Monday, April 22, 2013

ආදරණිය ඔබා මාමේ අපිට තවමත් ඔබව මතකයි ....



සතුටින් පිරුණු සුන්දර දවසක් අවසන් උනා. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම සයිබරයේ සිහින බක් මහා උළෙල සාර්ථක කර ගැනීම සදහා සහය දක්වපු සහභාගී උණු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. තව තවත් පින්තුර, කතා කරන ෆොටෝ, මඩ ගොඩාක් තව ඉස්සරහට එන්න තියෙන නිසා ඒ ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ.

මේ පෝස්ට් එක අපේ ආදරණිය හිතවතෙක් වෙලා හිටපු ගිය අවුරුද්දේ බක්මහ උළෙලේදී අපිත් එක්ක එකතු වෙලා සතුටු වෙලා ගිහින් හදිසියේම අපෙන් සදහටම සමුගත් අපේ සදාදරණිය ඔබා මාමා(සනත් විජේවර්ධන) සිහිපත් කරලා අන්තිම පේලියේ සෙට් එක සංවිධානය කරන ලේ දන් දීමේ පිං කම ගැන මතක් කරන්නයි.





ලේ දන් දීමේ පිංකම මේ මාසේ 28 වන ඉරිදා දවසේ උදේ 9 ඉදලා හවස 3 වෙනකං වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සම්පාදනය කරලයි තියෙන්නේ. එදාට එන්න පුළුවන් හැමෝම ඇවිත් අපේ ආදරණිය ඔබා මාමා වෙනුවෙන් ලේ බින්දුවක් දන් දීලා සහයෝගය දක්වන්න කියලා ඔයාල හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා .

ලේ දන් දීමේ කඳවුරේ ෆේස්බුක් ඉවෙන්ට් එකට මෙතනින් යන්න පුළුවන්

Friday, April 19, 2013

සයිබර් සිහින උළෙල - රට තොට කතා බහ


රටේ තොටේ විතරක් නෙවෙයි මේ දවස් වල පිට රටවල් වල වගේම වෙන වෙන ලෝක වලත් කතා වෙන්නේ එකම දෙයක් ගැන. ඒ තමයි සයිබරයේ මහා සැණකෙළිය. සයිබර් සිහින බක්මහ උළෙල.  රටේ තොටේ ඇවිදිනකොට අපේ පැපරාසි කණ්ඩායමට අහන්න දකින්න ලැබුණු සහ අපට ලැබුණු තොරතුරු කිහිපයක් තමයි මේ....




 (කොට්ටාව පිටකොටුව 138 බස් රථයක් තුල මැදි වියේ කාන්තාවන් දෙදෙනෙක් )

 "බලන්නකෝ සුජාතා, මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්ටර් නෙට් එකෙන් බ්ලොග් අවකාශයේ මිතුරෝද මොකක්ද එකක් අටවාගෙන අවුරුදු උත්සවයක් තියන්න හදනවලු නේ. අපේ කෙල්ලත් දැන් දවස් ගානක ඉදන් ඕක ගැනමයි කතාව"

"අනේද  කියන්නේ. අපේ ලොකු පුතත් උදේ ඉදන් මහ රෑ වෙනකම් කම්පියුටර් එක ඉස්සරහ වාදී වෙලා ඉඳගෙන ඔය බ්ලොග් එකක්ද මොකක්ද එකක් ලියන එකමයි වැඩේ. අවුරුදු උත්සවයක් ගැන කතා වෙනවා මටත් ඇහුනා "

"අනේ මම දන්නේ නැහැ. ඔය අවුරුදු උත්සව අරක මේක කියලා ගිහිල්ලා අපේ කෙල්ල විභාගේවත් හරියට කරගන්න එකක් නැති වෙයිද කියලා."

"එහෙම කියන්න එපා අනේ.  හැමදාම පාඩම් කරන එකේ ඒ ළමයින්ටත් කියලා සතුටක් තියෙන්න එපැයි. මම නම් අපේ පුතාට කිව්වා යන්න කියලා."

"හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි. එහෙනං අපේ කෙල්ලවත් එවන්නං. කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා එදාට හොද පිස්සුවක් නටයි එහෙනං"

............................................................................................................................

