Thursday, January 30, 2014

රට වටේ ගමන් නැවතත්



කාලෙකට කලින් කිලෝ මීටර් නැති පිස්සෙක් කියලා රට වටේ චාරිකා ගියපු හැටි ගැන පෝස්ට් දෙක තුනක් දැම්මත් ඒක නවත්තන්න සිද්ද උනේ ඒ හැම ගමනක්ම එක්තරා ආයතනයක් සමග වැඩ කරන අතර තුර ගියපු ගමන් නිසා දැනට ඒ ආයතනයේ සේවය කරන කෙනෙකුට සිදු වෙච්ච අපහසුතාවයක් වලක්වන්න උන නිසා. දැන් මේ යන චාරිකා හැම එකක්ම යන්නේ සති අන්ත නිවාඩු දිනවල නිසා මේ චාරිකාවල විස්තර බයක් නැතුවම බ්ලොග් අඩවියේ පල කරන්න පුළුවන්.


මේ චාරිකාවල චායාරුප බොහෝ විට එදා දවස ඇතුලතම මුහුණු පොතට එකතු වෙන නිසා චාරිකාවේ විස්තර එක්කම බ්ලොග් එකටත් එකතු කරන්න හිතුවා. 

විවේකි සෙනසුරාදා දවසේ උදේ 8.30 ට විතර හම්බන්තොට බස් නැවතුමෙන් නුවර එලිය බස් එකට නැග්ගේ වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ප්‍රසිද්දම දිය ඇලි දෙක නරඹන්න යන්න හිතාගෙන. කාලෙකට කලින් හෙන කට්ටක් කාල හොයාගෙන ගියපු කුරුඳු ඔය දිය ඇල්ල  වගේ පරිප්පුවක් කන්නේ නැතුව පාර අයිනේ ඉදන් බලලා එන්න පුලුවන් නිසා ගමන ගියේ තනියමම තමයි.

රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් පමණ උසයි. ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය ආසන්නයෙමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා කිලෝ මීටර 5ක් පමණ දුරින්.











රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා.











ඇල්ල ඉදිරිපිට පිහිටලා තියෙන පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්.








ඇල්ල ප්‍රදේශයේ නරඹන්න තවත් බොහෝ තැන් තිබුනත් වැඩි සුදානමකින් තොරව නිසා එතැනින්ම එන බසයක නැගලා ආයෙත් වැල්ලවායට ආවා.



එදා දවසේ මගේ ඊලග ගමනාන්තය උනේ වැල්ලවාය ප්‍රදේශය ආසන්නයේම පිහිටලා තියෙන දියළුම දිය ඇල්ල. 


ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල දියලුම ඇල්ල ලෙස හදුනාගෙන තියෙනවා. උසින් මීටර් 170 ක් / අඩි 560ක්  උස මේ දිය ඇල්ල පූනාගල ඔයෙන් තමයි පොෂණය වෙන්නේ.






මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වන අතර. අතීතයේදි මෙය දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියළුම අල්ල කොස්ලන්ද සහ වැල්ලවාය නගරයන්ට ආසන්නයේ A4 කොළඹ -රත්නපුර-බෙරගල- මඩකලපුව මාර්ගයේ 205- 206 කි.මිටරය අතර පිහිටා ඇත.













දියලුම ඇල්ලේ නිර්මාණය පිලිබද ජනප්‍රවාදයක් පවතී. එයට අනුව එක්තරා රජ කුමාරයෙක් පහත් යැයි සම්මත වු කුලයකට අයත් කුමාරිකාවක් විවාහ කර ගැනීමට තීරණය කලේය. එයට විරැද්ධ වූ වැසියෝ කුමාරයාත් කුමාරිකාවත් එම ප්‍රදේශයෙන් පලවා හැරිය අතර  ඔවුන් උඩරටට පලා යන අතරතුරේ වැල්පටක ආධාරයෙන් මෙම ගලෙන්ඉහලට නැගිමට උත්සාහ කර තිබේ. එහිදී වැල්පට ගල් අතර සිරවී කුමාරිය මිය ගොස් ඇත. කුමරියගේ මරණයෙන් දැඩි ලෙස ශෝකයට පත්වූ රජ කුමාරයාගේ දෙනෙත්වලින් ගලා ගිය කදුළු එකතුකර දෙවියන් විසින් මෙම දිය ඇල්ල නිර්මාණය කෙ‍රැණු බව කියවේ. 





මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි. 

