලින්ම මේකට අවශ්‍ය දේවල් ගැන බලමු. මෙතන තියෙන අනුපාතයන්ට තමන්ට ඕන තරමේ මිශ්‍රණයක් හදාගන්න පුළුවන්
මිශ්‍රණය සදහා
සැහැල්ලු ලි කුඩු 25 Kg
හාල් නිවුඩු 2.5 Kg
සෝයා පිටි / මුන් පිටි / සමපෝෂ 250g
මැග්නීසියම් සල්ෆේට් 50g
අළු හුණු / ඩොලමයිට් 500g
අවශ්‍ය පමණට ජලය
මලු සදහා
පොලි ප්රොපිලින් කවර අගල් 7 x 14 ගේජ් 200 මි මි 0.01 (මේ සදහා කිසිම විටක පොලිතින් කවර යොදාගන්න එපා)
විෂ්කම්බය අගල් 1 සහ උස 3 / 4 පි වී සි බට කැබලි
රබර් පටි
කපු පුළුන් / කොට්න් වේස්ට්
කඩදාසි කැබලි අගල් 2 x 2 ප්‍රමාණයට
ඊළගට සරලව කරුණු විදියට කරන ක්‍රමේ පෙන්නන්න උත්සාහ කරන්නම්. වැඩි විස්තර අවශ්‍ය නම් බුකිය හරහා හෝ පහත සදහන් ඊ මේල් ලිපිනයට ඊයක් එවීමෙන් විස්තර දැනගන්න පුළුවන්.
වැස්සට නොතෙමුනු ලී කුඩු හලා පිරිසිදු ස්ථානයක ඇතිරීම
එයට සහල් නිවුඩු මුන් / සෝයා පිටි / සමපෝෂ සහ අළුහුණු දමා හොදින් මිශ්‍ර කිරීම
ජලය කෝප්පයක දිය කර ගත් මැග්නීසියම් සල්ෆේට් ඉසීම
අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා හොදින් මිශ්‍ර කිරීම
සකස් කර ගත් මිශ්‍රණය පොලි ප්රෝෆිලින් මලු වලට ඇතුළු කර මල්ලෙන් 3/4 ක් පමණ හොදින් පුරවා ගැනීම. (පිරවූ පසු වගා මල්ලක් කිලෝ 1 ක් පමණ වෙන්න ඕනේ )
බට කැබලි තුලට පුළුන් ඇබ යොදා රබර් පටි දැමීම
ඊට පස්සේ මේ සකසා ගත් වගා මලු ජීවානුහරණය කරගැනීම කරන්න වෙනවා. ඒ සදහා ග්‍රීස් බැරලයක් යොදාගන්න පුළුවන්. බැරලයේ පියනේ මැද යකඩ ඇනයක් මගින් සිදුරු කරන්න ඕන. ඊට පස්සේ ලි කුඩු මිශ්‍රණය සහිත පැකට් බැරලයේ ඇසිරිම සදහා බැරලය පතුලේ සිට අගල් 7 ක් පමණ ඉහළින් කම්බි දැලක් තැන්පත් කර ගන්න ඕනේ. බැරලයේ අගල් 5 ක් පමණ ජලය පුරවලා වගා මලු කම්බි දැල මත තැන්පත් කරලා බැරලයේ පියන තදින් වහලා පැය කිහිපයක් තම්බා ගැනිම මගින් මේ වගා මලු ජීවානුහරණය කර ගන්න පුළුවන්.
මේ ආකාරයට තම්බා ගත් වගා මලු තුලට දින දෙකකට පසු බිජ ඇතුල් කිරීම කරන්න පුළුවන්.
බිජ ඇතුල් කල වගා මලු දිලිරය වර්දනය වීම සදහා අදුරු ස්ථානයක තැන්පත් කර තැබිය යුතු වෙනවා. දින 25 ත් 30 ත් ඇතුලතදී ලි කුඩු මාධ්‍යය තුල ඇති දිලිරය සුදු පැහැයෙන් වර්ධනය වී තිබෙන ආකාරය දකින්න පුළුවන්.
ඉන් පසු අදුරු කාමරයෙන් ඉවත් කර ගන්නා වගා මලුවල ඉහලින් කවරය කපා ඉවත් කරන්න පුළුවන්. එය රාක්කයක තිරස්ව තැන්පත් කර තබා ගන්න ඕනේ.
අස්වනු නෙලන අවස්ථාවේදී වගා මලු පවතින කාමරය තුල වාතයේ තෙතමනය නිසි ආකාරව පවත්වාගෙන යා යුතු වෙනවා. ඒ සදහා දිනපතා උදේ හවස ස්ප්රේයරයක් මගින් මිහිදුමක් ආකාරයට ජලය ඉසීම, පොලවේ අතුරා ඇති වැලි තෙත් කිරීම වැනි දෑ කරන්න පුළුවන්.
අස්වනු නෙලන අවස්ථාවට පැමිණි මේ එක වගා මල්ලකින් දින 7 - 10 කට වරක් 8 - 10 පමණ වතාවක් බිම මල් නෙලා ගන්න පුළුවන්.
බිම් මල් වගාවට ඇති ප්‍රධානතම බාදකය තමයි කෘමි උවදුර. ඒ සදහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය සදහා වෙනමම බ්ලොග් අඩවියක් මගින් තොරතුරු සපයන්න බලාපොරොත්තුවක් තිබෙන නිසා මේ පෝස්ට් එක මෙතනින් නතර කරනවා. බිම්මල් වර්ග හා නිෂ්පාදනය පිලිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්, පලිබෝධ පාලනය, කල්තබා ගැනීමේ උපදෙස්, සහ ආහාර වට්ටෝරු සවිස්තරාත්මකව එම බ්ලොග් අඩවිය තුලින් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව.
මේ පොස්ට් එකට පින්තුර හොයනකොට තවත් බිම්මල් නිෂ්පාදනය ගැන සිංහලෙන් ලියවුන බ්ලොග් පෝස්ට් එකක් දැක්කා. මෙතනින් ඒ පෝස්ට් එකට යන්නත් පුළුවන්.
බිම්මල් වගාව පිළිබද දැන ගැනීමට, අලවි සහාය ලබා ගැනීමට, ජීවානුහරණය කොට උසස් තත්වයේ බිජ යෙදු වගා මලු සහනදායි මිලට ලබාගැනීමට, ආදී බිම්මල් නිෂ්පාදනය පිළිබද සියලු ගැටළු සදහා සහාය ලබාදීමට අප සුදානම්. ඒ සදහා hettiarachchiaruna@gmail.com වෙත ඊයක් එවන්න. නැත්තම් බුකියේදී රෙප් මහත්තයා අමතන්න