ඇඹිලිපිටිය ටවුම ආසන්නයේ නිවසක් - පොඩි කොලුවෙක් සහ මව 

කොලුවා : අනේ අම්මේ මට කොහොම හරි මේ අවුරුදු උත්සවේට යන්නම ඕනේ .

අම්මා: උඹව තැනකට යවන්න පුළුවන් එකෙක්ද බං. අනික තාත්තා කොහොමටත් කැමති නැහැ මේ විභාගේ කට ළඟ තියාගෙන උඹව ඔය තැන් තැන් වල  යවන්න.

කොලුවා: අනේ අම්මේ එහෙම කියන්න එපා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ වටේම ඉන්න යාළුවො ගොඩාක් එදාට එනවා. ආයේ කවදාවත් මෙහෙම චාන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ නේ.

අම්මා: අනේ උඹට ඉන්න ලෝකේ වටේ යාළුවො. අර කෙල්ලත් එක්ක කොහේ හරි රවුමක් ගහන්න තමයි මේ අවුරුදු උත්සවයක් කියලා කියාගෙන දගලන්නේ.

කොලුවා : ඇයි අම්මේ ඉන්ටර්නෙට් එකෙන් මට හම්බ උන යාළුවො. 

අම්මා : දැන් උඹ ඕකට යන්නේ අවුරුදු කුමාරයා වෙලා  අවුරුදු කුමාරි වෙන එකීව ගෙදර උස්සගෙන එන්නද?

කොලුවා: අනේ අම්මේ, මට අවුරුදු කුමාරයා වෙන්න ඕන නැහැ :/ අම්ම දන්නවනේ ඉතින් මගේ සිංදු.....

අම්මා: හරි හරි මම තාත්තට කියලා බලන්නම්. එතකං නාහෙන් අඩන්නේ නැතුව ඉන්නවා.

කොලුවා: මගේ හොද අම්මා . උම්ම්ම්මා ...

අම්මා : ඇති ඇති නවත්තගන්නවා ඔය නාකි හුරතලේ

...........................................................................................................................

 අපාය - යම රජු හමු වීමට යමපල්ලෙක් පැමිණෙයි

යමයා : පස්වාන් දහසකට බුදුවන්න උතුමාණනි ලොකු ප්‍රශ්නයක්

රජු: මොකක්, කවුද යකෝ මේ අපායටත් ප්‍රශ්න දාන එකා  මොකක්ද දැන් ඔය ප්‍රශ්නේ 

යමයා: මේ 21 ඉරිදා යාම පල්ලන් හැම දෙනාම නිවාඩු ඉල්ලනවා ස්වාමිනි. 

රජු: ඒ මොන මගුලකටද යකෝ ඒ? මුන් වෘත්තීය සමිතියක්වත් අටවගෙනද ඒ පාර

යමයා: අවසර ස්වාමිනි. එහෙම දෙයක් නම් නෙවෙයි.

රජු: එහෙනම් මොන මගුලක්ද?

යමයා : අවසර රජතුමනි. මනු ලොව සිංහල බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එදාට අවුරුදු උත්සවයක් තියනවලු නේ. මේ කට්ටියම සෙට් වෙන්නේ ඒක බලන්න යන්න.

රජු: අම්මට සිරි. බ්ලොග් අවකාශේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකේ අවුරුදු උත්සවේ නේද එදාට. මමත් එදාට ඒක බලන්න යන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් හැම එකාම නිවාඩු දාගෙන යන්න දගලනවා නම් එහෙම ගිහින් බැහැ නේ.

යමයා : ඒක නේන්නම් රජතුමනි. 

රජු: එදාට ඔය උත්සවේ හැම දෙයක්ම බස් රේඩියෝ එකෙන් ලයිව් දෙනවා කියලා ඔය යමයෝ එකෙක්වත් දන්නේ නැද්ද? එදාට හැමෝගෙම නිවාඩු කැන්සල්. එදා දවසෙම අපායේ හැම බෆල් එකකින් ස්පිකර් එකකින්ම බස් රේඩියෝ එක ඇහෙන විදියට තමුන් වැඩ සලස්වන්න ඕන තේරුනාද?