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැදගත් ස්ථාන පිළිබද දැනගන්න ඔබ දන්නා දේවල් ආගිය තැන් ගැන අනිත් අයටත් කියන්න සිරි ලක සැරි සර ෆේස්බුක් සමුහය සමග එකතු වෙන්න 

23 comments:

  1. මමත් ඔය රාවණා ඇල්ලනං බලල තියෙනව අනික් එකනං දැකගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. කතරගම පැත්තේ වත් ආවොතින් ගිහින් බලලා එන්න. මේ දවස් වල නම් ඒ හරියේ පාර හදනවා ටිකක් විතර පාර අවුල්

      Delete
  2. 1990 අවුරුද්දේ මුල හරියේදී මම මගේ සෙබළුන් පිරිසක් සමග රාත්‍රී කාලයදී රාවණා ඇල්ල තරණය කළා. ඇත්තෙන්ම එය ඉතා ත්‍රාසජනක මෙන්ම සුළු අතපසුවීමකින් මරණය අත්වන ගමනක්. රහසිගත ජ.වී.පෙ. කඳවුරක් සොයාගෙන තමයි ගියේ. ඇල්ලේ ඉහල ප්‍රදේශයෙන් තවත් හමුදා කන්ඩායමක් ආවා. ජ.වී.පෙ පිරිසක් ඒ හමුදා කණ්ඩායමට කොටුවුනා. අපි කලේ ඇල්ල පහලට බැහැලා පැනයයි කියලා හිතෙන අය අල්ලාගැනීමට සූදානම් වීමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සුළු අතපසු වීමක් මරණයම තමා එතන නම්.

      Delete
  3. පට්ට පට්ට... මමත් රාවණා ඇල්ල දෙතුන් පාරක් බලල තියෙනවා අනික නම් නෑ...

    ReplyDelete
    Replies
    1. දෙකම තියෙන්නේ ප්‍රධාන පාර අයිනේම නිසා යන්න නම් කිසිම අපහසුවක් නෑ

      Delete
  4. සංචාරය.... මම ආසම දෙයක්.... මේ වගේ සටහන් කියවද්දී ඒ ආසාව දෙගුණ තෙගුණ වෙනවා....

    ReplyDelete
  5. හරි සෝක් චාරිකා විස්තරයක් මටත් යන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. පුටුවක් උඩට වෙලා කම්පියුටරේ දිහා බලාගෙන ඉන්නවට වඩා ඇවිදින එක කොච්චර හොදද ;)

      Delete
  6. නියමයි නියමයි.. ආයෙම රස්තියාදුව පටන් අරන් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට පදිංචි උනාට පස්සේ නම් හැම වික් එන්ඩ් එකේම වගේ කොහේ හරි රස්තියාදුවක් සෙට් වෙනවම තමයි :)

      Delete
  7. ඇඩොව්... අපිට කියන්නවත් එපා ඈ... අල්ලපු ගමට ඇවිත් ගිහිං. හහ්.

    ReplyDelete
    Replies
    1. උඹ ඉන්නේ මාතර නේ බං. ඔන්න රාවණා ඇල්ලේ ගිහින් එන කොට අපේ ෆේක් එකෙක් නම් වැල්ලවාය බස් ස්ටෑන්ඩ් එකේ වේලි වේලි ඉන්නවා මාට්ටු උනා :v

      Delete
  8. ඔය ලස්සන අස්සෙ ජීවිත ගාණකුත් බිලි අරං තියෙයි

    ReplyDelete
    Replies
    1. රාවණා ඇල්ල ලග නම් මෑත කාලයේ මැරුණු අයගේ ගානත් ගහලා තියේ

      Delete
  9. දඩමස් කකා,බිබී කොල්ලෝ සැට් එක එක්ක ආතල් ගත්ත තැනක් තමා කීප වාරයක්ම.
    මතකයන් අවදි වුනා.

    ReplyDelete
    Replies
    1. මෙව්වයේ යන්නේ කට්ටිය ආතල් ගන්න නේන්නම්. ඒත් තමන් ගන්න ආතල් එක තමන් අරගෙන පරිසරයට හානියක් නොකර එනවා නම් තමයි හොද

      Delete
  10. මං ඉස්සෙල්ලම මේ බ්ලොග් එකට ඇවිත් කියෙව්වෙත් චාරිකා සටහනක් වගෙයි මතක.. එහෙනම්.... ආයෙ යමු චාරිකා.. :)

    ReplyDelete
    Replies
    1. යනවා යනවා දැන් නම්. ගියපුවා දෙක තුනක්මත් තියෙනවා දැන් ලියන්න. :)

      Delete
  11. රසවත් විස්තරයක්. දිගටම ලියන්න.

    ReplyDelete
  12. අර රාවණා බාර් එක ඔය ළගම නේද බං...

    ReplyDelete
    Replies
    1. ඒ හරියේ වෙන්න ඇති තමා. හරියටම මම ඒක නම් දන්නේ නෑ :)

      Delete