යමයා : එහෙමයි ස්වාමිනි

රජු: එදා දවසෙම අර හොටු අයිසාගේ ටකරන් වොයිස් එක අහන්න වෙන එකට වඩා වෙන දඩුවමක් තව තියෙනවද? 21 දවසෙම සියලු පවු කාරයන්ට වෙන දඩුවම් දෙන එක අත ඇරලා බස් රේඩියෝ අහන දඩුවම ක්‍රියාත්මක කරන්න මම නියෝග කරනවා.

යමයා: එහෙමයි ස්වාමිනි  


............................................................................................................................

දෙව් ලොව ශක්‍ර භවන - මාතලී සමග සක් දෙවිඳු 

සක් දෙවිදු : කෙසේද රථය සුදානම්ද මාතලී

මාතලී: රථය නම් සුදානම් ස්වාමිනි, ඒත්

සක් දෙවිඳු: ඇයි මොකක්ද ප්‍රශ්නේ මාතලී ?

මාතලී: දෙවගනන් සියලු දෙනාම අප සමග යාමට සුදානමින්. 

සක් දෙවිදු: ඔවුන් කොහේ යන්නද මාතලී 

මාතලී: වෙන කොහි යන්නද දෙවිඳුනි 21 බ්ලොග් අවකාශයේ මිතුරෝ අවුරුදු උත්සවේ නැරඹීමට යාම පිණිස මිස.

සක් දෙවිදු: පිස්සු නම් නටන්න හදන්න එපා මාතලී. ඔය දිව්‍යාංගනාවො ඔතනට ගෙනිහින් ඉන්න බ්ලොග්කාරයෝ ටික උන්ට ලයින් දාන්න පටන් ගත්තම මට වෙන්නේ මොකක්ද? අන්තිමට අවුරුදු උත්සවෙත් හබක්.

මාතලී: ඒකත් ඇත්ත තමයි ස්වාමිනි. දැන් අපි මොකද කරන්නේ.

සක් දෙවිදු: ඔන්න ඔහේ අපි දෙන්න වෙස් වලාගෙන ෂේප් එකේ ගිහිල්ලා අවුරුදු උත්සවේ බලාගෙන එමු. මෙයාලට ඕන නම් බස් රේඩියෝ එකෙන් අහන්නේ නැතැයි අවුරුදු උත්සවේ ගැන.

මාතලී: එහෙම නිකන්ම යන්න බැහැ ස්වාමිනි. මුලින්ම යන්න කලිනුත් අපට කරන්න දේවල් තියෙනවා.

සක් දෙවිඳු: අවුරුදු උත්සවයක් බලන්න යන්න කලින් මොනවද කරන්න තියෙන වැඩ?

මාතලී: මුලින්ම මෙන්න මේ ෆෝම් එක පුරවලා අපේ විස්තර දැනුම් දෙන්න ඕනේ. ඊළගට අපි යන වාහන වල විස්තර ටික cybernewyearfestival2011@gmail.com  කියන ඊ මේල් ලිපිනයට යවන්න ඕනේ. ඒක සංවිධායක මණ්ඩලේට ලොකු පහසුවක් එදාට.

සක් දෙවිඳු : වාහන වල විස්තර කෙසේ වෙතත් අර ෆෝම් එක නම් පුරවලා දාපන් මාතලී. නැත්තම් එදාට කාලත් හමාරයි 

මාතලී: එහෙමයි දෙවිදුනි. මේ ගැන වැඩි විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවියෙනුත් දැනගන්න පුළුවන් 
...........................................................................................................................

ලංකාවේ ලෝකේ පුරා විතරක් නෙවෙයි. දිවය ලෝකේ අපායේ වගේ වෙන වෙන ලෝක වලත් හැම තැනම මේ දවස් වල කතාව බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ අවුරුදු උත්සවේ පිළිබඳව. ඉතිං බ්ලොග් ලියන කියවන ඔයාල හැමෝටමත් 21 වෙනිදා මහරගම් තරුණ සේවා සභා පිටනියට ඇවිල්ලා අවුරුදු උත්සවේ අසිරිය විදගන්න එන කියලා ආරාධනා කරනවා. එහෙම නම් 21 සෙට් වෙමු. ජය වේවා